• 2017-02-22 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616

බ්‍රිතාන්‍ය අගමැතිනිය දිනයි..පරදියි..දිනයි



බ්‍රිතාන්‍ය, යුරෝපා සංවිධානයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය (බ්‍රෙක්සිට්) ගැන දැන් සිදුවන්නේ කුමක් ද? අපට කිසිම බලයක් නැතිවා වාගෙයි”
ඇලෙස්ටෙයා කැම්බල්
බ්‍රිතාන්‍ය දේශපාලනඥයා

 


සකල ලෝකයේම ප්‍රවෘත්තිවලදී මේ දිනවල මුල් තැනක් ලබන කෙනෙක් අද අපේ අවධානයට ද අනිවාර්යයෙන්ම ලක්වේ.
ඒ විශේෂ “පුද්ගලයා” නම් බි්‍රතාන්‍යයේ වර්තමාන අගමැතිනි, තෙරේසා මේ මහත්මියයි.


ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45 වන ජනාධිපති පදවියට පත්වී මුලින්ම ඉස් ඉස්සෙල්ලාම මුණගැසුණු ලෝක නායකයන් අතර ප්‍රථමයා වූයේත් තෙරේසා මේ මහත්මියයි.


ඉස්රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතාත්, මෙයට දින කිහිපයකට පෙර ලන්ඩන් නගරයේදී තෙරේසා මේ අගමැතිනිය හමුවී කතා බහ කළේය.


එහෙත් මෙම මොහොතේදී බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය, ලෝකයේ තියුණු අවධානයට යොමු වී සිටින්නේ තවමත් හරිහැටි  විසඳී නැති “බ්‍රෙක්සිට්” අර්බුදය නිසාය.


ගිය අවුරුද්දේ, ලෝකයේ ඉතා බැරෑරුම් ජාත්‍යන්තර ප්‍රශ්නයක් වූ “බ්‍රෙක්සිට්” සිද්ධිය තාමත් හැමෝටම මතකයි. එහෙත් මේ මොහොතේ පැන නැගී තිබෙන අලුත්ම තත්ත්වය නිසි සේ අවබෝධ කොට ගනු පිණිස, එහි ඉතිහාසය දෙස නෙතග බැල්මක් හෙලනු වටී.


“බ්‍රෙක් සිට්” නම්  වචනයත්, අවධානයට සුදුසුයි. එය හැදෙන්නේ ඉංගිරිසි වචන දෙකක් එකට පූට්ටු කිරීමෙනි. වචන දෙක “BRITAIN සහ ''ExIT” තේරුම ‘බි්‍රතාන්‍යය සහ ඉවත්ව යෑම’ මේ වචන දෙක එකට එක්වී BRExIT යන අලුත් වචනය තැනුනේය. එහි අර්ථය “බි්‍රතාන්‍යය යුරෝපා  සංවිධානයෙන් ඉවත්ව යෑම” යන්නයි.


2016 ජූනි මස 23 වනදා බි්‍රතන්‍යය පුරා ජනමත විමසීමක් පැවැතියේය. එහි අරමුණ වූයේ බි්‍රතාන්‍යය තවදුරටත් යුරෝපා සංවිධානයේ සාමාජික ධුරයෙහි සිටිය යුතු ද, නොඑසේ නම්, බි්‍රතාන්‍යය යුරෝපා සංවිධානයෙන් ඉවත්ව යා යුතු දැයි තීරණය කොට ගැනීමය.


මෙවැනි ජනමත විමසීමක් පවත්වන්නට තුඩු දුන්නේ, එවකට බි්‍රතාන්‍ය අගමැතිව සිටි ඬේවිඞ් කැමරන් මහතාගේ ඡන්ද පොරොන්දුවකි. ඡන්ද දායකයන් ඉල්ලා සිටි පරිදි මෙවැනි ජනමත විමසීමක් පවත්වන්නට අගමැති කැමරන් තීරණය කළේ, බි්‍රතාන්‍ය ජාතිකයන් යුරෝපා සංවිධානයේ දිගටම සිටීමට කැමැත්ත දක්වතියි අගමැති කැමරන් තරයේ විශ්වාස කළ හෙයිනි.
සිදුවූයේ අගමැති කැමරන් සිතා සිටි දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. බි්‍රතාන්‍ය ඡන්දදායකයන්ගෙන් සියයට 51.9ක් දෙනා කියා සිටියේ බි්‍රතාන්‍යය යුරෝපා සංවිධානයෙන් ඉවත් විය යුතුය කියායි.


ජනමත විමසුමේ ප්‍රතිඵල නිකුත් වී පැය කිහිපයක් ඇතුළත අගමැති ඬේවිඞ් කැමරන් සිය පදවියෙන් ඉල්ලා අස්වූයේය.


“බ්‍රෙක්සිට්” තීන්දුව හේතු කොට ගෙන එංගලන්තය පුරා පැතිර ගිය ගින්න නිවන්නට අලුත් “ගිනි නිවන” කණ්ඩායමක් නොපමාවම ඉදිරිපත් වූයේය. එහි නායකත්වය ලද්දේ තෙරේසා මේ අගමැතිනියයි.


ජනමත තීන්දුවෙන් දින විස්සකට පසුව, එනම් ජූලි මස දහතුන් වනදා තෙරේසා මේ මහත්මිය බි්‍රතාන්‍යයේ අගමැතිනිය වී ඩවුනිං වීථියේ අංක දහය දරන බි්‍රතාන්‍ය අගමැති නිල නිවාසයට ආවාය.


පනස් නව හැවිරිදි තෙරේසා මේ කාන්තාව මෙසේ පදවිය දිනා එන විට, එතුමිය කෘතහස්ත පාලන තන්ත්‍රවේදිනියක්ව සිටියාය. තෙරේසා මේ අගමැතිනිය ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට පත්වූයේ 1997දීය. පූජකවරයකුගේ දියණිය වන තෙරේසා මේ මහත්මිය, කැපී පෙනෙන ඇඳුම් පළඳුමට ඒ තරම් කැමැත්තක් නොදක්වන්නීය. එහෙත් විවිධ අලංකරණ සහිත අඩි උස පා වැසුම්වලට නම් එතුමිය විශේෂ රුචිකත්යක් දක්වන්නීය. 


අගමැති පදවිය ලත්තැන පටන්ම තෙරේසා මේ මහත්මිය සිය කේන්ද්‍රීය ඉලක්කය ලෙස සලකන්නේ බ්‍රෙක්සිට් (යුරෝපා සංවිධානයෙන් බැහැර වීමේ සංකල්පය) ගැනයි.


යුරෝපා සංවිධානයේ නීති-රීති පද්ධතිවලින් සාමාජික රාජ්‍ය වෙන්වීයෑමේ කාර්ය රටාව වෙත ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ යුරෝපා සංවිධානයේ ලිස්බන් ගිවිසුමේ පනස් වන වගන්තියයි. ඒ වගන්තිය ක්‍රියා කරවනු පිණිස ඒ ඉවත්වන්නට ඉල්ලුම් කරන රාජ්‍යයේ අගමැති විසින් ඒ රාජ්‍යයේ පාලන මණ්ඩලයෙන් බලය ලබාගත යුතු වේ. එසේ ලබා ගත් විට ඉවත්ව යෑමේ ක්‍රියා පද්ධතිය නිල වශයෙන් ආරම්භ කළ හැකි වෙයි.


එහෙත් මේ ඉවත්ව යෑමේ අවසරය තමාට ඍජුව ලබාගන්නට අගමැතිනි මේ මහත්මිය බි්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර පැතුවාය.


ඒ ඉල්ලීම සලකා බලන්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් රැස්වුණේය.
ඒ පිළිබඳව තීන්දුව දෙනු පිණිස විනිශ්චයකාර මණ්ඩලය 2017 ජනවාරි 24 වනදා රැස්වූයේය.


අගමැතිනියගේ ඉල්ලීම සලකා බැලූ 11 දෙනාගේ විනිශ්චය මණ්ඩලයෙන් අට දෙනෙක් ඒ අයැදුම ප්‍රතික්ෂේප කළහ.


තෙරේසා මේ අගමැතිනියගේ පරාජය එතැනයි.


එහෙත් එතුමියට විකල්පයක් ලැබුණේය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උභය අංශයේම බහුතර ඡන්දයකින් එතුමියගේ ඉල්ලීම අනුමත වුවහොත් ඇයට යුරෝපා සංවිධානයේ ලිස්බන් ගිවිසුමේ අංක පනහේ වගන්තියට අනුව ඉවත්ව යෑමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකිය. ඒ ඉවත්ව යෑමේ නිල ක්‍රියාවලිය ආරම්භ කළ යුතු වන්නේ මාර්තු මස අවසානයට පෙරදීය. එතැන් පටන් අවුරුදු දෙකක්ම මේ “වෙන්වීමේ දික්කසාදය” ගැන දීර්ඝ සාකච්ඡා පැවැත්වේ.


අගමැතිනි තෙරේසා මහත්මිය වහාම ක්‍රියාත්මක වූවාය.


බි්‍රතාන්‍යයේ උභය මන්ත්‍රණ සභා සැදෙන්නේ මෙසේය.


1. නියෝජිත පාර්ලිමේන්තුව (හවුස් ඔෆ් කොමන්ස්) ආසන සංඛ්‍යාව: 650යි.
2. සාමි මන්ත්‍රී මණ්ඩලය (හවුස් ඔෆ් ලෝඞ්ස්) ආසන සංඛ්‍යාව: 805යි.


මේ උභය පාලන මණ්ඩලවල අනුමැතිය ලබාගන්නට අගමැතිනිය පළමුවෙන්ම ඡන්දය පැවැත්වූයේ නියෝජිත පාර්ලිමේන්තුවෙනි. 2017තේ පෙබරවාරි තුන් වනදා පැවැත් වූ ඡන්ද විමසීමේදී අගමැතිනියට විපක්ෂ වූ ඡන්ද ගණන 114ක් විය. එතුමියට පක්ෂව ඡන්ද 498ක් ලැබීමෙන් අගමැති තෙරේසා මහත්මිය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවාය.

 


පැරදුනා - ඉන්පසුව විශිෂ්ට ලෙස දිනුවා


මින් පසුව අවශ්‍ය වන්නේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියයි. එහිදී එතුමියට පක්ෂව අවම වශයෙන් ඡන්ද 405ක් ලැබිය යුතු වෙයි.
තරමක් අපහසුවෙන් හෝ ඒ ඡන්ද ප්‍රමාණයන් ලැබේ යැයි විචාරකයෝ සිතති.


එවිට තෙරේසා මේ අගමැතිනියට යුරෝපා සංවිධානයෙන් ඉවත්වීමේ සංකීර්ණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි වේ.


ලෝකයේ පාර්ලිමේන්තු අතුරින් “පාර්ලිමේන්තු මාතාව” (මදර් ඔෆ් පාර්ලිමන්ට්ස්) වශයෙන් නම් කෙරෙන්නේ එංගලන්තයේ හවුස් ඔෆ් කොමන්ස් පාර්ලිමේන්තුවයි.


ශ්‍රී ලංකාවේ දියවන්නා ඔය ආශ්‍රිතව ජයවර්ධනපුර පිහිටි අපගේ මහා පාර්ලිමේන්තු මාලිගය හා සසඳන විට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඉතා සරළය. මැති ඇමැතිවරු ඇතැම් විට හිටගෙනත් සිටිති. එහි මැද පිහිටි දිග මේසයක් අසල බංකුවක් මත අගමැතිනි අසුන්ගෙන සිටින්නීය. සෙස්සෝත්, එතුමිය දෙපස වාඩි වී  සිටිති. කථා කරන්නට දෙදෙනෙක් සැරසුණොත් පළමුවෙන් නැගී සිටි තැනැත්තාට ඉඩදී දෙවැන්නා වාඩි වෙයි. ලෝකයේ ප්‍රබලතම ප්‍රශ්න සාකච්ඡා කෙරෙන්නේ එවැනි තැනකයි.

 

දෙවන එලිසබත් මහ රැජිනගේ ඉඳුනිල් ජුබිලිය


ඉඳුනිල් ජුබිලිය පැවැත්වෙන්නේ යම්කිසි සිද්ධියක හැටපස් වන වයසේදීය. දෙවන එලිසබත් මහ රැජින මේ පෙබරවාරි හයවනදා බි්‍රතාන්‍ය රජ පෙළෙපතේ ඉඳුනිල් ජුබිලිය පවත්වන පළමුවැන්නා වූවාය. අවුරුදු 65ක් අඛණ්ඩව සිහසුන අරා සිටිමින් දෙවන එලිසබත් මහ රැජින, ඒ රාජ්‍ය පද ප්‍රාප්තියේ ඉඳුනිල් ජුබිලිය පවත්වන්නේ එතුමිය මුලින් සිහසුනට පත් වූයේ 1952කේ පෙබරවාරි හයවනදා හෙයිනි.


දෙවන එලිසබත් මහ රැජින අද ලොව ඉතාම  දිගු කලක් සිංහාසනාරූඪව සිටින රාෂ්ට්‍ර පාලිකාව ද වන්නීය. එතුමියට අද ලොව ඉතාම දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා රජ කිරීමේ ගෞරවය හිමිවන්නේ, ඒ සම්මානය ලැබ සිටි භූමි බෝල් අදුලසඬේජ් තායි රජතුමා ගිය අවුරුද්දේ අභාවයට පත් වූ හෙයිනි.

මේ අනතුරු ඇඟවීමට මුළු ලොවම සවන් දිය යුතු වේ.
“සමස්ත ලෝකයම යුද්ධයට සැරසෙන්නා සේ පෙනේ”
මිචෙල් ගෝබචොෆ් (1931) හිටපු සෝවියට් නායකයා


සෝවියට් පාලන සංවිධානයේ ඉහළම තැන්වල සිටිමින් රාෂ්ට්‍ර පාලනයෙහි යෙදුණු මිචෙල් ගෝබචොෆ් ලෝකයේ ප්‍රධාන පෙලේ තන්ත්‍රවාදියෙකි. අද ලොව මානව වර්ගයා කෙරේ බලපාන ඉරණම, ඉතා හොඳින් දන්නා මේ සූක්ෂ්ම චින්තකයා, මානව සංහතිය මුහුණපාන බැරෑරුම් ව්‍යසනයක් පිළිබඳව දරුණු රතු එළියක් දක්වන්නේය.


ඔහුගේ දැක්ම මෙසේය.


අද ලෝකය අර්බුදවලින් ඉහ වහ ගොස් සිටී. ප්‍රතිපත්ති තනන්නෝ සිත්අවුල් වූවන් වැනිය. ඔවුන්ට කර කියා ගත හැකි දෙයක් නැති සේ පෙනෙයි.


දේශපාලනයට යුද්ධය ආරෝපණය කිරීමත්, අලුත් අවි තරගයක් තරම්. ඉතා ඉක්මනින් විසඳිය යුතු වෙන අන් ප්‍රශ්නයක් නොමැත. මෙය නවත්වා ලීමත්, මේ විනාශකාරී තරගය ආපසු හැරවීමත් අප මානව වර්ගයාගේ මුඛ්‍යතම ප්‍රශ්නය විය යුතුය.


වර්තමාන තත්ත්වය සිතා ගත නොහෙන තරම් අන්තරායකාරීය.


හමුදාත්, යුද ටැංකිත්, සන්නද්ධයන් ප්‍රවාහනය කරන රථත්, වඩ වඩාත් බහුල වශයෙන් යුරෝපයට ගෙන එනු ලැබේ. පෙර කාලයේ දුරින් පිහිටුවා තිබුණු නේටෝ සංවිධානයේ සහ රුසියාවේ භටයනුත්, අවි ආයුධත් අද ඔවුනොවුන්ට ඉතාම කිට්ටුවෙන් පිහිටුවනු ලැබේ. ඔවුන් හරියටම ඔවුනොවුන්ගේ මුහුණටම පහර දෙන්නට සූදානම් වී සිටින්නාක් වැනිය. 


මිනිසුන්ට අත්‍යවශ්‍ය සාමාජික ද්‍රව්‍ය සඳහා අරමුදල් සපයන්නට රජයේ අය වැය ලේඛන මහා වෙහෙසක් දරද්දී යුද වියදම් එන්ට එන්ටම අධික වේ. දියුණු අවි වර්ග සඳහා ඉතා පහසුවෙන් මුදල් සොයා ගත හැකි වේ. ඒවායේ නාශක ශක්තිය සංහාරක ආයුධවල බලය තරම් වේ. එහි එක් වෙඩි මුරයකින් මහාද්වීපයකින් අඩක් විනාශ කළ හැකි සබ්මැරීන් සඳහා අරමුදල් සපයා ගත හැකි වෙයි. ගිවිසුම් මගින් තහවුරු කළ හැකි සාමයට හානි පමුණුවන ආරක්ෂක මිසයිල ආයුධ පද්ධති සඳහා ධනය ලබා ගත හැකිය.


දේශපාලනඥයෝත්, යුද්ධ නායකයෝත් එන්ට එන්ටම වැඩි වැඩියෙන් ආක්‍රමණශීලී වෙති. ආරක්ෂක අදහස්, උදහස් එන්ට එන්ටම අන්තරායකාරී වේ. විචාරකයෝත්, රූපවාහිනී ශිල්පීහුත් මේ කර්කශ ප්‍රකාශවලට එක්වෙති. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ මුළු ලෝකයම යුද්ධයට සූදානම් වෙමින්  සිටින බවයි.


1980වේ දශකයේ අගභාගයේදී ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍යයන් හා සමග එක්ව අපි පරමාණු අවි අඩු කරන ක්‍රමයකුත්, න්‍යෂ්ටික තර්ජනය ලිහිල් කරන ක්‍රමයකුත් ආරම්භ කළෙමු. රුසියාවත්, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයත් විසින් අවි සීමා කිරීමේ ගිවිසුම සමීක්ෂක සම්මන්ත්‍රණයට වාර්තා කළ පරිදි සංහිඳියා සමයයේදී එකට එකතු කරන ලද න්‍යෂ්ටික අවිවලින් සීයට 80ක් අකර්මණ්‍ය කොට, විනාශ කොට දමා ඇත්තේය. කාගේවත් ආරක්ෂාව අඩු නොවේ. යාන්ත්‍රික දෝෂයක් නිසා හෝ අදිසි අනතුරක් නිසා හෝ පරමාණු යුද්ධයක් ආරම්භ වීමේ අන්තරාය අඩු කොට ඇත්තේය.


මේ යහපත් ප්‍රතිඵලය ලබා ගන්නට අන් හැමටම වඩා උපකාරී වූයේ පරමාණු යුද්ධ පිටුදැකිය යුතු යැයි ප්‍රධාන පරමාණු බල රාජ්‍යයන්හි නායකයන් විසින් අවබෝධ කොට ගැනීම නිසාය.


ජිනීවාහිදී 1985හේ නොවැම්බර් මාසයේදී පවත්වන ලද ඉහළ මට්ටමේ සමුළුවකදී සෝවියට් දේශයේත්, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේත් නායකයෝ මෙසේ ප්‍රකාශ කළහ. “පරාමාණු යුද්ධවලින් කවදාවත් දිනන්නට බැරිය. ඒ නිසා ඒ ආකාරයේ යුද්ධ නොකළ යුතුයි. අපගේ රාජ්‍ය දෙක, යුද්ධ ආධිපත්‍යය නොසොයති” ලොව පුරා මේ ප්‍රකාශය පිළිගන්නා ලද්දේ සැනසුම් සුසුමකිනි.


1986යේදී සෝවියට් රාජ්‍යයේ පැවති පොලිට් බියුරෝ මණ්ඩලයේ රැස්වීමක් මට මතකයි. එහිදී ආරක්ෂක සංවිධාන ගැන සාකච්ඡා පැවැත්තේය. යෝජනා කරන ලද දළ සැලැස්මේ භාෂාව මෙසේ විය.


“තමන් සතු හැම ශක්තියක්ම යොදා ප්‍රහාරවලට මූණපාන්න” පොලිට් බියුරෝ මණ්ඩලයේ සාමාජිකයෝ, ඒ සංකල්පයට විරුද්ධ වූහ. පරමාණු අවි භාවිතා කළ යුත්තේ එකම අරමුණක් සඳහා පමණකැයි ඔවුහු ඒකමතිකව තීරණය කළහ. ඒ අරමුණ නම් යුද්ධ  වළක්වාලීමේ අරමුණයි. අපගේ අවසාන අරමුණ විය යුත්තේ පරමාණු අවි විරහිත ලෝකයක් තනාලීමයි.


එහෙත් අද නැවතත් පරමාණු තර්ජනය සත්‍යවශයෙන්ම පවත්නා සේ පෙනේ. දැන් අවුරුදු කිහිපයක සිට මහා බලවතුන් අතර සම්බන්ධතා එන්ට එන්ටම පිරිහෙමින් පවතී. අවි තැනීම බහුල කළ යුතු යැයි කියන අයත්, යුද්ධ කර්මාන්ත සංකීර්ණයත් බොහෝ සතුටින් සිටිති. 


අපි මේ උගුලෙන් ගැලවී ගත යුතු වෙමු. ඒකාබද්ධව තීරණවලට එළඹෙනු පිණිසත්, ඒකාබද්ධව ක්‍රියා කරනු පිණිසත් අප විසින් නැවත සුහද දේශපාලන සංවාදයක් ආරම්භ කළ යුතු වේ. එවැනි සාකච්ඡාවල අරමුණ විය යුත්තේ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම යැයි සමහරු සිතති. මෙය ඉක්මනින්ම ඉටු කළ යුත්තක් බව ඇත්තයි. එහෙත් සාමාන්‍ය මානව සබඳතා සඳහාත්, අනුක්‍රමයෙන් ගොඩනැගෙන සහයෝගය සඳහාත් පදනමක් වශයෙන් එය ප්‍රමාණවත් නොවේ.


නැවතත් අපගේ මූලික අරමුණ විය යුත්තේ යුද්ධය වළක්වාලීමයි. අපගේ මූලික අරමුණ විය යුත්තේ පෙදෙන් පෙද, අවි තරගය අඩු කිරීමයි. අවි ගබඩා අඩු කිරීමයි. අපගේ අරමුණ විය යුත්තේ හුදෙක් පරමාණු අවි ප්‍රමාණය ගැන හෝ උපරිම පරමාණු අවි ප්‍රමාණ ගැන හෝ එකඟතාවයකට එළඹීම පමණක් නොවේ. ආරක්ෂක මිසයිල පිළිබඳවත්, ස්ථාවරත්වය ගෙන එන ක්‍රමාවලි පිළිබඳවත් අප එකඟත්වයකට එළඹිය යුතු වේ.


අද ලෝකයේ යුද්ධ නීති විරෝධී ක්‍රියා සේ නියම කළ යුතුවේ. මක්කිසාද යත්, අපට ජගත් මට්ටමෙන් මූණපාන්නට සිදුවන කිසිම අර්බුදයක් යුද්ධ මගින් නිරාකරණය කොට ගත නොහෙන හෙයිනි. දිළිඳුකම, පරිසර ප්‍රශ්න, සරණාගත අර්බුද, ජනගහණ වර්ධනය, මූලාශ්‍ර හිඟකම වැනි කිසිම අර්බුදයක් යුද්ධ මගින් විසඳා ගත නොහැක. මෙහිලා පළමු පියවර ගන්නැයි මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙනි. ජාත්‍යන්තර සාමයත්, ආරක්ෂාවත් පිළිබඳ මූලික වගකීම ඔවුන් සතු හෙයිනි. මා විශේෂයෙන්ම යෝජනා කරන්නේ, රාජ්‍ය නායක මට්ටමෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයේ සමුළුවකදී පරමාණු යුද්ධ ප්‍රතික්ෂේප කළ යුතු බවටත්, කිසිවිටෙකත් එවැනි යුද්ධ නොකළ යුතු බවටත් සම්මුතියකට එළැඹිය යුතු බවයි.


එවැනි සම්මුතියක් පිළිගැනීම ආරම්භ කළ යුතු වන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වලැඩිමියේ පුටින් විසින් යැයි මම සිතමි. ලෝකයේ පරමාණු අවි ගබඩාවලින් සීයට 90කටත් අධික ප්‍රමාණයක් හිමි රාජ්‍යයන් දෙකේ නායකයන් ඒ දෙදෙනා හෙයිනි. ඒ නිසාම ඔවුන්ට මෙහිලා විශේෂ වගකීමක් ඇත්තේය.


ප්‍රධාන පෙළේ නිදහසක් නම්, බිය නොමැතිව සිටීමේ නිදහස යැයි ජනාධිපති ෆ්‍රැක්ලින් ඩී. රූස්වෙල්ට් වරක් පැවසුවේය. භීතිය, බිය පිළිබඳ බරත්, ඒ බර උසුලාගෙන සිටීමෙන් හටගන්නා ආතතියත්, අද දශලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාට දැනෙන්නේය. මෙයට ප්‍රධාන හේතුව යුද්ධවාදයයි. අවිගත් සටන් සමූහයයි. අවි තරගයයි, එසේම සදාකාලිකව මිනිසුන්ගේ හිසට ඉහළින් එල්බ තිබෙන පරමාණු අවියයි. 


මේ භීතියෙන් ලෝකය ගලවා ගැනීම, මිනිසුන්ට තව තවත් නිදහස දීමකි. මෙය අප කාගේත් පොදු අරමුණ විය යුතුය. එසේ වුවහොත් සෙසු බොහෝ අර්බුද නිරාකරණය කිරීම ඉතා පහසු වේ. තීරණයට එළඹීමේත් ක්‍රියාත්මක වීමේත් මොහොත මේ දැන්ය.
ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාලන තන්ත්‍රවේදියකු වන මිචෙල් ගෝබචොෆ් සාම ප්‍රාඥායාගේ මේ අදහස් මාලාව සුහද සහජීවනය පතන හැමෝටම ආලෝකයකි.

 

RELATED POSTS