බිග් මැච් ඇන කොටාගන්න නොවේ



 

 

ශිෂ්ටාචාරී මානව දිවිපෙවෙතෙහි ඉතාම ඈතට විහිදෙන ක්‍රීඩා මාලාව නම් කෙරෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා වශයෙනි.
මේ ඔලිම්පික් ක්‍රීඩා උත්සව මාලාව ආරම්භ වූයේ ග්‍රීසියේ ඔලිම්පස් කන්ද කේන්ද්‍රකොට ගෙනයි.
ඔලිම්පික් ක්‍රීඩා මාලාවේ ප්‍රාථමික අරමුණ වූයේ ඔලිම්පස් කන්දේ වාසය කරන්නේ යැයි සැලකෙන දේව ගණයට වන්දනා කිරීමයි.
මේ ක්‍රීඩා පද්ධතිය පළමුවන වරට පැවැත්වුණේ ක්‍රිස්තු පූර්ව අටවන ශතවර්ෂයේදීය. එය බුද්ධකාලයටත් වඩා පැරැණි කාල පරිච්ඡේදයකි.

එහි ප්‍රධාන අංගය වූයේ ධාවන තරගයකි.
එදා ඒ ධාවන ඉසව්වට සහභාගිවූ ක්‍රීඩකයෝ ඇඟලුම් රහිත වූහ. ජයග්‍රාහකයාට පිරිනැමුයේ ඔලිව් කොළ වලින් තනන ලද ශීර්ෂාභරණයකි.
මෑතක් වනතෙක්ම පාහේ, ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතියෙහිද විවිධ ක්‍රීඩාවර්ග දේව වන්දනා ස්වරූපයෙන් භාවිත කෙරුණේය.
පැරණි ගම්මාන බොහොමයක අම්පිටිය හැටියට වෙන් කෙරුණු දේව ක්‍රීඩා භූමි තිබිණි.
විවිධ දේව වන්දනා සමයන්හි ගැමියෝ ඒ අම්පිටිවල රැස්වෙති.


එසේ එක්රැස්වන ඔවුහු දෙපිලකට බෙදෙති. එසේ බෙදෙන ඔවුන් අං ඇදීම වැනි ක්‍රීඩාවල යෙදෙන්නේ ඉතා ගෞරවනීය දේව පූජාවක යෙදෙන ආකාරයෙනි.
ජයග්‍රහණය පතා දැඩි කැපවීමකින් යුක්තව ඒ ක්‍රීඩාවේ යෙදෙන ඔවුහු ඒ ක්‍රීඩා තරගයෙහි ප්‍රතිඵලය තැන්පත් ලෙස පිළිගනිති. ඔවුන්ගේ ශික්ෂණයෙහි ප්‍රශස්ත අංශය එයයි.
ජයග්‍රහණය කළ පිලේ සමත්තු පරාජිතයන් වටා රැස්වෙති. ජයගත් කණ්ඩායමේ ක්‍රීඩකයන් පරාජිතයන් වටා රැස්වන්නේ පැරදුණු ඇත්තන්ට ඉතා සිත්ගන්නා ආකාරයෙන් ලජ්ජා කිරීම්, අවඥාලාප කිරීම් ආදිය යෙදෙනු පිණිසයි.
පරාජිතයන්ට සරදම් කිරීමේ සමය දෙගොල්ලම නියම විනෝදයෙන් බෙදාගන්නා අවස්ථාවක් බවට පත්වේ.
ජයග්‍රාහකයෙක්, පරාජිතයන් අතුරෙන් එක් අයෙකුට අත දිගුකොට මෙසේ කියන්නේය. මූට නමක් කියාපියෝ
සෙස්සෝ විවිධ නම් කියති. 


ගම්මානයේ හැමෝම මෙහිදී සාධාරණ සතුටක්, අහිංසක විනෝදයක් ආස්වාදය කරති.
කාලයක් ගතවන තෙක්ම, එවැනි සිතා නම් ගම් පියසෙහි ජනවහරට මුසුව පවතී. එවැනි හාස්‍යය මුසු නමක් ලැබීම ඒ ගම්පියසෙහි එක්තරා ප්‍රභූත්වයක් ලැබීම වැනිය.
එසේ නම් දෙමින්, විනෝදවීම, මා අසා ඇති ආකාරයට ‘ජල්ලි’ දැමීම යැයි හැඳින් වෙන්නේය.
එවැනි අපූර්ව සිද්ධි වලින් පසුව දෙපිළම එක්වී චාරිත්‍රවල යෙදෙති. වතාවත් පුරති. ආහාරපාන සංග්‍රහ භුක්තිවිඳීම් ඔවුනොවුන් හා සමග සුහද සාමීචියේ යෙදීම ආදී ක්‍රියාදාමද ඒ ක්‍රීඩෝත්සව හා සබැඳි අංගෝපාංග වෙති.
යම්කිසි මානව විද්‍යාඥයකු විසින් ඒ අභාවයට පත්වීගෙන යන සිරිත් විරිත් පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයක් නොපමාව ආරම්භ කළ යුතු යැයි මට සිතේ.
ඒ අතීත සම්ප්‍රදායයන් හා සමගම අද ශ්‍රී ලංකාව පුරා ක්‍රීඩා උත්සව ආශ්‍රිතව පවත්නා තත්ත්වය ගැනද ඉතා ඕනෑකමින් සොයා බලන්නට කාලය එළඹ ඇත්තේය.
අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ක්‍රීඩා උත්සව බවට පත්වී ඇත්තේ බිග් මැච් සංස්කෘතියයි.
මේ බිග් මැච් (මහ තරග) සම්ප්‍රදාය විචාරකයන් විසින් අටුවා කෙරෙන තත්ත්වයටත් වඩා බොහෝ සේ ගැඹුරුය.
පැරැණි යුගයන්හි අම්පිටි ආශ්‍රිතව පැවති ක්‍රීඩාත්මක වන්දනා ක්‍රමවලට සහභාගී වූයේ අත්‍යන්තයෙන්ම සීමිත ගැමි ප්‍රජාවකි.
එහෙත් අද බිග් මැච් සංකල්පය ඉතා පෘථුල ලෙස විහිද පැතිර යන්නට පටන්ගෙන ඇත්තේය.
මෙයට ප්‍රධාන හේතු කිහිපයකි.


බිග් මැච් චින්තනය, මේ දේශයේ වරප්‍රසාද බහුල පවුල්වල අයගේත් සහභාගිත්වය ලබන ක්‍රියාදාමයක් බවට පත්වීම, ඉන් ප්‍රධාන කරුණකි.
එදා ගම්මානවල අම්පිටියේ පැවති අංකෙළි ආදිය නිසා ඒ සහභාගීවූවන් තුළ වෛරයක් හෝ කෝපයක් හට නොගනී.
ඒ අව්‍යාජ ගැමියන්, අම්පිටියෙන් බැහැර යනවිට ඔවුන්ගේ සිතෙහි මතිමානු වූ හෝ බලාපොරොත්තු කඩවීමක් යන්තමින් හෝ ඉතිරි නොවන්නේය.
එහෙත් බිග්මැච් දාට ගෙදරින් බැහැර යන දරුවා සිය පවුලේ අභිමානයද බිග් මැච් රැළියට ගෙන යන්නේය.
පසුගිය වර්ෂයේදී යම්කිසි කෙනෙක් තමාට කෙණෙහිලි මාත්‍රයකින් හෝ අපහසුවක් ඇති කළේ නම් එවැනි අය ගැන බලාගන්නට මේ කුඩා ළමයි පවා සිය ආධාරකරුවන් හා සමග එක්වෙති.


පවුල්වල අභිමානය පිළිබඳ අධි චින්තනය නිසාත්, එවැනි පිදුරුගොඩවල් වලට තවත් ගිනි පුලිඟු වැටෙන්නට පටන්ගනී.
ඇතැම් දරුවන් බිග්මැච් සඳහා සැරසෙන්නේ, පසුගිය වාර වලදී සිදුවූ දේවල් පිළිබඳව පිළිතුරු දෙන්නට බලාගෙනයි.
අධ්‍යාපන විශේෂඥයන්ව සමාජ නායකයන්ට නොදැනීම පාහේ බොහෝවිට බිග්මැච් ප්‍රතිචාර උග්‍රවන්නේය.
වරින්වර මෙවැනි අර්බුද ගැන, සංවාද ඇතිවෙතත්, ඒවා ගැන ඉතා වගකීමෙන් සොයා බලන්නට, නිසි ක්‍රමාවලියක් තවම මේ දේශයේ උද්ගතවී නොමැත.
දරුවන් එවැනි අවස්ථාවලට සහභාගී වන විට ඔවුහු සම වයසක පණ්ඩිතයන්ගේ පෙළඹවීම්වලටද අසුවෙති.
ඒ තම වයස් පණ්ඩිතයෝ සෙසු දරුවන් නොයෙක් දේ කරන්නට පොළඹවති.


එසේ පෙළඹීම්වලට ලක්වන දරුවන්ට වැඩිහිටියන් විසින් උගැන්විය යුත්තේ අයහපත් දෙයක් කරන්නට පොළඹවන විට මට බැහැයි කියන්නටයි.
මෙහිදී අපට ඉතා වටිනා ආදර්ශයක් ලැබෙන්නේය. ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතාගේ භාර්යාව වන නැන්සි රේගන් මහත්මිය. දරුවන්ට උගැන්වූයේ නරක දෙයක් කරන්නට බල කරන විට මට බැහැයි කියන්නටයි.
අපේ කුඩා දරුවන්ටද මේ බැහැයි කීමේ ගතිය පුරුදු කරන්නට කාලය එළඹ ඇත්තේය.
අද සමාජය සතු සංකීර්ණ ස්වභාවය නිසා දෙමාපිය වැඩිහිටියන්ටද තමන්ගේ දරුවන් ගැන ඉතා තියුණු ලෙස සොයා බලන්නට අපහසු අවස්ථා එළඹේ.
මෙය තරමක් අලුත් සාමාජික අර්බුදයකි. ඒනිසා මේ පිළිබඳව රජයේ අවධානයත් ලැබිය යුතු සමයයක් අද උග්‍රවී ඇත්තේය.
කුඩා දරුවන් පාසල් රැගෙන යනවිට බොහෝ අවස්ථාවන්හිදී වැඩිහිටි කෙනෙක්ද දරුවා භාරව යන්නේය.
මෙහිදී ඇතැම් ප්‍රධාන පාසැල් පිළිබඳව ප්‍රශංසාත්මකව කිව යුත්තක් වේ. අද පාසැල් බොහොමයක ආචාර්ය මණ්ඩලවල ඇදුරු පිරිසද දරුවන් ගැන සුවිශේෂී අවධානය යොමු කරති.
මේ සිද්ධි ඉතා අගනේය.


එහෙත් යොවුන් දරුවෝ ඇතැම් විටෙක අති භයානක උපද්‍රවවලට මූණපාති.
එයට හේතුවන්නේ කලක් මුළුල්ලේ නොසලකා හැර තිබෙන අන්තරායකි.
එය නම් කෙරෙන්නේ නවකවදය වශයෙනි.
නවක වදයේ අඳුරු ප්‍රතිඵල වරින්වර අසන්නට ලැබෙතත්, ඒ රුදුරු උවදුර මුළුමනින්ම පිටුදකින්නට මෙතෙක් අර්ථවත් පියවරක් ගෙන තිබේදැයි සැක සහිතයි.
බොහෝවිට අද මේ නවක වදය කෲර මට්ටමකට පත්ව ඇත්තේය. ඇතැම් නරුමයන් විවිධ තැන් නවක වධ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොටගෙන ඇතැයි වරක් වාර්තා විය.
ශ්‍රී ලංකාව වැනි දේශයක විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබන්නට සුදුසුකම් සපුරා ගන්නා අපේ ඇතැම් දරුවෝ ආර්ථික මට්ටමෙන් ඉතා ප්‍රශ්නකාරී තත්ත්වයක සිටිති.
වරප්‍රසාද විරහිත දෙමාපියෝ තමන් සතු හැමදේම තමන්ගේ දරුවන් උදෙසා කැප කරති.
එවැනි උදාර බලාපොරොත්තු කරපින්නාගෙන විශ්වවිද්‍යාලයට එන ඇතැම් දරුවන්ගේ ජීවිත නවක වදයට ගොදුරු වෙති. එවැනි ඉරණමට පත්වූ ඇතැම් දරුවෝ සමහර විටෙක ජීවිතයෙන්ම සමුගනිති.


නොඑසේ නම් දිවිය පුරාම අකර්මන්‍යව වෙසෙති.
මේ නවකවදය නොපමාව ඉවත්කොට ලූයේ නැත්නම්, අපට අනාගතයේදී ප්‍රවීණ තරුණ පෙළක් නැතිවී යේ. ඒ නවකවදයේ ගොදුරු බවට පත්වන දරුවන් කෙරේ බලාපොරොත්තු තැබූ නෑදෑ හිතවතුන්ගේ ජීවිත අඳුරට වැටෙති.
නවකවදය යන්නේ ඉතිහාසයද බොහෝදෙනා නොදනී.
මධ්‍යකාලීන යුගයේ යුරෝපා රටවල ධනවත් බලසම්පන්න පවුල්වල දරුවෝ අනාගතයේදී තමන් මේ රටේ ප්‍රභූවරුන් වන බව හරිහැටිම දනිති.
එවැනි භාරදූර වගකීම් පිළිගන්ට පෙර ඔවුන්ට නිදහසේ විනෝද සංචාරයක් කොට එන්නට ඒ පවුල්වලින් ඉඩලැබිණි. ඒ තරුණයෝ රිසි රිසි සේ හැසුරුණු කාලය ඔවුන්ගේ නවකවද කාලයයි.


ඔවුන් ඒ කාලයේ ජීවිකාව තුළ කළ ක්‍රීඩා වන්දනාවක් විය.
මීට දශකයකට පමණ පෙර ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලවලද නවක වදය තිබිණි.
එහෙත් ඒ ක්‍රීඩා සමය වන්දනාවකට හරවන්නට ඇමෙරිකානු විශ්ව විද්‍යාල තීරණය කළහ. එහිදී ජ්‍යෙෂ්ඨයන් කළේ නවකයන් හා සමග ඇනකොටා ගැනීම්වල යෙදීම නොවේ. ජ්‍යෙෂ්ඨයෝ ඒ නවකයන් ආදරයෙන් පිළිගෙන ඔවුන් විශ්ව විද්‍යාල ජීවිතය ඉතාම සොඳුරු ලෙස ගත කළ හැකි ආකාරය උගැන්වූහ.
මෙසේ ඒ වන්දනාව ආරම්භවූ ආකාරයත්, ඇන කොටා ගැනීම් නතරකොට අලුතින් එන දරුවන්ට සුහද ලෙස සලකන්නට පටන්ගත් ආකාරයත් සුප්‍රසිද්ධ පොතකින් විවරණය කෙරිණි.


ඒ පොතේ නම ග්‍රීනිං ඔෆ් ඇමෙරිකා (Greening Of America) පොතේ නමේ තේරුම ‘ඇමෙරිකාව ලියඟ වැඩීම’
අප විසින් ක්‍රීඩාව මෙන්ම ජීවිතයද වන්දනාවක් වශයෙන් සලකන්නට පුරුදු විය යුතුය.
එසේ ජීවිතයට පරිශුද්ධ බවක් එකතු කොට ගත්විට ඔබට දැනෙනු ඇත්තේ හැම දවසක්ම අලුත්ය කියාය.
ලෝකය ප්‍රගතියට පත්කොට තිබෙන්නේ ඇන කොටා ගත් අයට වඩා ජීවිතය සොඳුරු වන්දනාවකැයි සලකූ අය විසිනි.
එසේ ජීවිතය භාග්‍ය සම්පන්න වන්දනාවකැයි සිතූ ප්‍රබුද්ධයෝ ලොව නොයෙක් තැන්වලින් පහළවූහ.
ශ්‍රී ලංකාවෙන්ද එවැන්නෝ කරළියට ආහ.


අපේ රජ පෙළපත් බොහෝදෙනා එවැන්නෝ වූහ.
විජය රජුගේ පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස දක්වා අපගේ මේ දේශයේ පාලක පාලිකාවෝ 186 දෙනෙක් සිටියහ.
ඒ සියලුදෙනාත් මේ දේශයේම නිදහස ලැබීමෙන් පසුව පහළවූ ශ්‍රේෂ්ඨයන් බොහෝදෙනාත් අපගේ මේ ධර්මද්වීපය වාසනාවන්ත රාජධානියක බවට පත්කරන්නට වෙහෙස දැරූහ.
අද ජීවත්වන අපිද මේ අප වෙසෙන සමය වාසනාවන්ත වන්දනාවක යෙදෙන යුගයකැයි සැලකුවහොත්, අපගේ මාතෘ භූමිය වරප්‍රසාද ලද ශ්‍රේෂ්ඨ දේශයක් බවට පත්කොට ගත හැකිවේ.


අද මේ ලිපියෙන් මා විශේෂයෙන්ම අදහස් කළේ ඒ පරිශුද්ධ චින්තනය, ඔබ හමුවේ තබන්නටයි.

 


රේචල් කාසන් ගේ නිහඬ වසන්තය

පැරැණි පතපොත

 

රේචල් කාසන් මහත්මිය, ලෝකයට ඉතා ගැඹුරු පාඩමක් උගැන්වූ ලේඛිකාවකි.


එතුමිය, ලොවට කියාදුන්නේ එක් පොතක් විසින් පවා මුළු ලොවම වෙනස් කළ හැකි බවයි. රේචල් කාසන් මහත්මිය විසින් සයිලන්ට් ස්ප්‍රිං (නිසල වසන්තය) නමින් පොතක් කරන ලදී.


එම ග්‍රන්ථයෙන් එතුමිය පෙන්වා දුන්නේ, පරිසර හානිය නිසා මානව සංහතියට සිදුවිය හැකි බැරෑරුම් ව්‍යසනයයි.
නිසල වසන්තය ඇය විසින් විරචිත සිවුවන ග්‍රන්ථයයි.


එහිදී එතුමිය ලෝකයා එකෙක් නොදැන සිටි පාඩමක් ලොවට උගැන්වූවාය.
රේචල් කාසන් මහත්මිය සිය ග්‍රන්ථයෙන් අනතුරු හැඟවීමක් කළාය.


කෘත්‍රිම කෘෂි නාශක ද්‍රව්‍ය පසට යෙදූවිට, මිහිතලයට සිදුවන හානිය එතුමිය එහිදී පැහැදිලි කළාය. 
එතුමියගේ පොත ප්‍රකාශයට පත්වූයේ 1962 කේ සැප්තැම්බර් මාසයේදීය.


කෘත්‍රිම කෘමි නාශක පිළිබඳ පර් යේෂණ පැවැත්වීම, න්‍යෂ්ටික අවි පර් යේෂණ තරම් බැරෑරුම් යැයි එතුමිය කියා සිටියාය.
1963 නේ අප්‍රේල් මාසයේදී රේචල් කාසන් මහත්මිය කියා සිටියේ ඒ කෘත්‍රිම කෘෂි නාශක පිළිබඳ පර් යේෂණ මානව ජීවිතයේ ලක්ෂණ පවා වෙනස් කරන්නේය කියායි.
මේ බැරෑරුම් පාරිසරික ජීවිත ගැන ලෝකයා අවදි වුනේ ඒ කියමනෙනි. මෙතුමිය 1964 දී පිළිකා රෝගයෙන් මිය යනවිට ඇයගේ වයස 56 යි. 
පරිසර සංරක්ෂණයට ලෝකය උනන්දු කරවන ලද්දේ එතුමියගේ ග්‍රන්ථය විසිනි.


අවසාන කාලයේදී එතුමිය ජීවත්වූයේ අරන් හදාගන්නා ලද දරුවාත් ඇයගේ මවත් බළලුන් කිහිපදෙනෙකුත් හා සමගයි.

 


අමුතු විදියේ ප්‍රවෘත්තියක්

ජේන් ලැවික් ගුඩෝල් විද්‍යාඥවරිය, චිම්පන්සින්ලා පිළිබඳ විශේෂඥවරියකි. එතුමිය වරක් මෙසේ ප්‍රකාශ කළාය.


ඉඳහිට චිම්පන්සි දෙදෙනෙක් ගුටි ඇන ගනිති. එහෙත් ඒ තාවකාලික සටනින් පසුව දෙදෙනා අතට අතදී සුමිතුරුව ඉවත්ව යති.
ඒ චිම්පන්සිලා.

 

 

 

 

 

 

 

 

 

 

 

 


RECOMMEND POSTS

RELATED POSTS