පැරිස් සමුළුවේදී පලස්තීන ප්‍රශ්නයට



පසුගිය ඉරිදා (ජනවාරි 15) පැරීසියේ දී රටවල් සහ සංවිධාන 70කට අධික සංඛ්‍යාවක් එකත-ුව මැද පෙරදිග ස්ථාවර සහ කල් පවත්නා සාමයක් ඇති කිරීම සඳහා රාජ්‍ය දෙකක විසඳුම ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන සමුළුවක් පැවැත්විණ. ප්‍රංශයේ ජනාධිපති ප්‍රැන්කුවා ඕලන්ඬේ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට ඊශ්‍රායෙලය හෝ පලස්තීන අධිකාරිය සහභාගි වූයේ නැත. ඊශ්‍රායෙලය මෙම සමුළුව ඊශ්‍රායෙල් විරෝධීන්ගේ නිරර්ථක ක්‍රියාවක් සේ හැඳින් වූ අතර පලස්තීන අධිකාරියේ ජනාධිපති අබ්බාස් ඊට පසුදින ප්‍රංශ ජනාධිපති හමුව සමුළුව සහ එහි අවසානයේ නිකුත් කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුරටත් සාකච්ඡා කෙළේය. 

පසුගිය වසරේ දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ සහ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායෙලය විසින් සිදු කරන යුදෙව් ජනාවාස පිහිටුවීම වහාම නතර කරන්නැයි ඉල්ලා සිටින යෝජනාව සම්මත කෙරිණ. ඉන් පසුව මෙවැනි සමුළුවක් පැවැත්වීමෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ එක්සත් ජනපදයේ ජනාධිපති තනතුරට පත්වන ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායෙලය සම්බන්ධයෙන් වඩාත් හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට කර ඇති ප්‍රකාශන පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිචාරය ඉස්මතු කිරීමය. ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායෙලයේ එක්සත් ජනපද තානාපති වශයෙන් නම් කර ඇත්තේ ද ඊශ්‍රායෙලයේ හිතවතෙකි. එම තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමට ද ට්‍රම්ප් ඊශ්‍රායෙල් නියෝජිතයන්ට පොරොන්දු වී ඇත. එය ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර බව පිළිගැනීමකි.

නැගෙනහිර ජෙරුසලම නිදහස් පලස්තීනයේ අගනුවර විය යුතු බව පලස්තීන අධිකාරිය මුල සිටම දරන ස්ථාවරයයි. 1967 යුද්ධයේ දී එම ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසු ඊශ්‍රායෙලය ජෙරුසලම සිය අගනුවර ලෙස ප්‍රකාශ කිරීම අරාබි රටවල දැඩි විරෝධයට හේතු වූ අතර ජාත්‍යන්තර ප්‍රජාව එය පිළිගත්තේ ද නැත. එමනිසා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් සිය තානාපති කාර්යාල පවත්වා ගෙන එන්නේ ටෙල් අවිව් නගරයේය. ට්‍රම්ප් ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමට පියවර ගන්නේ නම් ඉන් අදහස් වන්නේ යුද්ධයෙන් අත්පත් කර ගත් ප්‍රදේශවල ඊශ්‍රායෙල් අයිතිය පිළිගැනීමකි. එසේ කළ හොත් පලස්තීන අධිකාරිය ඊශ්‍රායෙල් රාජ්‍යය පිළිගැනීම අත් හරින බවට ජනාධිපති අබ්බාස් අනතුරු හැඟ වූයේය. මැද පෙරදිග අවුල්කාරී තත්වයක් නිර්මාණය වන එවැනි පියවරක් යුරෝපීය සහ ඇමරිකානු මැදිහත්වීම්වලට හානිකර බලපෑමක් වන බව නිසැකය.

එමනිසා පැරිස් සමුළුවේ දී දැනට වසර ගණනාවක් තිස්සේ ඇණහිට ඇති සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමටත් රාජ්‍ය දෙකකට සාමකාමීව පැවතීමට සුදුසු පරිසරයක් පවත්වා ගැනීමටත් අවසානයේ දී ඇති කර ගන්නා විසඳුමකට හානිකර පියවර ගැනීමෙන් දෙපාර්ශවයම වැළකී සිටිය යුතු බවටත් අවධාරණය කෙරිණ. ඒ සඳහා දිරි ගැන්වීම් වශයෙන් යුරෝපා සංගමය එම රටවල් දෙකට ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා වරප්‍රසාදිත හවුල්කාරිත්වයක් ලබා දීමට ද එකඟතාව පළ කරයි. ඊශ්‍රායෙලයේ ප්‍රධාන වෙළඳ හවුල්කරු යුරෝපා සංගමය වන අතර පලස්තීන අධිකාරියට ආර්ථික ආධාර වැඩියෙන්ම ලැබෙන්නේ ද යුරෝපා සංගමයෙනි. 

ප්‍රංශ ජනාධිපති ප්‍රැන්කුවා ඕලන්ඬේ සමුළුව ආරම්භ කරමින් එය සංකේතාත්මක සහ චිත්ත ධෛර්යය පිළිබඳ වැදගත් පියවරක් බවත් දේශ සීමා, ජෙරුසලම, ආරක්ෂාව සහ 1948 සහ 1967 පැවති ගැටුම්වලින් සරණාගත තත්වයට පත් පලස්තීනුවන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමට දෙපාර්ශවයම ඉක්මණින් සාකච්ඡා අරඹනු ඇතැයි බලාපොරොත්තු සහගත වූයේය. එමෙන්ම සමුළුවෙන් ඇති කර ගත් එකඟතා පිළිබඳ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට මෙම වසර අවසානයේ දී තවත් සමුළුවක් පැවැත්වීමට ද ඔහු යෝජනා කෙළේය. 

පසුගිය දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත කර ගත් යෝජනාවෙන් මෙන්ම මෙම සමුළුවේ ගත් තීරණ සහ ඇති කර ගත් එකඟතා ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ඊශ්‍රායෙලයට කිසියම් තහංචියක් හෝ සම්බාධකයක් පැන වෙන්නේ නැත. ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත කර ගත් යෝජනාව පිළිබඳ එකම වැදගත් කාරණය වන්නේ මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තියට වෙනස්ව එක්සත් ජනපදය එම යෝජනාව සම්මතවීම වැළැක්වීමට නිෂේධ බලය නොයෙදවීම පමණි. එහෙත් බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ යුදෙව් ජනාවාස ඉදි කිරීම නතර කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කිසිවක් එහි අඩංගු වී නැත. අනෙක් අතට ඊශ්‍රායෙලය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව ඇතැයි ඉන් අදහස් වන්නේ ද නැත. මෙම යෝජනාව ආරක්ෂක මන්ඩලයට ඉදිරිපත් කිරීමට මාස කීපයකට පෙර ජනාධිපති ඔබාමා පෙර කිසිදා නොවු ආකාරයට ඊශ්‍රායෙලයට ඉදිරි වසර 10 ඇතුළත ඩොලර් බිලියන 3.8ක ආධාර මුදල් ලබා දීමේ ගිවිසුමකට ද අත්සන් කෙළේය. සමහර නිරීක්ෂකයන් පවසන ආකාරයට පැරිස් සමුළුවේ පුවත් පත් ප්‍රකාශනයේ අඩංගු සමහර කරුණු ඊශ්‍රායෙලයේ අවශ්‍යතාවල ගැලපෙන ආකාරයට වෙනස් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජොන් කෙරි බලපෑම් කර ඇත. 

පලස්තීනය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය වඩාත් දැඩිව සහ කඩිනමෙන් යොමු කිරීම වැදගත් වන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුව අල්ලා ගත් ප්‍රදේශ සම්බන්ධයෙන් සම්මත කළ පනත් කීපයක් නිසාය. මෙම පනත් අනුව බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ නීති විරෝධීව ඉදි කරන ලද යුදෙව් ජනාවාසවලට නිත්‍යනුකූල භාවයක් හිමි වන අතර එවැනි ජනාවාස අලුතින් ඉදි කිරීම සඳහා බටහිර ඉවුරේ ඉඩම් අත්පත් කර ගැනීමට ද අයිතියක් හිමි වේ. මෙම නීති ජාත්‍යන්තර නීතිය අනුව වලංගු නොවන නමුත් ඊශ්‍රායෙල් ක්‍රියා පටිපාටිය නැවැත් වීමට ජාත්‍යන්තරය කිසිදු පියවරක් ගැනීමට ඉදිරිපත් වන්නේ ද නැත. 

පැරිස් සමුළුව පලස්තීන ප්‍රශ්නය පිළිබඳව ජාත්‍යන්තර අවධානය නැවත යොමු කිරීමේ පියවරක් වශයෙන් වැදගත් වන නමුත් ප්‍රබල රටවල් ඒ ගැන උනන්දුවක් නොදැක්වීම ද කණස්සල්ලට කාරණයකි. බි්‍රතාන්‍යය සහ රුසියාව මෙම සමුළුවට සහභාගි කෙළේ නිරීක්ෂකයන් පමණි. පැරිස් පුවත් පත් ප්‍රකාශනය යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ මණ්ඩලයේ පිළිගැනීමට ඉදිරිපත් වුවද බි්‍රතාන්‍යය, ලිතුවේනියාව සහ හන්ගේරියාව යන රටවල විරෝධය නිසා එය සිදු වූයේ නැත.  

ඔස්ලෝ සාම සාකච්ඡාවලදී ඇති කර ගත් රාජ්‍ය දෙකක් යන යෝජනාවට නැවත වරක් ජාත්‍යන්තර අවධානය යොමු කිරීමේ අරමුණෙන් පවත්වන ලද පැරිස් සමුළුව සංකේතාත්මක සහ චිත්ත ධෛර්යය සඳහා වූ වැදගත් පියවරක් වුවද ඔස්ලෝ ගිවිසුම අනුව ඇති කර ගත් එකඟතා ක්‍රියාවට නැංවීමේ උත්සාහයක් වන්නේ ද යන්න සැක සහිතය. අනෙක් අතට මෙම ප්‍රශ්නයේ දී ඊශ්‍රායෙලය සහ පලස්තීන අධිකාරිය සම මට්ටමෙන් සැලකීම ද යථාර්ථවාදී නොවේ. මැද පෙරදිග න්‍යෂ්ටික අවි සතු එකම බලවතාවන ඊශ්‍රයෙලය බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ නිශ්චිත දේශ සීමා සහිත පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා පියවර රැසක් ගත යුතුය.
1947 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් පලස්තීන ප්‍රදේශයේ රාජ්‍ය දෙකක් ස්ථාපනය කිරීමේ යෝජනාව සම්මත වූ දින සිටම එය ව්‍යර්ථ කිරීමට පියවර ගත් ඊශ්‍රායෙලයේ එම ගමන් මග වෙනස් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රකාශ නිකුත් කිරීමට වඩා ප්‍රබල පියවර ගත යුතු කාලය එළඹ ඇත.

සටහන - මහින්ද හත්තක


RECOMMEND POSTS

RELATED POSTS