මහත්මා ගාන්ධි ඉසිවරයා අදත් ජීවමානයි



“මහත්මා ගාන්ධිතුමා සාමාන්‍ය විදියේ නායකයෙක් නොවූයේය. එතුමා දෙවියන්ගේ ආභාසය ලද අයෙකැයි සමහරු විශ්වාස කරති. ඔවුන් හා සමග එසේ විශ්වාස නොකොට සිටීම අපහසුය. හිරෝෂිමා, නාගසාකි දරුණුකම අප හමුවේ පුපුරා ගිය සමයෙක “අහිංසාවාදී” වෙන්නැයි උපදේශ දිය හැකි තරමට එතුමා අභීත වූයේය.”
නෙල්සන් මැන්ඩෙලා (1918 - 2013) 
දකුණු අප්‍රිකානු ජනාධිපති මානව විමුක්ති නායකයා


සමස්ත මානව වර්ගයාගේම, ශ්‍රේෂ්ඨයන්ව සිටි ඇතැම් මහා පුරුෂයන්ගේ උපත සහ විපත අපි කලින් කල සමරන්නෙමු. එවැනි බොහෝ අවස්ථාවලදී ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයන් බොහෝවිට නිරූපණය වන්නේ “නටබුන්” ලෙසයි. එවැනි තැන්වලදී ඒ පුරුෂයා මෙසේ සිටියේය. මෙසේ පැවසුවේය ආදි වශයෙන් අතීතය පෙරටු කොටගෙන ඔවුන් මතක් කරන්නෙමු.


මේ දිනවල අපි මහත්මා ගාන්ධි තුමාගේ 148 වන ජන්ම දිනය ගෞරව පූර්වකව සනිටුහන් කරන්නෙමු. එහෙත් ඒ සැමරීම කිසිසේත් “නටබුන්” වන්දනාවක් නොවන්නේමය.


මක්නිසාද යත් එතුමාගේ “මානව ප්‍රාණය” ගැබ්වූ චින්තන ධාරාව අදත් සජීවී ලෙස ස්පන්දනය වන හෙයිනි. මේ මොහොතේදීත් එතුමන්ගේ අහිංසවාදී ධර්මය, කෝපයෙන් වෛරයෙන් දැවෙමින් වෙසෙන ලෝකයට අසිරිමත් ආශිර්වාදයකි.


ලෝකයේ සොඳුරු බව, මානව ජීවයේ අලංකාරය, ප්‍රාණයේ ප්‍රාතිහාර්යය, දිවි පෙවෙත සතු නිම් හිම් නැති අගය මිනිස් සුහද බවේ හද සිත නිවන ලාලිත්‍යය, මෛත්‍රියේ, කරුණාවේ සිසිලස ආදි උදාර හරයන්, මළ සොහොන්වලට ඇදලමින් අවි, කොඩි, ගල්, මුල්, අමෝරාගෙන යුද වදනින් හද දෙදරවමින් ලොව බොහෝ පෙදෙස්වල මානව ජීවය නිසරු කසළ ගොඩක් බවට පත් කරන්නට අනුකම්පාදායි ලෙස ඇබ්බැහිවන නොමග යන මුළාවූවන්ට මහත්මා ගාන්ධිතුමාගේ සනාතන දර්ශනය අපරාජිත දිව්‍ය ඖෂධයකි.


වසක් වසක් පාසා යම්කිසි දිනක එතුමන්ගේ මතකයේ නටබුන් පෙළට පුද දෙන නිරර්ථක සමරු සිද්ධිවලින් වැළකී එතුමන්ගේ ජීවමාන මානව උපදේශක චර්යාවලට නව පනක් දීම එතුමන්ට පිදෙන මහාම ප්‍රායෝගික උපහාරය වේ.
මෙහිදී සිහියට නැගෙන කථාවක් වෙයි. අවුරුදු කීපයකට පෙර ප්‍රවෘත්ති සංවිධානයක් මගින් ලොවට දන්වන ලද ඒ පුවත සැකෙවින් මෙසේය.


මළ අයෙකුගේ නෑදෑ හිතවතුන් ඔහුගේ අවමංගල්‍ය කටයුතු කරන වේලාව එළඹියේය. මළ සිරුර, මැස්සක් මත තබාගෙන අඬමින් වැළපෙමින් පූජා ගී ගයමින් නෑදෑයෝ සුසාන භූමියට ගමන් කරමින් සිටියහ. අදිසියේම ඒ මළ සිරුර මැස්සේ වාඩිවූයේය. “නුඹලා මේ ගෙන යන්නේ කොහිදැ”යි මළ මිනිසා වික්ෂිප්තව විමසුවේය. “ඔබ මැරුණා. ඒ නිසා අප ඔබගේ සිරුර සොහොනට ගෙනයනවා.”


“මළ මිනිසා” මෙසේ කීයේය. “මා දැඩිව රෝගාතුර වී සිටින විට මා ප්‍රබල ආලෝකයක් දෙසට ඇදී ගියා. එහිදී කවුදෝ මහහඬින් කීවා “ඔයා නොවේ ඔයා නොවේ” කියලා. එවිට මට ඇහැ ඇරුණා. ඒකයි සිදුවුණේ” ඔහු යළිත් පණ ඇති ලෝකයට එකතු වූයේ නෑ දෑ හිතවතුන්ගේ ඉමහත් ප්‍රමෝදය මැද්දේය.


ශ්‍රේෂ්ඨ පුරුෂයන් මතක් කොට ගෙන සැමරීම් කරන බොහෝ දෙනාද ඒ නටබුන් අදහස්වලට උත්සව පවත්වති. එහෙත් අවශ්‍ය වන්නේ ඒ සජීවී උදාර චින්තන ධාරාවට පණ දීමයි.


මහත්මා ගාන්ධිතුමා මුහුකුරා ගිය දිවිපෙවෙත මුළුල්ලේම උපන් නූපන් මානවයනට උගන්වාලූයේ වෛරයෙන්, ක්‍රෝධයෙන් තොරව, මිනිස් අර්බුද නිරාකරණය කොටගෙන සුහද සහජීවනයෙන් වාසය කළ යුතු බවයි. මේ අකාලික දර්ශනය එතුමන්ගේ සන්තානයේ තහවුරු ලෙස වැඩුණේ ජීවන අත්දැකීම් සම්භාරයක සංකලනයෙනි.


එතුමා උපත ලැබුවේ ඉන්දියාවේ බටහිර වෙරළාසන්න වර්තමාන ගුජරාට් ප්‍රදේශයට අයත් පොර්බන්දාර් නම් කුඩා රාජධානියේය. 1889 ඔක්තෝබර් දෙවනදා උපත ලද මහත්මා ගාන්ධිගේ පියා  කර්ම්චාන්ද් උත්තම්චාන්ද් ගාන්ධි ඒ කුඩා රාජධානියේ “දිවාන්” (ප්‍රධාන ඇමැති) පදවිය දැරුවේය. ඒ පවුලේ බාල දරුවා ලෙස උපන් මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි ළමා කාලයේ පටන්ම ඔහු අධ්‍යාත්ම වර්ධනය දෙසට නැඹුරු වූයේය. ඔහු ළමා කාලයේ දැඩි ඇල්මක් දැක්වූයේ, හරිස්චන්ද්‍ර රජුගේ” කථාවටයි. තමා ළමා වියේ බොහෝ වාරයක් “හරිස්චන්ද්‍ර” චරිතය තමා සිත් තුළම රඟ පෑ බව මහත්මා ගාන්ධි පසුව සිහිපත් කොට ගත්තේය. මහත්මා ගාන්ධි “සත්‍යය” සහ “ප්‍රේමය” සනාතන අගයයන් බවට සළකන්නට පුරුදු වූයේ “හරිස්චන්ද්‍ර” රජ කථාවේ බලපෑමෙනි.


ඒ සමාජගත චාරිත්‍රවලට අනුව මෝහන්දාස් දරුවා වයස 13 දී දහහතර හැවිරිදි කස්තුර්බායි සමග විවාහ වූයේය. ලෝකය හරිහැටි නොදත් මෝහන්දාස් දරුවා එදා විවාහය යැයි සිතුවේ, අලුත් ඇඳුමෙන් පැළඳුමෙන් සැරසී රසකැවිලි භුක්ති විඳිමින් නෑදෑ දරුවන් සමග කෙළි සෙල්ලමේ යෙදීමයි.


වයස දහ අටේදී එංගලන්තයට ගිය මෝහන්දාස් තරුණයා සිව්වසකින් පසුව සිය රට බලා අවුත් නීති වෘත්තියේ යෙදෙන්නට ප්‍රයත්න දරුවද එය සාර්ථක නොවීය.


තරුණ මෝහන්දාස් ජීවිතයත්, යුක්තිය, අසාධාරණය වැනි ක්‍රියාදාමයනුත්, වර්ණභේද වාදය වැනි පටු හානිදායි ප්‍රතිපත්තිත් ජීවන අත්දැකීමෙන්ම උගෙන ගත්තේ දකුණු අප්‍රිකාවේදීය.


“සුදු” නොවන අයට තහනම් වූ දුම්රිය පංතියක ගමන් කිරීමෙන් ගැහැට විඳි ඔහු රැයක් මුළුල්ලේ ශීතලෙන් ගැහෙමින් දුම්රිය නැවතුම් පළේ සිටියේය. සුදු නොවන අයට තහනම් දේ කිරීම නිසා නීතියේ නිලධාරීන්ගේ පා පහරට ගොදුරු වූයේය.


මිනිසුන්ට පටු අදහස් උදහස් නිසා විඳින්නට සිදුවන අසාධාරණකම් අමානුෂික වධ වේදනා සමාජයෙන් පමණක් නොව මුළුමහත් මානව චින්තනයෙන්ම පිටු දකින්නට තරුණ මෝහන්දාස් අචලව කැපවූයේ විසි එක් වසක් තුළ දකුණු අප්‍රිකා ජීවිතයෙන් උගත් කර්කශ පාඩම්වල පිහිටෙනි.


වයස අවුරුදු 45 දී, මෝහන්දාස් පෙරළා සිය මව් බිමට ආයේ මුළුමහත් මානව ඉතිහාසයෙන්ම ප්‍රබල පරිච්ජේදයකට තුඩුදුන් අසහාය මානව වීරත්වයක් ඉටුකිරීමේ අපූරු වාසනාවෙන් සන්නද්ධ වෙමිනි.


ඔහු හතළිස් හයවන වියේ සිට සිය අභියෝගය එල්ල කළේ මානව ඉතිහාසයේ ප්‍රබලතම බලවේගයක් බවට පත්වූ “ඉරු නොබසින” බි්‍රතාන්‍ය මහා අධිරාජ්‍යයටයි.


මහත්මා ගාන්ධි සිය සත්‍යග්‍රහ ව්‍යාපාරයේ උදාරත්වය සහ ආත්මත්‍යාගී බව මුළු ලොවටම ප්‍රථම වරට විදහා දැක්වූයේ 1919 අප්‍රේල් 13 වනදා සිදුවූ ජල්ලියන්වලාබාඝ් සංහාරයේදීය. (මෙය අම්රිත්සාර් සංහාරය වශයෙන්ද ඉතිහාසගත වී ඇත්තේය). එහිදී බාල, මහලු, තරුණ ඉන්දියානු ජාතිකයන් සිය දෙනෙකු පමණ සාහසිකව වෙඩි තබා ඝාතනය කරන ලදි. අවි නැති ඒ අහිංසකයන්ගේ ඛේදදායි මරණ සම්හාරය හා සමගම මහත්මා ගාන්ධි ප්‍රකාශ කොට සිටියේ තම රටවැසියන් විසින් කිසිවිටෙකත් දරුණුකම් නොකළ යුතු බවත් දේපළ විනාශ නොකළ යුතු බවත්ය.


අහිංසා ධර්මයේ උච්චතම ජයග්‍රහණය වශයෙන් ලොව විචාරකයන් බොහෝ දෙනා දකින්නේ “ලුණු සත්‍යග්‍රහය” නම් වූ දැවැන්ත අහිංසාවාදී පාදචාරිකාවය.


1930 මාර්තු 12 වනදා සිට අප්‍රේල් අටවනදා දක්වා ගාන්ධිතුමා සිය ජනකාය සහිතව සැතපුම් 241ක පාදචාරිකාවක යෙදුණේය. (අහමදාබාද්හි සිට ගුජරාට්හි දන්දි දක්වායි) ලුණු බද්දට විරුද්ධව ගෙනා මහා පාද චාරිකාවේ යෙදී ගාන්ධි තුමා හා පිරිස මුහුදු ලුණු සකස් කළහ. සුළුවෙන් පටන් ගත් මේ ඓතිහාසික පාද චාරිකාව අනුක්‍රමයෙන් බොහෝ සේ ව්‍යාප්ත විය. තහනම් නීති නොතකා කාන්තාවෝද එයට උද්‍යෝගිමත්ව සහභාගි වූහ.


ගාන්ධි පාදචාරිකාව පුරෝගාමී මාඕසේතුං විප්ලවීය නායකයාගේ ඓතිහාසික දීර්ඝ චාරිකාවටත් :ඛදබට ඵ්ඍක්‍්‍ය* වඩා ඉහත සිදුවුවකි.


සත්‍යග්‍රහ ධර්මයේ සහ අහිංසා වාදයේත් කේන්ද්‍රීය සිද්ධියක් වන මේ “ගාන්ධි පාද චාරිකාව” ගැන අපරදිග මහා මානව අයිතිවාසිකම් වීරයෙකුව සිට ඒ උත්තරීතර ව්‍යාපාරය උදෙසා දිවි පිදු ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) නම් මහා පුරුෂයාගේ බාල පුත්‍රයා වන තුන්වන මාටින් ලූතර් කිංගේ අදහසක් මෙහිදී ගෙනහැර දැක්විය යුතුම යැයි මට සිතේ.


මාටින් ලූතර් කිං (තෙවන) ගාන්ධි පාදචාරිකාව ගැන පවසන අදහස මෙසේය. “1930 ගාන්ධි තුමාගේ “ලුණු පාද චාරිකාවේ විස්මය උපදවන ප්‍රතිඵලය මගේ පියතුමා කෙරේ බලපෑයේ යැයි මට සහතිකයි. සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාර පාලනය කොට ගැනීමට ගාන්ධි තුමා සතුව තිබුණු බලයද මගේ පියාණන්දෑ කෙරේ බල පෑයේය. මා කුඩා කාලයේදී “ගාන්ධි ලුණු පාද චාරිකාව” මට දැනුනේ තරමකට දේව කතාවකට කිට්ටු සිද්ධියක් ලෙසිනි. ගාන්ධිතුමා දින 24ක දී අහමදාබාද්හි සිට අරාබි මුහුද දක්වා කිලෝමීටර් 400ක් තරම් දුර පා චාරිකාවේ යෙදුණේය. එතුමන් අනුව ගමන් කළ අය කිලෝ මීටර් තුනක් පමණ දිග පෝලිමකට අයත් වූහ.


අවි ආයුධ විරහිතව කර්කශ ඝෝෂා නොනගා ඒ සා දුර පාද චාරිකාවක් කිලෝ මීටර් තුනක් පමණ දිග පෝලිමක නිසිසේ හසුරුවාගෙන අධි ශික්ෂණයෙන් ඒ ගමන කළේ ලොව මහාම අධිරාජ්‍යයට විරුද්ධවයි.
ගාන්ධි තුමා සිරභාරයට පත්විය. කාන්තාවෝත් සත්‍යග්‍රහ අහිංසාවාදයෙන් සටනට එක්වූහ.


වයස 73 දී පවා ගාන්ධිතුමා අධිරාජ්‍යවාදීන් හා සමග සහයෝගයෙන් කටයුතු කිරීම ජනතාවට තහනම් කළේය. එහෙත් එතුමා දැඩිව කියා සිටියේ සිය ජනතාව විසින් බි්‍රතාන්‍ය ජාතිකයන් නොමැරිය යුතු බවත් ඔවුන්ට තුවාල සිදු නොකළ යුතු බවත්ය. බි්‍රතාන්‍ය නිලධාරීන් දරුණුකම් කළේ නම් වධ වේදනා විඳින්නට හෝ මැරෙන්නටද කැමැති විය යුතු යැයි එතුමා සිය ජනතාවට අහිංසාවාදීව උගැන්වූයේය. ඔහු ඉන්දියානුන්ට මෙසේ පැවැසුවේය. “කරෝ යා මරෝ” (කරන්න නැත්නම් මැරෙන්න).


දිවි නොතකා ගාන්ධි තුමාගේ න්‍යාය ඔස්සේ කළ සටනින් බි්‍රතාන්‍යය පැරදුනද ඉන්දීය නිදහස ලැබුයේ දෙකට බෙදුණු රාජ්‍යයකටයි. මේ හේතුකොටගෙන සිත් තවන සටන් කලකෝලාහල සංහාර උද්ගත විය.


මහා අධිරාජ්‍යයක් පරදවමින් කළ නිදහස් අහිංසා සටන කෙළවර වූයේ ලොව නූසුලන මහා ඛේදවාචකයකිනි.
නිදහස් දිනය වන 1947 අගෝස්තු 15 වනදා ගාන්ධිතුමා උපවාසයේ යෙදී කපු කටිමින් දවස ගත කළේය.


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව මේ සා සටනක් කරගෙන ගියහ. ඉන්දියාව පාලනය කළ අවසාන ප්‍රතිරාජවරයා වූ ලුයී මවුන්ට් බැට්න් සාමිවරයාත් ප්‍රතිරාජ දේවිය වූ එඞ්විනා මවුන්ට්බැට්න් කාන්තාවත් ගාන්ධි තුමාගේ කුළුපග සුහදයෝ වූහ.


ගාන්ධි තුමාගේ ජීවිතයේ අවසාන මොහොත ඉතා බොහෝ සේ වාර්තාගත වී ඇත්තේය.


1948 ජනවාරි තිස්වනදා උදෑසන 5.17ට ගාන්ධි තුමා සිය මිනිපිරියන් හා සමග ගෙඋයනේ සිටියේය. එතැන සිට එතුමා යාච්ඤා කණ්ඩායමක් ඇමතීමට යන්නට සැරසුණේය. ඒ අවස්ථාවේ නතුරාම් විනායක ගොඞ්සේ ඔහු අත තිබුණු මිලිමීටර් 99 බෙරෙට්ටා පිස්තෝලයෙන් ගාන්ධිතුමාගේ ළයට වෙඩි පහර තුනක් තැබුවේය. ගාන්ධිතුමාගේ ජීවිතය නිරුද්ධ විය. අගමැති නේරු, ගුවන් විදුලියෙන් ජාතිය අමතා කියා සිටියේ “අපගේ ජීවිතවලින් නිකුත් වූ ආලෝකය මැකී ගියේය” ගොඞ්සේ අන්තගාමියෙකු සේ ගාන්ධි තුමාගේ අහිංසා වාදයට වෛර කළේය.


මෑත ඉතිහාසයේ ජනනායකයකුගේ අවමංගල්‍යය සඳහා එක්වූ විශාලතම ජනකාය වූයේ මහත්මා ගාන්ධි ආදාහනයට සහභාගි වූ දශලක්ෂ සංඛ්‍යාවටත් අධික මානව කණ්ඩායමයි.


1869 උපත ලැබ 1948 ජනවාරි තිස්වනදා දක්වා හැත්තෑ අට වසක් මනුලොව ජීවත්ව සිටි ගාන්ධි තුමා අභාවයට පත්වූයේය.


ලෝක ඉතිහාසයේ මහාම අධිරාජ්‍යය පෙරලූ එතුමා ඉතිරිකොට ගියේ කවර ධනයක්ද?


ලෞකික වශයෙන් ඉතිරිව තිබුණේ කදාර් රෙදිකඩ දෙකකද, ලෝගුවේ තිබුණු සුළු දේවල් කිහිපයක් ය.
එතුමාගේ ඇස් කණ්ණාඩි සහ කොපුව එහි තිබිණි.


ඊට අතිරේකව එහි රූප තුනක් තිබිණි. රූප තුනේ වඳුරන් තුන් දෙනෙක් සිටියහ. එක් වඳුරෙක් දෑතින් සිය දෑස වසාගෙන සිටී. “නරක කිසිවක් නොදකිමියි” ඒ රූපය යට තිබූ වාක්‍යයෙන් පැවසිණ. දෙවැන්නා දෑතින් කට වසාගෙන සිටියේය. වැකිය: “නපුරු කිසිවක් නොකියමි”, තුන්වැන්නා සිටියේ කන්දෙක දෑතින් වසාගෙනයි. “නපුරු කිසිවක් නොඅසමි” මේ වඳුරන් තුන්දෙනා ලොව හැමෝටම අපූරු උපදේශාත්මක රූප තුනකි.


එතුමා සතු තවත් ද්‍රව්‍ය කිහිපයක් තිබිණ. ඒ කපු කටින චර්කාවත් ලී සෙරෙප්පු දෙකත්ය.


ගාන්ධිතුමා විසින් ලොවට දායාද කොට තිබෙන මහාම නිදාන අද බොහෝ දෙනාට නොපෙනෙන සේය.
අහිංසා සටන ඉන් ප්‍රධාන තැන ගනී. 


අද ලොව හැම තැනම සටන්ය. ස්පාඤ්ඤයෙන් වෙන් වන්නට කැටලෝනියාවේ ලක්ෂ සංඛ්‍යාත ජනයා පාරට බසිති.
දකුණු ඇමෙරිකාවේ වෙනිසියුලාවේත් එසේය. අප්‍රිකාවේ කෙන්යා රාජ්‍යය ඇලලී ගොස්ය.


සරණාගතයෝ දශ ලක්ෂ සංඛ්‍යාවෙන් පිහිට සොයා යමින් මරණාගතයෝ වෙති.


මේ එක් තැනකවත් ඒ සා කර්කශ සටන් මහා අධිරාජ්‍යයක් පෙරළා දමනු පිණිස නොවේ. ඒවා තමන්ගේම කොටසකට එරෙහිව කෙරෙන සටන්ය.


අපේ රටේත් මහා අධිරාජ්‍යයකට විරුද්ධව කෙරෙන සටනක් නැත. ඒත් හැමදාම මහපාරේ සටන්කාරයෝ කෑකෝ ගසති. ගල් මුගුරු භාවිත කරති.


බුදුරජාණන්ගේ මහා කරුණාවෙන් පිහිටුවන ලද ශ්‍රාවක පරපුරට සෘජුවම අයත් නැති මහත්මා ගාන්ධි බුදු හිමියන්ගේ මෙත් පෙරටු මග ගෙන අහිංසාවාදය ජනහද නිවන මහා මාවතක් කොට ගත්තේය. ඒ දහම බුද්ධ දර්ශනයට බොහෝ සේ කිට්ටුය. සිතමු.


 

ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාඥයා ගේ වචනයක වටිනාකම

ජගත් කීර්තිමත් විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් 1922 දී ජපානයට ගියේය. ඔහු නැවතී සිටි හෝටලයේ සේවයේ යෙදී සිටි තරුණයෙක් මහා විද්‍යාඥයාගෙන් ඉල්ලීමක් කළේය.


“සතුට කියන්නේ කුමක්දැයි මට වචන කීපයකින් ලියා දෙන්න” අයින්ස්ටයින් සරලව මෙසේ ලියා දුන්නේය.

“හැමවිටම සිතේ නොසන්සුන්බව සහිතව සාර්ථකත්වය හඹායෑමට වඩා සතුට, සුවය ලැබෙන්නේ තැන්පත් සරළ දිවි පෙවෙතකිනි.” අවුරුදු අනූපහකින් පසුව අයින්ස්ටයින්ගේ වචන කිහිපය සහිත ලිපිය ජෙරුසෙලම් නගරයේදී වෙන්දේසි කරන ලදී. ඒ සඳහා ලැබුණු දැවැන්ත මුදල ඇමෙරිකානු ඩොලර් පසළොස් ලක්ෂ හැට දහසකි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 24යි. (ඒ කොළ කෑල්ල තිබුණේ කා ගාවද?)
හරියටම ශ්‍රී ලංකා රුපියල් 23 කෝටි අනුහය ලක්ෂ 47,200කි.


 

චීනයේ ග්‍රීක ග්‍රන්ථය

චීනය ඉතා ඈත යුගයන්හි පවා පද්‍ය සාහිත්‍යයට ඇළුම් කළේය. ඒ මහා දේශයේ සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථයන්හි ඉතිහාසය කොන්ෆියුසියස් තුමාගේ කාලයටත් වඩා ඈත යුගයකට විහිදේ. කොන්ෆියුසියස් දර්ශනවාදියා චීනයේ වාසය කළේ ක්‍රිස්තු වර්ෂයට පෙර 551 සිට ක්‍රිස්තු වර්ෂයට පෙර 479 දක්වා කාල පරිච්ජේදයේයි.


චීනයේ “ගීත ග්‍රන්ථය” නම් කෘතිය දර්ශනවාදී කොන්ෆියුසියස් විසින් ගෞරව පූර්වකව සලකන ලද කෘතියකි.
පැරණි චීන කාව්‍ය ග්‍රන්ථයන්හි ළය, එළියසමය වෘත්ත ආදිය මෙන්ම ගායන ලතාවද අගය කෙරුණේය. ජීවිතයේ සාමාන්‍ය සිද්ධියක් වුවද කාව්‍යයට සුදුසු තේමාවක් සේ සැලකීම ඉපැරණි චීන කවියන්ගේ සම්ප්‍රදායයක් වූයේය.
මේ පැරණි චීන කවියන් අතුරින් එක් අයෙකු නම් වොං වෙයි නම් විද්වතායි. ඔහු වාසය කළේ ක්‍රිස්තු වර්ෂ 699 ත් 759 ත් අතර හැට අවුරුද්ද තුළය. ඔහු විසින් “කඳුකර පෙදෙස” යන තේමාවෙන් ලියන ලද පද්‍යයකින් පැවසෙන ලාලිත්‍යවත් අදහස මෙසේය.

නදී ජලය තුළින් සුදු ගල් බොරලු ඉස්මතුවේ
සිහිල් සරත් සමයයෙහි රතු පත්‍ර පාවෙයි
කඳුකර මාවතෙහි වැසි වැටෙන්නේ නොවේ
එසේ වුවද සියුම් හරිත වායුවෙන් මගේ ඇඳුම් තෙත්ය


මේ පැරණි චීන කාව්‍ය සම්ප්‍රදායට අයත් ලී පෝ (701 - 762) නම් කවියා “යූඒ පෙදෙස් ලලනාව” නම් පද්‍යයක් රචනා කරන්නේය.


ඈ යුඒ නදියේ නෙළුම් ඇට නෙළන්නීය
ගී ගයද්දී ඈ අමුත්තෙකු දැක හැරී බලන්නීය
එවිට ඈ සිනාසී නෙළුම් කොළ අතර සැඟවෙන්නීය
විලි බියෙන් බරිත වූ සේ දක්වමින්


ක්‍රිස්තු වර්ෂ 713ත් 770ත් අතරතුර විසූ කෑ ෆු නම් කවියා සීපද කවියක් රචනා කරන්නේය.
ඔබ වසත් සමය එළඹීම ගැන ප්‍රශංසා කරන්නට පෙර මෙය සළකා බලන්න
වියරු මාරුතය කවර නම් නැටුමක් නටයිද
මල් ජල තරංග මත විසුරුවන්නටත්
මස් මරන්නාගේ ඔරුව පෙරළනු පිණිසත්?
චීන පද්‍ය සාහිත්‍යයේ නවෝදය සේ සලකනු ලබන්නේ කැංග් පෙළපතේ පාලන යුගයයි. (ක්‍රිස්තු වර්ෂ 618-906) ඒ යුගයට අයත් කෘති 900ක පද්‍ය 49,000ක් පමණ ඇත්තේය. මේ සා පෘථුල සම්භාව්‍ය චීන සාහිත්‍යයක් ශ්‍රී ලංකාවේ රසිකයන්ට හඳුන්වා දෙන්නට ප්‍රයත්නයක් තිබිය යුතුය.


 

තණතිල්ල සහ උද්ඝෝෂකයෝ

නවීන නගරයක ඉතාම විචිත්‍ර තණතිල්ලක් ඇත්තේය. එහි “තණ නොපාගනු යැයි” පුවරු තබා තිබේ. ඒ අසල එලිමහන් බිමේ උද්ඝෝෂකයන් කණ්ඩායමක් රැස්වීමක් පැවැත්වූහ. පොලිස් නිලධාරිහු අවුත් කඳුළු ගෑස් දිය පාර ආදිය යවා උද්ඝෝෂණයන් පළවා හැරියහ. ඒ පළවා හරින ලද උද්ඝෝෂකයන් පණ රැක ගන්නට දුවන විටත් “තණ නොපාගනු” යන පුවරු සහිත තණතිල්ල පෑගුවේ නැත.


RECOMMEND POSTS

RELATED POSTS