මිහිතලය රත්වී මිනිසුන්ට බලපෑම්



ලෝක නායකයෝ අනතුරු අඟවති

 

ඒ.එෆ්.පී. ප්‍රවෘත්ති සේවය විසින්, මේ සැප්තැම්බර් මස 21වනදා නිව්යෝර්ක් නගරයේ සිට ලොව පුරා ව්‍යාප්ත කළ පුවතක මෙසේ සඳහන් වේ.
පාසල් දරුවෝ විශාල කණ්ඩායමක් කාලගුණ විපරීතයේ ව්‍යසනයට විරෝධය දක්වමින්, පාසල් ගමන් නවත්වා අති දැවැන්ත පෙළපාලියකට එක්වූහ.
මේ මහා කණ්ඩායමේ නායිකාව වූයේ දහසය හැවිරිදි ග්‍රීටා කන්බර්ග් මෙනෙවියයි. සංවිධාකයන් පැවසුවේ හතළිස් ලක්ෂයක් පමණ දෙනා ලොවපුරා නගරවල වීථි පුරවමින් මේ අධිකවන රත්වීම් නිසා එල්ලවන තර්ජනයට විරෝධය පෑ බවයි. මිහිතලය රත්වීමේ තර්ජනයට එරෙහිව මෙතෙක් පැවතුණු ඉතාම දැවැන්ත පෙළපාලිය මෙයයි.

මේ අති දැවැන්ත රැළිය පිළිබඳව අසනවිට, ශ්‍රී ලංකාවේ බොහෝදෙනාට, මෙය විස්මය උපදවන කතාවක් විය හැකියි. නුදුරු අනාගතයේදී මිහිතලයට මහා ව්‍යසනයක් ගෙන ආ හැකි, පෘථිවිය රත්වීමේ සිද්ධිය ගැන මේ දේශයේ බොහෝ දෙනාට හරිහැටි දැනගන්නට මගක් නොතිබුණු හෙයිනි.
මිහිතලය රත්වීමේ අන්තරාය ගැන කතාබහ කරන්නට පෙරාතුව මේ මොහොතේ මිහිතලය රත්වීම පිළිබඳව පැවැත්වෙන දැවැන්ත රැළි හා පෙළපාලි දෙස බලමු. මානව සංහතිය මූණපා සිටින අන්තරායේ බැරෑරුම්කම බොහෝදෙනාට තේරුම් ගත හැක්කේ ඒ මගිනි.
පසුගිය සැප්තැම්බර් 20 වන සිකුරාදා නිව්යෝර්ක් නගරයේ එකතුවූ දෙලක්ෂ පනස්දහසක් පමණවූ විරෝධාකල්පවාදීන් ඇමතූ ග්‍රීටා කන්බර්ග් මෙනෙවියගේ ප්‍රකාශය මෙසේය.
අපගේ මේ මහ රැළිය හුදෙක් ආරම්භය පමණි. මෙය ලබන සතිය තුළ රටවල් 163 ක් මුළුල්ලේ පැවැත්වෙන විරෝධාකල්ප රැළි 5000 පටන්ගැම්මයි. ලොව හැම පෙදෙසකම පාහේ පැවැත්වුණු ඒ පෙළපාලිවලට සහභාගීවූ අයගේ අත තිබුණු ප්‍රධාන උද්‍යෝග පාඨයක් මෙසේය. අපට ඊ කියා ලෝකයක් නැත. (තේරුම - අපට තිබෙන එකම ලෝකය මිහිතලය පමණි) පසුගිය සෙනසුරාදා ලෝකයේ ප්‍රථම යොවුන් කාලගුණ මහා සම්මේලනය පැවැත්වූයේය. ලොව විවිධ පෙදෙස්වලින් සපැමිණි තරුණ පරිසරවේදීහු එයට සහභාගීවූහ. දරුවන් පාසල් නොගොස් මේ රැළිවලට සහභාගිවන්නේ ඇයිද යන ප්‍රශ්නයට නායිකා ග්‍රීටා කන්බර්ගේ පිළිතුර මෙයයි. අනාගතය අපෙන් උදුරාගන්නා විට අප පාසැල් යායුත්තේ ඇයි? අප ඉල්ලා සිටින්නේ ආරක්ෂිත අනාගතයක් පමණි. එය ඒ තරම් බැරෑරුම් ඉල්ලීමක්ද?
මේ ලොව පුරා පැවැත්වෙන දැවැන්ත රැළි ආණ්ඩු විරෝධී හෝ පුද්ගල විරෝධී හෝ නොවේ. ඒවායේ මුඛ්‍ය අරමුණ, එළඹෙන අන්තරාය ගැන මිනිසුන් අවදිකිරීමයි. මානව වර්ගයා නින්දෙන් අවදිකිරීමයි.


ඒ බව ඉතාම පැහැදිලි වන්නේ, පසුගිය සඳුදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් කැඳවන ලද ජගත් කාලගුණ ක්‍රියාන්විත ඉහළ මට්ටමේ සමුළුව නිසාය. මහ ලේකම් තැන්පත් අන්තෝනියෝ ගුටෙර්රේස් මහතාගේ කැඳවීමෙන් ජගත් නායකයෝ හැටදෙනෙක් පමණ එයට සහභාගීවූහ.
මිහිතලය රත්වීම, මානව ඉතිහාසයේ මෙතෙක් පහළවූ ඉතාම බැරෑරුම් අර්බුදයයි. එය ආරම්භවූ හැටිත්, එහි වර්තමාන තත්ත්වයත් දෙසට අප සිත් යොමුකළ යුතුවේ.
මේ මිහිතලය රත්වීම පාලනය කොටගෙන, ඒ හේතුකොට හටගන්නා විනාශකාරී තත්ත්වයන් වළක්වා ගන්නට මිනිසා අපොහොසත් වුවහොත්, මිනිස් වර්ගයා නැසී යන්නේය.
එහෙත් වාසනාවකට මෙන් අද ලොව විවිධ විශාරදයනුත්, පාලනවේදී ප්‍රභූප්‍රඥාවන්ත පිරිසක් විසින් දරනු ලබන දැවැන්ත ප්‍රයත්නය නිසා, මේ ව්‍යසනය වළක්වා ගත හැකිවේය යන ශුභවාදී චින්තනය ජගත් ජන කණ්ඩායම තුළ අද පැතිර යන්නේය. එහෙත් මිනිසාට ඒ සඳහා ලැබෙන්නේ තව අවුරුදු 30 ක් පමණි.
අද මිහිතලය මූණපාන දැවැන්ත රත්වීමේ තරමත් ඉන් මිහිතලයට සහ මානව වර්ගයාට සිදුවන අසීමිත ව්‍යසනයත් ගැන අද ලොව ඉතාම ප්‍රසිද්ධ පාලන තන්ත්‍රවේදියෙකුත් කීර්තිධර පරිසර විශේෂඥයෙකුත් වන අල් ගෝ විශාරදයාණන් විසින් කෙරෙන තියුණු විවරණය, අද අපට බොහෝසේ පිහිට වෙයි. අල් ගෝ මහතා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45වන උප ජනාධිපතිවරයායි.


ඒ මහතාගේ ප්‍රකාශය මෙසේය. අපගේ පෘථිවි ගෝලය වටා තිබෙන වායු තීරය ඉතාම තුනීය. අද යුගයේ වෙසෙන මිනිස්සු මේ ඉතා තුනී වායුගෝලය තුළට දිනපතා මිහිතලය රත්කරන දූෂණ අංශු ටොන් එකොළොස් කෝටියකටත් අධික ප්‍රමාණයක් දමති. මිනිස් වර්ගයා ඒවා දූෂිත දමන්නේ විවෘත කාණුවකට කුණු කසළ දමන්නාක් මෙනි. වායුගෝලයේ හිරවී තිබෙන තාපයත්, ඒ තාපය තව තවත් අධික තරමින් මිනිසා විසින් කෙරෙන කාලගුණය වෙනස්කිරීම් නිසාත්, ඒකරාශිවන අති දැවැන්ත තාප ප්‍රමාණය අද සමාන කළ හැක්කේ දිනපතාම, පෘථිවියෙහි හිරෝෂිමා වර්ගයේ පරමාණු බෝම්බ 500,000ක් පිපිරවීම නිසා හටගන්නා දැවැන්ත තාප ප්‍රමාණයටයි.
මිනිසුන් කම්පාවෙන මේ අදහස ගෙනහැර දක්වනු ලබන්නේ අද ලොව කීර්තිධර කාලගුණ විශේෂඥයෙකු වන ජේම්ස් හැන්සන් විද්වතා විසිනි.
මේ පෘථිවිය අත්‍යන්තයෙන්ම රත්කරන හේතු සාධක සමූහයයි. ඒ දැවැන්ත ප්‍රමාණයෙන් අධිකවන තාපය කරණකොට ගෙන ඇතිවන රත්වීම, මිනිස් ජීවිතවලට හා ලොව පුරා හැම තැනකම ජීවනෝපාය මාර්ගවලට, එන්ට එන්ටම අධිකවන අන්තරායදායී තර්ජන බවට පත්වේ. 
ලෝකයේ විද්‍යා ආයතන, පෘථිවියේ උෂ්ණත්වය මැනීම ආරම්භ කළේ 1880 වේ දශකයේදීය. ඒ කාල පරිච්චේදය තුළ මෙතෙක් වාර්තාවූ ඉතාම දැඩි උෂ්ණත්වය සහිත අවුරුදු පහ මේ පසුගිය පස්වසයි. ලෝකයේ මෙතෙක්ම වාර්තාවූ ඉතාම දැඩි උෂ්ණත්වය සහිත මාසය, පසුගිය ජූලි මාසයයි.
මේ අධිකවන උෂ්ණත්වයට සිදුවන්නේ කුමක්ද? ඉන් සීයට අනූවක්ම යන්නේ සාගරයටයි. ඒ ප්‍රමාණය, ඇතැම්විට සීයට අනූවටත් වැඩිවේ.
මෑත යුගයේ 2017, 2018 සහ මේ වර්ෂයේ සිදුවූ අති භයානක, ඉතාම දරුණු සුළි සුළං කුණාටු මහා මාරුත සියල්ල, ඒ සාගරයට ගිය උෂ්ණත්වයෙහි විනාශකාරී ප්‍රතිඵලයයි.
නොබෝදා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා පෙදෙසට සහ ලොව බොහෝ දේශවලට දරුණු ලෙස හමාගිය කුණාටු නිසා මිනිසුන්ගේ ජීවිතවලට, ඔවුන්ගේ නිවාසවලට ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගවලට සිදුවූ විනාශයත්, ලෝක ආර්ථිකයට සිදුවූ මහා පාඩුවත්, තාමත් හරිහැටි ගණන් බලා නැත.
එක් අතකින් ඒ මහා මාරුත කුණාටු හා දැඩි සුළි සුළං නිසා පෙර නොවූ විදියේ දරුණු හානි පැමිණෙද්දී අස්වාභාවික ලෙස මහ වැසි වරුසා කඩා වැටී ජලගැල්ම පැතිරයන්නට වෙයි. මේ අකාල වැහි සහ ජලගැල්ම පිළිබඳ නිදර්ශන, අපගේ මේ දේශයෙන්ද ලද හැකිවේ.
මේ සියලු ව්‍යසනයන්ටත් වඩා ඉස්මතුව පෙනෙන්නේ, බොහෝ ප්‍රදේශවල පෘථුල ලෙස පැතිරෙන දැඩි ලැව් ගිනි සංඛ්‍යාවයි. ඕස්ටේ්‍රලියා, කැලිෆෝනියා ආදී තැන්වලින් ලැව්ගිනි පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා කෙරුණේය.
එහෙත් සියලු ලැව්ගිනි පුවත් යටපත් කරමින් පැතිරගිය ඛේදවාචකය නම් ලෝකයේ විශාලම වැසිවනාන්තර පද්ධතිය ලැව්ගින්නට භාජනවීමේ සිත් පාරන සිද්ධියයි.
මිහිතලයේ පවත්නා ස්වභාවික සම්පත් රැසක් රැකගෙන සිටින ඇමේසන් වැසිවනාන්තර පෙදෙස ඉවක් බවක් නැති හුදෙක් ලෞකික ආශා පිළිබඳ පිපාසය නිවාගැනීම පමණක් මුඛ්‍ය අරමුණ කොටගත් අදාන්ත ආත්මාර්ථකාමී පිරිසක් විසින්, විනාශ කරන්නට පටන්ගෙන සිටියි.
ඇමේසන් මහ වැසි වන පෙදෙස, මිහිතලය රත්වීම වළක්වන පෘථුල වනගහණ ප්‍රවාහයක් සහිතව, පවතින්නට පටන්ගත්තේ, අවුරුදු කෝටියක කාලපරිච්චේද මුළුල්ලේය.
මේ දැවැන්ත වන ඛණ්ඩය සතු සම්පත් කවරේදැයි හරිහැටි දැනගන්නටත් පෙර සිය පටු අවශ්‍යතා සඳහා දුදනෝ ඒ වන ප්‍රදේශය විනාශ කරන්නටත් එයට ගිනිලන්නටත් සැරසී සිටිති.


විවිධ රෝග වර්ගවලට ප්‍රතිකාර වශයෙන් භාවිත කළ හැකි දුර්ලභ පැළෑටි වර්ග, වෘක්ෂ වර්ග හා මල් වර්ගත් සෙසු වටිනා දේත් මේ මහ වැසි වනාන්තරයේ තැන්පත්ව ඇත්තේ විය හැකිය.
එහෙත්  ඒ සියල්ල ගැන කිසිම තැකීමකින් තොරව සිය තණ්හාවෙන් පොළඹවනු ලබන දුර්ජනයෝ ඒ නිදන් ගබඩාවට ගිනි තබති. ජගත් නායකයන් කතාබහ කරමින් සිටියදී ඇමේසන් වනගහණය ගිනිගනී. මේ දැවැන්ත නිදන් කන්දරාව මේ මොහොත වන විට ගිනිගෙන වැනසෙන්නේ, පැයකට පාපන්දු පිට්ටනි 110 ක පමණ ප්‍රදේශයක් දවාලමිනි.
මේ ඇමේසන් ලැව්ගිනි අර්බුදය, අද ජගත් ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේය. 2019 ජනවාරියේ සිට මේ වනතෙක් ඇමේසන් ලැව්ගිනි සංඛ්‍යාව සීයට 35 කින් අධික වී ඇත්තේය. ඉන් සීයට 90 ක්ම පමණ ආත්මාර්ථකාමී අයගේ දරුණු නීතිවිරෝධී ක්‍රියා බව විචාරකයෝ පවසති.
මේ ඇමේසන් පෙදෙස රැකගැනීම, මුළු මහත් මානව වර්ගයාගේම යුතුකමකි. එහි ස්වභාවය සලකා බලන්න. මේ වන පෙදෙස ගස් කෝටි 39000 ක (බිලියන 390) නවාතැනයි. එය ජීව විවිධත්වයෙන් අසහාය ස්ථානයකි. ජීව විද්‍යාඥයෝ මෙහි දවසක් හැර දවසක්, යම්කිසි අලුත් ජීව විශේෂයක් සොයා ගනිති.
ඇමේසන් වන පෙදෙස විනාශවුවොත් මිහිතලය රත්වීම වළක්වා ගන්ට බැරියැයි රිකාඩෝ ගල්වඤෝ නම් බ්‍රසීල විද්‍යාඥයා කියයි. 
අප මෙය ලියන මොහොතේ ලද අලුත්ම පුවතකට අනුව ඉන්දුනීසියාවේත් දැන් ලැව් ගිනි පැතිරේ. ඉන්දුනීසියාවේ ලැව්ගින්නෙන් නිකුත් වන විෂ දුමාරය, සිංගප්පූරුව, මැලේසියාව, බෝර්නියාව, ආදී පෙදෙස්වලටද විහිද ගොස්ය. මේ විෂ දුමාරය ඔරංඋටන් නම් වානර වර්ගයාගේ වාසස්ථානවලටද ඇතුල්වේ. මේ වානර වර්ගයා වඳවීයෑමේ තර්ජනයට මූණපා සිටින සත්ව විශේෂයකි.


පරිසරය රත්වන විට, තවත් ප්‍රබල ව්‍යසනයක් සිදුවේ. ඒ රත්වීම නිසා, උතුරේ ආර්ථික පෙදෙසේ සහ දකුණේ ඇන්ටාටිකා පෙදෙසේත් ස්ථාවර හිම තට්ටු හා හිමකඳු දියවෙන්නට පටන්ගනී. ඒ දිය සාගරයට එකතුවූ විට, සාගරාසන්න දිවයින් හා සාගරයට නුදුරු ස්ථානත් ජලයට යටවෙන්නට ඉඩ ඇත්තේය. එවැනි තර්ජනයකට භාජනවෙතැයි කිසිසේත් සිතිය නොහෙන නිව්යෝර්ක් නගරය පවා එවැන්නකට සූදානම්ව ආකාරය, නොබෝදා ජගත් ජනමාධ්‍ය වලින් පෙන්වා දෙන ලදී.
අප්‍රිකාවේ පරිසර විශේෂඥයන් කණ්ඩායමක් මේ ‘මිහිතලය රත්වීම’ වළක්වනු පිණිස, දැවැන්ත ‘හරිත පවුරක්’ තනන්නට සැරසෙති. ඔවුන්ගේ අභීත සැලැස්ම නම් අප්‍රිකාව සතුව තිබෙන නිසරු බිම් අක්කර විසිහතර කෝටි හැත්තෑ ලක්ෂයක් වගා කිරීමයි. මේ හරිත ප්‍රාකාරය විහිදෙන්නේ ඩකාහි සිට ජිබුටි දක්වාය. ඇස්තමේන්තු වියදම ඩොලර් බිලියන අටයි, වගා ප්‍රාකාරය දිගින් සැතපුම් 4815 කි.
මේ හරිත ප්‍රාකාරය නිසා, ජනතාවට සිදුවන එක් සෙතක් නම් මෙතෙක් පාළුවට ගොස් තිබුණු ගොවි ඉඩම් යළිත් භාවිත කළ හැකිවීමයි. මෙය දශ ලක්ෂයක් පමණ ජනතාවගේ ජීවිතවලට ආශිර්වාදයකි.
ඒ සියල්ලටම වඩා ඉතා ඉහළින් නැඟෙන දැවැන්ත ප්‍රතිඵලය මෙයයි. මේ හරිත ප්‍රාකාරය විසින් ඉටුකරනු ලබන්නේ මිහිතලය රත්කරන කාබන්ඩයොක්සයිඞ් වායු මෙටි්‍රක් ටොන් 250 ක් වායුවෙන් ඇද ගැනීමෙන්, මිහිතලය රත්කරන කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණයක් මිහිතලයේ වායුවෙන් ඉවත්කිරීමයි.
මුළු මානව වංශයම මිහිතලය රත්වීමේ අර්බුදය ගැන මේසා අසහාය උනන්දුවකින් ලෝක ජනතාව අවදිකරද්දී, ශ්‍රී ලංකාවේ අප තාමත් මේ දැවැන්ත ගැටලුව ගැන ක්‍රියාශීලීවන්නට පටන්ගෙන නැත.
අපේ ගරුතර සාමයික නායකයන්, අධ්‍යාපන විශේෂඥයන්, ජන ප්‍රභූත්වයෙහි සිටින උදවිය, සමාජ නායකයන් සහ දරුවන්ගේ අනාගතය ගැන සිතන හැමදෙනාමත් අපගේ මේ කුඩා එහෙත් අතිසම්භාවනීය දේශයේ දරු පෙළ මිහිතලය රත්වීමේ ව්‍යසනයෙන් බේරාගන්නට කැපවිය යුතුවේ. මිහිතලය රත්වීමට තුඩුදෙන චර්යාවලින් වැළකී අපගේ ළමා පරපුරට, වැඩිහිටියන් වශයෙන් සැනසී සිටිය හැකි නිවුණු ලොවක් තනා දෙමු. ජල ගැල්මේ තර්ජනයට මූණ පා සිටින ශාන්තිකර සාගර දිවයිනක සිඟිත්තෙකුගේ හඬට සවන්දෙමු.
“අප ගිලෙන්නේ නැත. අපි සටන් කරන්නෙමු. ඒ උදාර දාරක හඬින් අපි ධෛර්යමත් වෙමු. රත්වීමේ ව්‍යසනයෙන් මිහිතලය බේරා ගනිමු. තාමත් කල් තිබේ.”

 

 


රුක්රෝපණය ගැන ලෝක වාර්තාවක්


මිහිතලය රත්වීමේ ව්‍යසනයෙන්, බේරාගැනීමේ එක් ප්‍රධාන ක්‍රමයක් නම් රුක්රෝපණය කිරීමයි. මිහිතලය රත්කරන කාබන්ඩයොක්සයිඞ් වායුව, රුක් විසින් උරාගනු ලැබේ. එවිට මිහිතලයේ වායුව නිවෙන්නේය.


රුක්රෝපණය පිළිබඳව වහාම ලෝක වාර්තාව නොබෝදා පිහිටුවනු ලැබුවේය. මේ ජගත් වාර්තාව පිහිටුවන ලද්දේ, හරිත පැළ සහ වැල් අතිශයින්ම හිඟ අප්‍රිකාවේ ඉතියෝපියාවේ රාජ්‍යයෙනි.


එහි පරිසර ප්‍රේමියෙක්, පසුගිය ජූලි මස 29වනදා පැලකිස්ෂන් කෝටි තිස් ලක්ෂයක් (මිලියන 353 ක්) රෝපණය කළේය. ජගත් වාර්තාව හුදෙක් ඒ පැළ ගණන නොවේ. ඔහුට ඒ පැළ තිස්පන් කෝටි තිස් ලක්ෂය හිටවන්නට ගතවූයේ පැය දොළහක් (12) පමණි.


එවැනි රුක්රෝපණ වාර්තා පිහිටුවිය හැකි දහසක් දෙනා සිටිත් නම් ඔවුන්ට ඇප්‍රිකාව රත්වීම වළක්වාගැනීම ගැටලුවක් නොවේ.

 


අරාබි නිසොල්ලාසය නොහොත් එක් දහස් එක්රැය

පැරැණි 
පතපොත

අපරදිග ලෝකයේ බොහෝ පාඨකයන්, තරමක් ඈත සමයේදී පෙරදිග සාහිත්‍යය වශයෙන් සැලකුවේ “අරාබි නිසොල්ලාසය නොහොත් එක් දහස්එක් රැය” නම් මේ කතා සංග්‍රහයයි. මේ කතා පද්ධතිය ක්‍රිස්තු වර්ෂ 13 ත් 16 ත් අතර කාලපරිච්චේදයේදී, මැද පෙරදිග පෙදෙසෙහි නිර්මාණය වූවකි. එය ජගත් ව්‍යාප්ත වූයේ සර් රිචඞ් බර්මන් (1821 - 1890) විසින් විරචිත ඉංගිරිසි අනුවාදය නිසාය.


මේ කතා පෙළ පටන්ගන්නා ආකාරය අතිශයින් සිත්අදනාසුළුය. 


එක්තරා නපුරු කාලිෆ්වරයෙක් සිටියේය. ඒ නපුරු පාලකයාගේ සිරිත වූයේ එක් රැයක් කාන්තාවක් හා සමග සිට පසුදා උදේ ඇය මැරවීමයි. රටේ යොවුන් කාන්තාවන් අඩුවේගන එනවිට, පාලකයාගේ ප්‍රධාන අමාත්‍යයාගේ (වසීර්ගේ) දියණිය සිය කැමැත්තෙන්ම නපුරු පාලකයා වෙත ගියාය. ඇය නපුරු පාලකයාට මෙසේ කීවාය. හැමදාම රෑට මා බාල සොහොයුරියගේ කතාවක් අහනවා. අද රෑත් ඔබ සමග සිටින විට, ඇයට කතාවක් කියන්නට ඉඩදෙන්න. දෙදෙනා සයනගතවූ විට නගා කතාව කීවාය. නපුරාද ආසාවෙන් කතාව ඇසුවේය. එහෙත්, එළිවෙන විටත් කථාව නිමානොවූ නිසා තව රැයක් කතාව කියන්නට නපුරා ඒ කාන්තාවගේ නගාට ඉඩ දුන්නේය.


නගා එක්දහස් එක් රැයක් කතාව කියාගෙන ගියාය. ඒවනවිට කාන්තාවට දරුවෙකුත් ලැබී තිබිණි. කාන්තාවන් නැසීමේ ක්‍රියාව කෙළවර විය. කතා එක්දහස් එකක් කියවී තිබිණ.
අරාබි නිසොල්ලාසය සංස්කෘතික භාෂාවට අනුවාදය වී තිබෙන්නේ ආරභ්‍ය උපනිෂද් වශයෙනි.


මා දන්නා තරමට මෙහි සිංහල අනුවාදයක් නැත


නපුරු පාලකයා, ෂාහ්රාර් රජුය. භාර්යාව ෂහ්රසාඞ්ය. නගා ජින රෂාඞ්ය.

 


ලෝකයේ ඉතාම උණුසුම් නගරය


විචාරකයන්ගේ නිගමනයට අනුව මුළු ලෝකයේම ඉතාම උණුසුම් නගරය විය හැක්කේ පාකිස්ථානයේ ජැකොබාබාද් නුවරයි.
ඒ නගරය කොපමණ උණුසුම්ද කිවහොත්, වතුර ටිකක් එහි පේව්මන්ට් පාදුකාවට වැටුණොත් එය මොහොතකින් වාෂ්ප බවට හැරෙන්නේ, උණුවන ශබ්දයක් නඟමිනි.
නගරවාසීන්, ඒ උෂ්ණත්වය ඉවසා දරාගෙන සිටියද, ඒ දැඩි රත්වීම නිසා ඇතැම්හු නැසෙති.


මේ අසාමාන්‍ය උෂ්ණත්වයෙන් ගැලවෙනු පිණිස සමහරු කුඹුරු වැඩ කරන්නේ රාත්‍රී කාලයේයි.


මිහිතලය රත්වීම හේතුකොටගෙන දැඩි උණුහුමට ගොදුරුවන්නේ හුදෙක් මේ ජැකෝබාබාද් නගරවාසීන් පමණක් නොවේ. උත්තරාර්ධ ගෝලයේ ඇතැම් දේශත් මේ ගිම්මාන සමයේදී දැඩි උෂ්ණත්වයකින් පෙළුණහ. මේ කාලයේදී ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය සහ නෙදර්ලන්තයද මීට පෙර අන් කලෙක නොවිඳි ආකාරයේ උෂ්ණත්වයකට භාජනවූහ.
මිහිතලයේ රත්වීම වළක්වාලමින් කළයුතු ‘රත්වීම් වාරක’ ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවන්නම් ඒ රාජ්‍ය යොමුවුවහොත් එය මුළු ලොවටම සෙතකි.

 


RECOMMEND POSTS

RELATED POSTS