නිදහසේ 69



“නිදහස නොමැති තැනක, නගුලෙන් හෝ රුවලින් හෝ ඉඩම-කඩමින් හෝ ජීවිතයෙන් හෝ ඇති ඵලය කවරේ ද?”
රැල්ෆ් වොල්ඩො එමර්සන් (1803-82) ඇමෙරිකානු විද්වතා
“නිදහස උදෙසා ගෙවිය යුතු මිල නම් එය විනාශයට යා නොදී රැක ගැනීමයි”
සෙනෙවි ඩග්ලස් මැකාතර් (1880-1964) ඇමෙරිකානු සෙනෙවි
“නිදහස උදෙසා ගෙවිය යුතු වන්දිය නම් සදාකාලික සුපරීක්ෂණයයි”
වෙන්ඩල් ෆිලිප්ස් - චින්තක
“පහසුවෙන් නිදහසට යා හැකි කිසි මඟක් නැත. නිදහස යැයි කියන්නේ හුදෙක් යමෙකු බැඳි යදම් ඉවත්කොට ගැනීම පමණක් නොවේ. නියම නිදහස යැයි කියන්නේ, සෙස්සන්ගේ නිදහසට ගරුකෙරෙන, ඒ නිදහස වැඩි දියුණු කෙරෙන ආකාරයෙන් ජීවත්වීමයි”

 

අෆ්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා


සාමය විමුක්තිය උත්සව ශ්‍රීයෙන් සැමරීම නිදහස් දිනයක ප්‍රධාන ක්‍රියාදාමයයි. ඇතැම් බලවත් රාජ්‍ය සිය ජාතික නිදහස් දිනයෙහිදී තමන් සතු බලය ප්‍රදර්ශනය කරති. නිදහස, ජන සැණකෙළියක් වශයෙන් පැවැත්වීම තවත් ඇතැම් රාජ්‍යවල චාරිත්‍රයයි.


ශ්‍රී ලංකාවේ අප ජාතික නිදහස සමරන්නේ තැන්පත්කමට, කුළුණුබර චින්තනයට ඉඩ සලසමිනි. මේ දේශයේ සන්නද්ධ හමුදාවෝත් නිදහස් උළෙලට සහභාගී වෙති. එසේ වුව ද බලය, ශක්තිය හෝ ආක්‍රමණශීලි බවක් මතිමාත්‍ර වශයෙන් හෝ ප්‍රකාශකොට සිටීම අපගේ නිදහස් උළෙලෙහි අංගයක් නොවන්නේය.


අපගේ නිදහස් උළෙලෙහි උදාරතර අරමුණ නම් අප සතු සාමය හා විමුක්තිය, විභූතිමත් ලෙස ජන සන්තානයෙහි සනිටුහන් කිරීමයි. සෛවරී, ස්වාධීන දේශයක් වශයෙන් ගෞරවාන්විතව වැජඹෙන ජනතාවක් හැටියට අප සාමකාමී සහජීවනයට මුඛ්‍යතාව සපයන ආකාරය මූර්තිමත් කොට දැක්වීමත්, අපගේ නිදහස් උළෙලෙහි ප්‍රධාන ලක්ෂණයක් වෙයි.


සාමයට, නිදහසට හුරු නැති ඇතැමුන් ගැන ද වචනයක් පැවසීම සුදුසුය. එහිදී එක්තරා සිද්ධියක් දෙසට සිත් යොමු කරනු වටී.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ දකුණු පෙදෙසෙහි උක් වගා හිමියෙක් සිටියේය. වගාවෙන් ලැබෙන උක් මිරිකනු පිණිස ඔහු සෙක්කුවක් භාවිත කළේය. සෙක්කුව කරකවනු ලැබුවේ එහි බැඳි අශ්වයකු විසිනි. ඒ අශ්වයා නොනවත්වාම රවුමෙන් රවුමට කැරකෙමින් සෙක්කුව ක්‍රියාවේ යෙදවූයේය.


අශ්වයා විඳින දුක ගැන කම්පාවට පත් වූ වතු හිමියා ඒ සතා මුදා හැරියේය. ඒ සතාට අක්කර සිය ගණනක් වූ මහා වගාබිමේ නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ ලැබේයැයි වතුහිමියා තීරණය කළේය. 


පසුදා උදෑසන අවදිවී ගෙන් එළියට ආ වතුහිමියා දුටුවේ ඇස් ඇදහිය නොහෙන දර්ශනයකි. ඒසා මහා වගාවෙහි නිදැල්ලේ හැසිරෙනු වෙනුවට ඒ මුදා හළ අශ්වයා තාමත් එක් තැනක රවුමෙන් රවුමට කැරකෙන හැටි වතුහිමියා දුටුවේය. සෙක්කුවෙන් මුදාලන ලද අශ්වයාට නිදැල්ලේ ගමන් කළ හැකි අසීමිත බිම් පෙදෙසක් තිබුණ ද ඌ නිදහස ලැබිලාත් පුරුද්දට අනුව එකම තැන කැරකෙමින් සිටියේය.


අලුතෙන් නිදහස ලද ඇතැම් රාජ්‍යන් ඒ රවුමට කැරකෙන අශ්වයා වැනියා. නිදහසින් උපරිම, අර්ථවත් ප්‍රතිඵල ලද හැකි ආකාරය ඔවුන්ට පුරුදු නැත. මේ හේතුකොටගෙන එවැනි රාජ්‍ය නිදහසට පෙර ඔවුන් දැන සිටි කලකෝලාහාල කඩාකප්පල් ව්‍යාපාර, කෑකෝ ගැසීම්, විනාශකාරීකම් ආදියේ නිමග්න වෙමින් තමන්ට දේව දායාදයක් සේ ලැබුණු උදාර නිදහස විනාශකොට ගනිති.
දේශපාලන පක්‍ෂ ක්‍රමයට හැඩ ගැසුණු ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය දෙස බලමු.


එවැනි රාජ්‍යවල පදවි තරග සඳහා පක්‍ෂ අතර උග්‍ර ඡන්ද ව්‍යාපාර පැවැත්වේ. එහෙත්, ජනමතය විසින් එක් පක්‍ෂයක් පාලන බලයට පත්කළාට පසුව, පරාජිත පක්‍ෂය ජයග්‍රාහී පක්‍ෂයේ රජයට සහාය වෙමින් සිය දේශයේ ප්‍රගතිය සඳහා එක්ව වෙහෙසෙති. 


එවැනි ප්‍රබුද්ධ ප්‍රජාතාන්ත්‍රික දේශයන්හි පරාජිත පක්‍ෂය, රටේ පාලන බලය ජනතාවගෙන් ලබන ලද පක්‍ෂයේ ආණ්ඩුව කඩාකප්පල් කරන්නට පෙළඹෙන්නේ නැත. මෙයට හේතුකාරකවන ප්‍රබල සාධකයක් වෙයි. ජන සම්මත ආණ්ඩුක්‍රම සහිත හැම දියුණු දේශයකම, දේශපාලන පක්‍ෂ සියල්ලම විසින් ඉතා ප්‍රබල ලෙස අවබෝධකොට ගෙන සිටින කරුණක් වෙයි. පාලන බලය කා අත තිබුණ ද මේ දේශය අප සියලු දෙනාගේම පොදු, ආදරණීය මව්බිමයි. තමන් අකැමැති පක්‍ෂයකට හානි කරන අදහසින් විනාශකාරී ව්‍යාපාර කරගෙන ගියහොත් හානියට පත්වන්නේ කාගේත් එකම මව්බිම බව ඒ ජනතාව ඉතා හොඳින් දනී.


මෙයට නිදර්ශන සපයන ධම– ප්‍රවාදයක් හින්දු ආගමෙහි වන්නේය.


හින්දු සමයවාදයෙහි “විශ්ව නාග” නම් සංකල්පයක් එයි. ඒ කතාවට අනුව, මහා විශ්ව නාගයා රවුමට දරණලාගෙන සිටී. ඒ නාගයාට එවිට තමාගේම වල්ගය දිස්වේ. ඒ වල්ගය වෙන අන් නාගයකුගේ වල්ගයයැයි සිතා විශ්ව නාගයා එය කාගෙන, කාගෙන යන්නේය. අන්තිමටම ඉතිරිවන්නේ උගේම හිස පමණි. සිය සිරුර ඌ විසින්ම කා දමන ලද හෙයිනි. 


ප්‍රජාතාන්ත්‍රික පාලනය සහිත ප්‍රබුද්ද දේශයන්හි අථ–වත්, හිතකර, වැඩදායී දෝෂ දර්ශනයනට ඉඩ ඇත්තේය.


එය නියම ජනසම්මතවාදී පාලනයක් සතු නිදහසේ විශිෂ්ට ලක්ෂණයකි.


හැටනමවන නිදහස් උළෙල පවත්වන ශ්‍රී ලංකාවේ කවුරුත් තමන්ගේ මාතෘ භූමියේ ප්‍රගතිය හා සුහද සහජීවනය පතන්නෝ වෙති.


මෙය ජාතික වාසනාවකි.

 

මේ දේශයේ බොහෝදෙනා අපගේ අසහාය ඉතිහාසය හොඳින් දනිති.


ශතවර්ෂ විසිතුනකටත් අධික දිගු කාල පරාසයක් ඔස්සේ අපි නිදහස් දේශයක්ව විසුවෙමු.


එපමණක් නොවේ, ඉතාම දීර්ඝ, අඛණ්ඩව ලිඛිත වංශකතාවකට හිමිකම් කියන රාජ්‍යයක් වශයෙන් අපි අසහාය කීර්තියක් ලබා සිටින්නෙමු.


මේ දීර්ඝ කාල පරිච්ඡේදය තුළදී අප විදේශික බලවතෙකුට යටත්ව සිටියේ අවුරුදු 133ක් (1815-1948) පමණි. අපගේ ඒ පිවිතුරු නිදහස කෙළෙසා ලන්නට මේ දේශයේ කිසිවෙක් කැමති වන්නෝ නොවෙති. එහෙත් මේ 69 වන නිදහස් දිනයේදී අපි මේ දේශයේ අනාගත ශුභ සිද්ධිය පිළිබඳව විශේෂයෙන් සිතිය යුතුවෙමු.


ත්‍රස්තවාදයේ ග්‍රහණයට අසු වී සිටි අපේ මේ දේශයට, ඒ කටුක දුශ් ස්වප්නයෙන් ඉවත්විය හැකි වූයේ 2009 දීය. මේ නිසා අද ශ්‍රී ලංකාවේ ඒ අභ්‍යන්තර අරගලයෙන් පසුව උපන් අටාවුරුදු සිඟිති ළමා පරපුරක් ඇත්තේය. ජාතික නිදහස පවත්වන මේ සුබ මොහොතේදී මුළු දේශයේම, ජාතියේම තියුණු අවධානය යොමුවිය යුත්තේ ඒ සිඟිති පරපුර දෙසටයි.


මුළු දේශයම ලේ වැසි යුගයකට ගෙන ගිය ඒ කර්කෂ අභ්‍යන්තර ව්‍යසනය වැන්නකට යළිත් අපගේ අහිංසක ළමා පරම්පරාව ඇද දමන, අමානුෂික මතවාදවල ගිලෙන්නේ නැතිව, මේ සිඟිත්තන්ට නිදහසේ විසිය හැකි අනාගතයක් තනා දෙන්නට දැඩි, අචල අධිෂ්ඨානයක යෙදෙන්නට නිදහස 69 ඉතාම යහපත් අවස්ථාවකි.


මැදහත්ව අප සියලු දෙනාටම ඇසෙන, අප හැමෝටම පෙනෙන ඇතැම් දේ ඇත්තේය. පසුගිය අවුරුදු කීපය තුළ දී පමණ ජනතා උද්ඝෝෂණ, පෙළපාළි, විරෝධාකල්ප, ප්‍රකාශන ආදිය සිදු වූ සමයක් මෑත ඉතිහාසයෙහි කිසිකලෙක සිදුනොවූ තරම්ය. ඕනෑම මතවාදයක් තමන් කැමති, කැමති ආකාරයකට, තමන්ට උචිතයැයි සිතෙන ආවේගයකට, නිදැල්ලේ ප්‍රකාශ කරන්නට ලැබුණේ අපූරු නිදහසකි. මේ පුදුම හිතෙන විදියේ “නිදහස” සිද්ධස්ථාන, නීති ආයතන, පෙදෙස්, රැස්වීම්, මහාමාර්ග ආදී තැන්වල දෝංකාර දුන්නේය. රැකියාවට යන-එන අයගේ ගමන්-බිමන්, රථවාහන ධාවන ආදිය ගැන නොතකා එවැන්නෝ පාරට බැස නිදහසේ කෑ-කෝ ගැසූහ.


මේ මැදහත්ව පෙනුනු දේයි.


එවැනිදේට සහභාගී වූ ඇතැම් ගැමි මට්ටමේ කාන්තාවන්ගේ උද්ඝෝෂණ, චර්යා, සිත සසල කරන විප්ලව රංගන ලීලා වැනි විය. ඔවුන් මහපාරට බැස, කඩදාසි කැබලිවල ලියාගත් උද්‍යොග පාඨ, රණ වැකි උස් හඬින්, විප්ලව මුදා පාමින් කියා සිටියේ. කාලයක් මුළුල්ලේ මංමාවත්වල, රැස්වීම් බිම්වල විරෝධාකල්ප, පෙළපාලි කළ විප්ලවවාදී නායකයන් අනුකරණය කිරීමක් මෙනි.
ඒ “නිදහස” භාවිත කෙරුණු එක් විලාශයකි.


ඒ සිද්ධිදාම අටුවා කිරීම, මේ ලිපියේ අරමුණ නොවේ.


එහෙත්, නිදහසෙහි උපරිම ඵල නෙළාගත් තැන් කීපයක් දෙසට අද සෛවරීත්වය සමරන අප හැම දෙනෙකුගේම සිත් යොමුවිය යුතුවේ.


යහපත් ආදර්ශයක් දෙස බලන්නට අපි පසුබට විය යුතු නොවෙමු.


යම් කිසි තැනක, උදාර මානව ගුණ පහළ වේ නම්, එවැනි අවස්ථා ඉතා හොඳින් අධ්‍යයනය කිරීම උපරිම මානව ක්‍රියාදාමයකි.
අවඥාවෙන් තොරව අපගේ දේශයේ, ජාතියේ, වෙසෙසින්ම අපගේ අනාගත දරු පරපුරේ සෙත ගැන සිතමින් අපි අසල්වැසි රාජ්‍යයක් දෙස බලමු.


ඒ රාජ්‍යය සිංගප්පූරුවයි. මේ ඉතා කුඩා දේශයට නිදහස ලැබුණේ 1965 අගෝස්තු නවවනදායි. එය ගෞරවාන්විතව පිරිනමන ලද නිදහසක් නොවීය. ඊට පෙර, සිංගප්පූරුව, අසල්වැසි මැලේසියා ඒකාබද්ධ රාජ්‍යයේ කොටසක්ව තිබිණි.


බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලද මැලේසියාව විසින් සිංගප්පූරුව සිය දේශයෙන් ඉවත් කරන ලදී. එය නිදහස දීමක් නොව පන්නා දැමීමකි. පණස් දෙවසරකට පෙර සිදු වූ ඒ සිද්ධිය හනා වීච් නම් සුප්‍රසිද්ධ ලේඛිකාව ඉතා විචිත්‍ර ලෙස විවරණය කරන්නීය.


සිංගප්පූරු අගමැතිව සිටි ලී ක්වාන් යූ ඒ නිදහස ප්‍රකාශ කළේ හද වේදනාවෙන් පැන නැඟි කඳුළු ධාරා සහිතවයැයි ඒ ලේඛිකාව පවසන්නීය. නිදහසේ පුවත සිය ජනයාට කියන්නට නායක ලීට විනාඩි 20ක් ගත වූයේය. වරින්වර ඉකි බිඳිනු හෙයින් ඒ ලේඛිකාවගේ වදන් මෙසේය “ඉන් අඩසිය වසකට පසුව මේ කුඩා රට අපගේ පෘථිවි තලයෙහි ඉතාම සමෘද්ධිමත් දේශයක් බවට පත්වූයේය. එහි ඒක පුද්ගල ආදායම ඉහළ නැංගේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයත් බි්‍රතාන්‍යයත් පරදවමිනි.


පණස්පන් ලක්ෂයක ජනගහණයක් සහිත, “වැසි බින්දුවකැයි අවඥාවෙන් නම් කෙරෙන සිංගප්පූරුව, වර්ග කිලෝමීටර් 720ක කුඩා දිවයිනකි. බොන වතුර පොද පවා මුලදී ලබාගන්නට සිදුවුණේ මැලේසියාවෙනි. එහෙත් අද ජගත් ජන මණ්ඩලයෙහි මේසා විභූතිමත් තැනක් සිංගප්පූරුව විසින් දිනා ගන්නා ලද්දේ අත්‍යන්ත කැපවීමෙනි. අප්‍රතිහත ධෛර්යයෙනි. අචල ශික්‍ෂණයෙනි.


අපේ දේශයේ ජන නායකයෝත්, සෙසු අයත් වර්ෂයක් පාසා, විශාල සංඛ්‍යා වශයෙන් සිංගප්පූරු වන්දනාවේ යෙදෙති. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ගැවසෙන තැනක් නම් “මුස්තාපා” මහා වෙළඳ සංකීර්ණයයි. අපට එසේ එහි යන්නට එන්නට හැකි නම්, ඒ කුඩා දේශයේ දියුණුව හදාරන්නට අප ලජ්ජා වියයුතු නොවේ.


ලී ක්වාන් යූ නායකයා ඉතා දැඩි ලෙස පුරවැසි ශික්‍ෂණය හැඩ ගැස්වූයේය. ඔහුගේ ප්‍රජාතන්තවාදී පාලන රටාව මා හඳුන්වන්නේ ’’Designer Democracy’’ (ස්ථානගතික ප්‍රජාතන්ත්‍රවාදය) වශයෙනි. 


ලී ක්වාන් යූ රටත් ජනතාවත් හැදුවේ කුදු මහත් හැම දෙයක්ම ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක කරවමින්ය.


“සිංගප්පූරු රජය, ඉතාම පෞද්ගලික දේවලට පවා අත පෙවූයේ නැත්නම්, අපට මෙතනට එන්නටවත්, අපට මේසා ප්‍රබල ආර්ථික ප්‍රගතියක් ලබන්නටවත් හැකි නොවන්නට තිබුණු බව මම පසුතැවිල්ලකින් තොරව කියා සිටින්නෙමි. ඔබගේ අසල්වාසියා කවුද, ඔබ ජීවත්වන්නේ, ඔබ කවර කවර හඬ නඟන්නේ ද, ඔබ කෙළ ගසන්නේ කෙසේ ද, ඔබ භාවිත කරන්නේ කවර භාෂාව ද, ඉතාම පෞද්ගලික දේට පවා රජය අතපෙව්වේය.”


ඒ ව්‍යායාමයෙන් අති විනීත, අත්‍යන්ත ශික්‍ෂණයෙන් හෙබි ඉසුරුමත්, රැකී-රක්ෂා ගහණ, උසස් ජීවන තත්ත්වයකින් සැනසෙන සිංගප්පූරුවක්, හැදුනේය. 


සිංගප්පූරු වැස්සෝ, රජයෙන් යම් යම් දේ ඉල්ලා පාරට නොබසිති, නීත ගරුකව, විනයගරුකව, තමන්ගේ මේ “උද්‍යාන නගරයේ” ජීවිතය ආස්වාදය කරන්නට රජය සිය වැසියන්ට ඉඩ සලසන්නේය. එහෙත් යමෙකු හානිදායක ලෙස, ඒ පෞර රාජ්‍යයෙහි හැසුරුනොත්, රජය ඔහුට දඬුවම් පමුණුවන්නේය. නිදර්ශනයක් මෙසේය. යමෙකු මහා මාර්ගයේ කඩදාසි කැබෙල්ලක් හෝ දමා අපවිත්‍ර කළේ නම්, ඔහුට හෝ ඇයට නීතිය විසින් අඩ දිනක් පාරේ වැඩ කරන්නට නියම කෙරේ. තරාතිරම කම් නැත. අපගේ 69 වන නිදහස දිනය, අපට එවැනි අධිෂ්ඨානවල යෙදෙන්නට සුබ මොහොතක් සපයන්නේය.


අප, මේ එළඹි මොහොත ll Y චර්යා මගින් විනාශකොටගත හොත් අපගේ අනාගත දරු පරපුරට අපෙන් පිදෙන්නේ වල් බිහිවුණු, කෑ-කෝ ගැසීම, අමානුෂික චර්යා ගහණ රාජ්‍යයකි.


ඒ නිසා, මා නිහතමානීව දකින්නේ අප ශික්‍ෂණයෙන්, අපට කෙසේ වෙතත් අපගේ දරු පරපුර කෙරේ ආදරයෙන් ඒ එන පරපුරට යහතින් අභීතවත් ලෙස ජීවත්විය හැකි නියම නිදහස් පරිසරයක් තනා දෙන්නට අප මේ මොහොතේ ස්ථාවරම කැපවූයේ නැති නම් අනාගත ළමා පරපුරට අඳුරෙන් අඳුරට යන්නට සිදුවෙයි.


කෑ නොගසා දරුණු චර්යා පාමින් අපි මේ නිදහස විකෘති කරමු ද? නොඑසේ නම් ඔබගේ දරු මුණුපුරන්ට හොඳ හැටි හුස්මගෙන විසිය හැකි අනාගත ශ්‍රී ලංකාවක් බිහි කරන්නට නිදහස් දා අදිටන් කර ගනිමු ද?


මතු පරපුරේ දරුවෝ ඔබ නිදහසින් කරන කියන දේ භුක්තිවිඳීමේ ඉරණමට මූණපා සිටිති. නිදහසේ සිතන්න.


RELATED POSTS