පොත් සැණකෙළිය: පොතේ අරුමය



 


“පොත් ලෝකය, මිනිසා විසින් කරන ලද ඉතාම විස්මය ජනක නිර්මාණයයි. මිනිසා විසින් නිපදවන ලද වෙන අන් කිසිවක්ම සදාකාලික නැත. ස්මාරක ඇද වැටෙයි. ජාතීහු වැනසී යෙති. සංස්කෘතිහු වයස්ගතවී මැරීයති. අඳුරු යුගයකින් පසුව අලුත් ජාතීහු වෙන වෙනත් සංස්කෘතීන් තනති. මේ වෙනස්වීම් පුන පුනා දුටු ග්‍රන්ථ පොත් ලෝකයෙහි ඇත්තේය. එහෙත් ඒ ග්‍රන්ථ ඒවා මුලින් ලියැවුණු දවසේ මෙන්ම අදත් තරුණය. අදත් එදා මෙන්ම අලුත්ය. ඒ පොත් අදත් මිනිසුන්ගේ හදවත්වලට මෙයට ශත වර්ෂ ගණනක් මුළුල්ලේ මැරී සිටි මිනිසුන්ගේ හදවත් ගැන කියා දෙති.”

ක්ලැරන්ස් එස්. ඬේ (1874-1935) ඇමෙරිකානු ලේඛක


සෑම සැප්තැම්බර් මාසයකදීම, අති උද්‍යෝගිමත් දැඩි කැපවීමෙන් මෙහෙයුනු “වන්දනාකරුවෝ ” මහා කණ්ඩායම් වශයෙන් එකට එකතුවෙති.


ඔවුන් එසේ ඒකරාශි වන්නේ හද සනහන වතාවතක් සඳහායි. ඔවුන් ඒකාබද්ධව ප්‍රදර්ශනය කොට සිටින්නේ තමන් සාමුහිකව සම්මානය දක්වන ඒ “පූජනීය වස්තුවට” තමන් විසින් දැක්වෙන ඇල්මෙහි ස්වභාවයයි.
ඒ පූජනීය වස්තුව නම් “පොතයි”. අද මානව සමාජයෙහි “පොත” ඉස්මතුව නැගී සිටින්නේ අතීතයත් වර්තමානයත් අනාගතයත් ඉතා අර්ථවත් පරිද්දෙන් ඒකාබද්ධ කළ හැකි මහා බලවේගයක විලාශයෙනි. පොත කැයි කියන්නේ කුමක් දැයි කවර දෙයක් දැයි නොදන්නා කෙනෙක් අද ලොව සිටී නම් ඒ ඉතාම කලාතුරෙකිනි. මෙය සම්පූර්ණ සත්‍යයයි.


පොතට ලැදි “ග්‍රන්ථ ප්‍රේමීන්” මේ පොත් මාසයේදී පොත් අලෙවි මධ්‍යස්ථානයට එළඹෙන්නේ සැණකෙළියකට ඇදී යන්නන් මෙනි.


ඔවුහු එහි පැමිණ පොත පත අවුස්සා බලති. කියවති. පොත පත ගැන කතාබහ කරති. කොටින්ම ඔවුහු පොත්පත් සමග ජීවත්වෙති. පොත් පත් කෙරේ මෙසේ ජනී ජනයා විසින් දැක්වෙන උද්‍යෝගය නිසා පෙර පැවති මතයක් සිඳී බිඳී යන්නේය. ඒ අදහසින් ප්‍රකාශ වූයේ ශ්‍රී ලාංකිකයන් පොතට කැමැති නැතැයි යන මතයයි. පොත් මාසය විසින් ඒ කියමන නිෂ්ප්‍රභ කෙරේ.


ශ්‍රී ලාංකිකයන්ගේ කියවීම් රුචිය උද්දීපනය කරන මේ “පොත් මාසයේදී” පොත පත ආශ්‍රිතව පෘථූල ජන සංවාදයක් පැවැත්වේ. මේ කතාබහට බොහෝ සේ ප්‍රස්තූත වන්නේ ග්‍රන්ථ ප්‍රකාශනය හා බැඳුන “රුපියල් ශත” පිළිබඳ ප්‍රවෘත්තියි. ග්‍රන්ථ ප්‍රකාශනය සහ පොත පත අලෙවියට අදාළ ලාභ පාඩු ගැනද බොහෝ කරුණු කියවෙයි.


එවැනි අතිශය ලෞකික ගනුදෙනු පිළිබඳ වාද විවාද මැද්දේ ඉතාම විචිත්‍ර “පොත් මහිමයක්” අපට අමතක වෙයි.


ඒ මතකින් ගිලිහෙන අංශය නම් “පොතේ විකාශනය” පිළිබඳ අත්‍යන්තයෙන්ම රසාලිප්ත කතන්දරයයි. ඒ  විකාශන කතාව ශත වර්ෂ ගණනාවක් පැරණි මානව සාහිත්‍ය ඉතිහාසයෙහි එන ඉතාම ත්‍රාසදායි නිර්මාණයටත් වඩා බොහෝ සේ මනස්කාන්තය.


“පොත” වශයෙන් හැඳින්වෙන වස්තුව මිනිසා විසින් නිර්මිත ප්‍රාතිහාර්යමය සාස්කෘතික මෙවලමකි. මේ නිර්මාණයේ ඉතිහාසයට මුල්වන්නේ “හෝමෝ හබිලිස්” වර්ගයේ ප්‍රාග් මානවයායි. “හෝමෝ හබිලිස්” යන්නෙන් ඇඟෙන්නේ “නිර්මාණවල යෙදුනු මිනිසායි” ඔහු ගල් කැබලිවලින් හෝ ලී කැබලිවලින් දළ උපකරණ මෙවලම් තැනුවේය. ඒවා තනන්නට අතේ මාංශ පේශී ආයාසයෙන් ක්‍රියා කරන විට ඒ වෑයමේ ප්‍රයත්නයෙන් ඔහුගේ මුවින් නිතැතින්ම ශබ්ද බිහිවිය. මේ ආදි කාලීන කෘංචනය නිසා “වචන රූප” උපන්නේය. කාලයාගේ ඇවෑමෙන් මිනිසාගේ ලිඛිත භාෂාව උද්ගත වූයේ ඒ රූපවල විකාශනයෙනි.


ඈත මානව ඉතිහාසයෙහි දියුණු ලේඛන කලාවක් භාවිත කළ ප්‍රබල සංස්කෘතියක් බැබිලෝනියාවේ බිහි වූයේය. මේ දේශය පිහිටියේ යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා දෙක අතර හෙයින් ඒ දේශය මෙසපොතෙමියා යැයිද නම් කෙරිණි. ඒ ග්‍රීක පදයේ අරුත “ගංගා දෙකක් මැද රාජ්‍යය” යන්නයි.


ඒ දේශවාසීන් සිය ලේඛන ද්‍රව්‍යය වශයෙන් භාවිත කළේ මැටියි. ගංගා උතුරා ගියාට පසුව ඝණ මැටි තට්ටු ඉතිරි වේ. බැබිලෝනියා වාසීහු ඒ තෙත මැටි මත තියුණු නියනකින් අකුරු ලියූහ. ඒ මැටි ලිපි වියළා ගත් විට ඒවා “මැටි පුවරු ලිපි” බවට පත්විය. මේ ලේඛන කලාව “කියුනිෆෝම්” නම් විය. (නියනින් ලියූ අක්ෂර යන අරුත වේ.)


මේ ඉපැරණි සංස්කෘතිය විසින් ලොව ආදිතම පුස්තකාලය පිහිටුවන ලදී. එය පිහිටියේ “නීනවේ” නම් පුරාණ බැබිලෝනියානු නගරයේයි. පොත්කාමීන් බැබිලෝනියානු පුස්තකාලවලින් මැටි පුවරු පොත් රැගෙන ගිය ආකාරය අපට සිතාගන්නටත් බැරිය.


ලෝකයේ ඉපැරණිම මහා කාව්‍යය වශයෙන් සම්මානය ලබන කෘතියද බැබිලෝනියානු නිර්මාණයකි. “ගිල්ගමේෂ්” මහා කාව්‍යය වශයෙන් දන්නා ඒ කෘතියෙහි වීරයා ගිල්ගමේෂ් නම් පාලකයායි. ඔහුට දෙවියන්ගෙන් අමරණීයත්වය සපයන පැළෑටිය ලැබුණේය. එය රැගෙන ගෙදර යන අතරමගදී ඔහුට නින්ද ගියේය. ඒ මොහොතේදී නාගයෙක් ඒ පැළෑටිය ඔහුගෙන් පැහැර ගත්තේය. මේ මහා කාව්‍යය සකස් කෙරුණේ ක්‍රිස්තු වර්ෂයට පෙර 3000 දී පමණය.


පැරණි මිසර දේශයේ ද ලේඛන කලාව අතිශයින් ව්‍යාප්ත වූයේය. මිසරය පිහිටියේ මහා නයිල් නදිය ආශ්‍රිතවයි. නයිල් පෙදෙසෙහි පැපිරස් නම් බට වර්ගය ඉතා බහුලව වැඩුනේය. ඉන් නිපදවාගත් ලිපිද්‍රව්‍යයෙහි මිසර ජාතිකයෝ අකුරු ලියූහ. ෆේරෝ පාලකයන් යටතේ පැවති මිසරයේ ලේඛන කලාවේ හසලයන් වූයේ පූජක පක්ෂයයි. ඔවුහු තීන්ත සහ තෙල්ල භාවිත කොට ලිපි ලියූහ. රජ අණ ලේඛන ගත කරන ලද්දේත් ඒ පූජක ලේඛකයන් විසිනි. මිසර සංස්කෘතියෙහි ලිඛිත කෘති බහුලය. එහි ලේඛන කලාව “හයරොග්ලිෆික්ස්” (පූජක ලේඛන සම්ප්‍රදාය) නම් විය.


මිනිස් ඉතිහාසයේ සාහිත්‍ය කලාවට මහා කෘති සම්භාරයක් එකතු කළ ග්‍රීකයන්ගේ ප්‍රධාන ලිපි ද්‍රව්‍යය වූයේ සම් වර්ගයි. සකස් කළ දිගු සම්පටවල අකුරු ලියූ පැරණි ග්‍රීකයන්ගේ පොත් දෙපැත්තේ මිටි දෙකක් සහිත වූහ. එක අතකින් ලිපිය දිග අරින විට අනිත් අතින් එය ඇකිලිය හැකියි. එක පෙළක් ඉවරවූ විට අනිත් පෙළ පටන් ගන්නේ ඒ අවසන් වූ පෙළට යටිනි. ඒ නිසා ඒ පැරණි ග්‍රීක ලිපිවල ප්‍රථම පේළිය වටේ සිට දකුණට ගියවිට දෙවන පේළිය දකුණේ සිට වමට ගමන් ගනී. මේ ලේඛන කලා විශේෂය “බ්‍රවුස්ට්‍රොෆීඞ්ස්” (ගොනා සීසාන න්‍යාය යැයි) නම් කෙරිණි. සීසාන ගොනා එක් පේළියක් සී සා එතැන සිට අනිත් පේළිය පටන් ගනී. පැරණි ග්‍රීසියේ ලිපි ක්‍රමය ගොනා සීසානු න්‍යාය යැයි නම් කෙරුණේ ඒ නිසායි.


මැදහත් විචාරයෙහි යෙදෙනවිට අනිවාර්යයෙන්ම පැහැදිළි වන කරුණක් වෙයි. මානව සමාජයේ “පොත” නම් සංස්කෘතික මෙවලමේ විකාශනයේදී ඒ උදෙසා අතිවිශිෂ්ට මෙහෙයක් ඉටු කෙරුණේ චීන සංස්කෘතිය විසිනි.
ආදි චීනයේ අධිරාජ්‍යයන්, සෙසු පාලකයන් සහ ප්‍රභූවරුද සිය ලියකියවිලි සඳහා බොහෝ සේ භාවිත කළේ “සේද” රෙදි පටයි. ඒ අතර චීන ජාතිකයෝ අද ලොව හැම තැනම භාවිත වන ලිපි ද්‍රව්‍ය වන “කඩදාසි” සොයා ගත්හ. ඒ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේදී පමණය. පළමුවෙන්ම කඩදාසි මුදල් නෝට්ටු භාවිත කෙරුණේත් චීනයේයි. ඔවුහු විවිද කාර්ය සඳහා කඩදාසි යොදා ගත්හ.


කඩදාසි සොයා ගැනීම නිසා අද වන තුරුත් නොනවත්නා මහා සංස්කෘතික විප්ලවයකට දොර ඇරුණේය. එනම් මුද්‍රණ ශිල්පයයි. 


චීන ජාතිකයන් මුද්‍රණ ශිල්පය ආරම්භ කළේ යම් කිසි ලියවිල්ලක පිටපත් සමූහයක් තනා ගැනීමේ මාර්ගයක් වශයෙනි. ප්‍රාදේශික පාලකයන් දහස් ගණනකට යම් කිසි නියෝගයක් යවන්නට අධිරාජයාට අවශ්‍ය වී නම් ඒ නියෝගය අතින් පිටපත් කරන්නට ඉතා දිගු කලක් ගත වේ. ඒ නිසා ඒ ලිපියේ මුද්‍රිත පිටපත් තනා ගැනීමෙන් පාලන කටයුතු පහසු වේ.


මේ යාන්ත්‍රික පිටපත් තැනීමේ ශිල්පය මුද්‍රණ ශිල්පය ප්‍රථමයෙන් ආරම්භ වුණේ “ඵලක මුද්‍රණ” ක්‍රමයෙනි (Block Printing)


මෙහිදී මුල් වූයේ ලී කැබෙල්ලකි. ඒ ලී කැබැල්ල අවශ්‍ය ප්‍රමාණයට කපා එහි මුහුණත ඉතා සිනිඳු කොට ගනු ලැබේ. ඉන්පසුව තීන්තෙන් ලියන ලද ලිපියක් අඩංගු කඩදාසියක් ඒ ලී පුවරුවේ මූණතට තබා තද කෙරෙයි. එසේ කරනු ලබන්නේ තීන්ත තාමත් නොවේළී තෙත්ව තිබියදීමය. එවිට ඒ තීන්ත ලිපිය ලී තහඩුව මත ඉතා පැහැදිළි ලෙස සටහන්වේ. ඒ සටහන නොපිට සටහනකි.


ඉන්පසුව ඒ තීන්ත අකුරුවල අවශ්‍ය රේඛා ඉස්මතුව සිටින පරිදි අනවශ්‍ය කොටස් නියනකින් කපා හරිනු ලැබේ. එසේ වූ විට ඒ අකුරුවල සටහන පැහැදිළිව ඉස්මතුව නැගී සිටී. ඉක්බිතිව ඒ උස් සටහන මත තීන්ත අලේප කෙරේ. ඉන්පසුව ඒ ආලේප කරන ලද තීන්ත සහිත ලී පුවරුව මත කඩදාසියක් තබා තද කෙරෙයි. එවිට ඒ අකුරු නියම පැත්තට ඒ කඩදාසියේ මුද්‍රණය වෙයි. ලොව පැරණිම මුද්‍රණ ක්‍රමය ඒ ඵලක මුද්‍රණ ක්‍රමයයි.
මේ ලී පුවරු මුද්‍රණ ක්‍රමයේ අඩුපාඩුවක් තිබිණ. ඒත් පුවරවකින් මුද්‍රණය කොට ගත හැක්කේ එකම පොතක හෝ එකම ලියවිල්ලක එක් පිටුවක් පමණි. අනිත් පිටු සඳහාත් එක් පිටුවට එකක් බැගින් ඵලක සකස් කොට ගත හැකිවේ.


බුද්ධිමත් චීන ශිල්පීහු මේ අඩුපාඩුව විශිෂ්ට ලෙස ඉවත් කොටගත්හ. ඔවුන් කළේ එක් පිටුවකට එක ඵලකය බැගින් තැනීම වෙනුවට එක අකුරකට “ඵලකය” බැගින් තැනීමයි.


එවිට ලිපි දහස් ගණනක වුවද ඒ අකුර අවශ්‍ය තැනට ඒ අච්චු අකුර භාවිත කළ හැක.


මානව සංස්කෘතියේ ප්‍රබලතම නිෂ්පාදනයක් වන මේ “අමුණන අකුරු” ක්‍රමය (Movable Type) හේතුකොට ගෙන ලෝකය පුරා මුද්‍රිත පොත් බහුල වී මානව සංස්කෘතිය සරු සාර වූයේය.


ලේඛන කලාවේ ආරම්භය ගැන චීනයේ ඉතා රසවත් මිත්‍යා කතාවක් ඇත්තේය. ඒ මිථ්‍යා කතාවේ සඳහන් වන සාං චියොං නම් මහා පුරුෂයා දිවා කාලයේදී මිනිසුන්ට ලේඛන කලාව උගැන්වූයේය. පසුව රෑ සමය යෙහි ඔහු ඒ ගැන පසුතැවිලි වී අඬන්නට පටන් ගත්තේය. එයට හේතු වූයේ තමා උගැන්වූ ලේඛන කලාව මිනිසුන් විසින් වැරදි ලෙසට භාවිත කරනු ඇද්දැයි සිතා ඔහු තුළ ඇති වූ කම්පනයයි. අපට අසන්නට වෙන්නේ ඒ මිථ්‍යා කතාවේ එන මහා පුරුෂයාගේ වැළපීම සුදුසුද නැද්ද කියායි.


කෙසේ වුවද චීනයේ සිට මුද්‍රණ ශිල්පය, කොරියා, ජපාන ආදී දේශයන්ටද විහිදී ගියේය. ලොව ප්‍රථම වරට ඵලක මුද්‍රණ ක්‍රමයෙන් ප්‍රකාශිත ග්‍රන්ථය වන්නේ “වජ්‍ර සූත්‍රය” නම් වූ බෞද්ධ දේශනාවයි. ජපානයේ ෂොතොකු නම් සැදැහැවත් බෞද්ධ අධිරාජිනිය “ධාරණී පාඨ” දශ ලක්ෂයක් මුද්‍රණය කොට පින් පිණිස බෙදා හැරියාය. ඒ ක්‍රිස්තු වර්ෂ 770 දීය. මගේ සිතේ පහළවන ප්‍රශ්නයක් වෙයි. ක්‍රිස්තු වර්ෂ 410 පාහියන් නම් බෞද්ධ වන්දනාකාර භික්ෂූන් වහන්සේ ලංකාවට ආ සේක. අනුරාධපුරයේ සිද්ධස්ථානයක පූජාසනයක් මත තිබුණු කඩදාසි අවන්පතක් දැක එතුමන්ගේ සිත සසල විය. මක්නිසාදයත් එය අනිවාර්යයෙන්ම පූජා කරන්නට ඇත්තේ චීන ජාතික සැදැහැවතෙකු විසින් හෙයිනි.


ඒ සා ඈත අතීතයේ පටන් අප චීන හා සමග දැඩි සංස්කෘතික සබඳතා පැවැත්වුවද අපට කඩදාසි භාවිතය සහ මුද්‍රණ ශිල්පය චීනයෙන් ලද නොහැකි වූයේ ඇයි? මෙය බැරෑරුම් පැණයකි.


ශ්‍රී ලංකාවේ අපට මුද්‍රණ ශිල්පය හඳුන්වා දෙන ලද්දේ වැන් ඉම් හොෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයා විසිනි. ඒ 1739 දී පමණය. චීනයේ සිට යුරෝපයට ගිය චීන මුද්‍රණ ශිල්ප ක්‍රමය අපට යුරෝපයෙන් ලැබීම විස්මයට හේතුවකි. ප්‍රථම මුද්‍රිත සිංහල ග්‍රන්ථය ක්‍රිස්තියානි යාඥා ඇදහිල්ලයි. ඒ සඳහා සිංහල අකුරු සකස් කරන ලද්දේ ලන්දේසි අවි ගබඩාවේ නියුක්තව සිටි ෂාඞ් බාස් නම් ලන්දේසි ශිල්පියායි.


බොහෝ කලක් තිස්සේ ලෝකයෙහි භාවිත වූයේ චීන ජාතිකයන් විසින් උගන්වන ලද “උස්තල මුද්‍රණ ක්‍රමයයි” (relief printing letter press)


ඉන්පසුව මෑතක සිට ලොව පුරා පැතිර ගොස් තිබෙන්නේ සමතල මුද්‍රණ ක්‍රමයයි. (offset printing&)


අද යුගයෙහි විවිධ භාෂාවලින් ලක්ෂ සංඛ්‍යාත පොත් පත් ප්‍රකාශයට පත්වේ. පොත් පත් භාවිතය වඩාත් පහසු වූයේ අද තිබෙනා දිගහරින පොත් ක්‍රමය නිසාය. ඉස්සර පැවති පුස්කොළ පත්ඉරු පොත් මෙන් නොව මේ අද යුගයේ පොත් ඕනෑම තැනකදී කියවා ගත හැකිවේ. සමතල මුද්‍රණය හා සමග පරිගණක ක්‍රම එක්වීමෙන් අද ඉතා ශීඝ්‍ර වේගයෙන් පොත් පත් සඟරා මුද්‍රණය කෙරේ. වෙනතක් තබා දැන් අඳ අයටද “බ්‍රේල්” පොත් ඇත්තේය.
එහෙත් අද ලොව නවීනයෝ කියවන පොතෙන් බැහැර වෙමින් සිටිති. මේ නවීන පරපුර සමාජ විද්‍යාඥයන් විසින් නම් කෙරෙන්නේ “මිලේනියල්ස්” (සහස්‍රකයන්) හැටියටයි.


ඔවුන් බොහෝ දෙනෙකුගේ අතේ රැඳෙන්නේ පොතට පතට වඩා “බුද්ධිමත් ජංගම දුරකතනයයි” මේ දුරකතනවල මූණතට අත තැබූ පමණින් ඔවුන්ට මොහොතකින් සැතපුම් ලක්ෂ ගණනක් ඈතට ගමන් කළ හැකිවේ. මේ ඇබ්බැහිය නිසා විද්‍යුත් සන්නිවේදනය බහුලවීමෙන් යම්කිසි කලෙක මුද්‍රිත ග්‍රන්ථය මානව සංස්කෘතියෙන් ගිලිහී යා හැකිද?


මේ අවදානම දැන් එන්ට එන්ටම අධික වේ. ඇතැම් මුද්‍රිත පුවත්පත් වැසී යයි. ශ්‍රී ලංකාව වැනි ශ්‍රේෂ්ඨ දේශයක් සතු අගනා සාහිත්‍ය උරුමය ඔවුන්ට අත්පත් නොවේ. අපේ උදාර දේශය ලෝකයේ අග්‍රගණ්‍ය තැනක වැජඹෙන්නේත් අඛණ්ඩ ලෙස ග්‍රණ්ථාරූඩ කෙරුණු ඉතිහාසයක් අප සතුව පවත්නා හෙයිනි.


ඒ නිසා මේ “පොත් සැණකෙළි” මාසයේදී අපේ දරුවන්ට මුද්‍රිත ග්‍රන්ථයක අගය නිසි සේ වටහා දෙන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමද අතිශයින්ම වටනේය. ගෞරවණීය සම්භාවනීය ග්‍රණ්ථයක් අතට ගෙන ඒ ග්‍රන්ථය කළ විද්වතු කතු සමග හෘදයංගම ආශ්‍රයක යෙදීමෙන් ලැබෙන ආධ්‍යාත්මික ප්‍රබෝදය අපේ දරුවන්ට කුඩා කල පටන්ම ඉතා ආයාසයෙන් ප්‍රගුණ කළ යුතුව ඇත්තේය.


අපේ නව දරු පෙළ ඒ ග්‍රන්ථ නිධානවලට යොමු නොකළේ නම් සිදුවන්නේ අභාග්‍යයකි. එවිට ඔවුන් සිය අතේ රැඳි බුද්ධිමත් ජංගම දුරකතනයේ මූණතට අත තබා අපේ මහා ග්‍රන්ථ කර්තෘවරු තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, ගුරුළුගෝමි, වෑත්තෑවේ හිමි සහ ලෝපතළ ෂේක්ස්පියර්, මිල්ටන්, කාලිදාස ආදී ගත්කරු ඉසිවරු තත්ත්පරයෙන් ඉවත් කරනු ඇත. දරුවන්ට පොතේ අගය කියාදෙන්න.

 

 


RECOMMEND POSTS

RELATED POSTS