දරු දුක මුළුලොවටම දැනුණු මොහොතක්



 

“සිය දරුවන් පාසල් ගොස් ආපසු ගෙදර එන තෙක්ම කොර්නේලියා ඇයගේ මිතුරිය හා සමග අල්ලාප සල්ලාපයේ යෙදුණාය. සිය දරුවන් ගෙදර ආවිට ඈ මෙසේ කීවාය. “ඉතින් මේ තමා මගේ මැණික්”
රොබට් බර්ටන් (1577-1640) ඉංගිරිසි ජාතික ගත්කතුවරයා
“මා ඔහුට ආදරය කරන්නේ ඔහු හොඳ නිසා පමණක් නොවේ. ඔහු මගේ දරු පැටියා නිසාත්ය” 
නොබෙල් ත්‍යාගලාභී ඉන්දීය මහා කවි රවීණ්ද්‍රනාත් තාගෝර්තුමා (1861-1941)

 

සකල ලෝකයාම දැඩි දරු දුකකින් තැවෙන කාල පරිච්ඡේදයකට මානව සංහතිය නොබෝදා මූණ පෑයේය.


මෙයට හේතුව වූයේ නීති විරෝධී ලෙස සිය දේශයට සංක්‍රමණය වන අය කෙරෙහි “කිසිසේත් බුරුලක් නොදක්වන” ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතා විසින් පණවන ලද නියෝගයයි.


මෙක්සිකෝවේ සිට නීති විරෝධී ලෙස ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට එන අය කෙරෙහි “සීරෝ ටොලරන්ස්” (කිසි බුරුලක් නැති) ප්‍රතිපත්තියක්. ජෙෆ් සෙෂන්ස් නීති පති වරයා ප්‍රකාශ කළේ 2018  අප්‍රේල් හයවනදායි. එතැන් පටන් සති කිහිපයක් තුළ (මැයි පස්වනදා සිට ජුනි 19 වනදා දක්වා) මේ නියෝගය හේතුකොටගෙන සිය දෙමාපිය වැඩිහිටියන්ගෙන් වෙන් කරනු ලැබු සිඟිති දරුවන්ගේ සංඛ්‍යාව 2342කැයි, වගකිවයුතු වාර්තා විසින් ප්‍රකාශ කෙරුණේය.


මේ අහිංසක දරු පැටියන්ගේ ඛේදවාචකය අති ශීඝ්‍ර ලෙස ලොව පුරා පැතිරී ගියේය.


මෙවැනි පසුබිමක ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අධි ජයග්‍රාහීව ජාත්‍යන්තර තලයෙහි පෙනී සිටියේය. මෙයට ප්‍රබල හේතුවක් තිබිණි.
ජුනි 12 වනදා සිංගප්පුරුවේ  සෙන්තේසා විනෝද දිවයිනේදී ට්‍රම්ප් කිම් නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාව, බොහෝ දෙනෙකු සිතුවාටත් වැඩි සාර්ථකත්වයක් ලද්දේය. “තමා න්‍යෂ්ටික අවි සහ මුලින්ම අත්හරින බවට මම කිම්ජොං උන්ගෙන් ප්‍රතිඥාවක් ලබා ගත්තේමි”යි ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේය.


ආක්‍රමණශීලි ඒකාධිපතියකු වශයෙන් මෙතෙක් ලෝකයා දැන සිටි කිම්ජොංඋන් සාම මාර්ගයට ගැනීම, අනිවාර්යයෙන්ම ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයකැයි පෘථුල ලෙස පිළිගැණිනි. දකුණු ලොරියාව හා සමග යුද අභ්‍යාස පැවැත්වීම නවත්වාලන්නට ට්‍රම්ප් පොරොන්දු විය. මෙය උතුරු කොරියානු නායකයාගේ සිතට ඉමහත් සහනයක් වුයේය.


මේ සියල්ල නිසා ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපතිවරයා අභිමානයෙන් පසුවූයේය. තමා නොබෙල් සාම ත්‍යාගය සඳහා අත්‍යයයෙන්ම උචිතයැයි ද එතුමාට සිතුණේය.


මේ සියල්ල තිබියදී ලැව් ගින්නක වේගයෙන් ලොව පුරා පැතිර ගිය සිද්ධියක් නිසා ලෝකයා කම්පා වූහ. නීතියේ අවසරයක් නැතිව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට ඇතුළුවන අය පවුල් පිටින්ම තාවකාලික කඳවුරුවල රඳවනු ලැබේ.


එසේ රඳවනු ලබන්නේ ඒ පවුල්වල සිඟිත්තන් වැඩිහිටියන්ගෙන් වෙන් කොට තබමිනි. ඒ දෙමාපිය වැඩිහිටියන්ගෙන් වෙන් කරනු ලැබු සිඟිත්තන්ගේ වේදනාව, ක්ෂණයකින් ලොවටම දැනුනේය.


මේ දරු පැටවුන් නවත්වා තිබුණේ සිරගෙවල් වැනි තැන්වලයි. ඔවුන් බලා ගන්නට නිලධාරිහු පත්කරනු ලැබ සිටියහ.


එහෙත් මවුපිය වැඩිහිටියන්ගේ උණුසුම් තුරුල්ල අහිමි වූ පුංචි දරුවෝ “අම්මේ තාත්තා” කියා වැළපෙන්නට වූහ. “මොම් ඩෑඞ්” යැයි හද පෙළනසේ ඒ දරු සිඟිත්තන් නැගු විලාපය, මාධ්‍ය ඔස්සේ ලොවපුරා දෝර ගලා ගියේ මිනිස් හදවත් පාරන දුකක් දනවමිනි.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේත්, ලොව බොහෝ රටවලත්, මේ දරුවන්ගේ කඳුලෙන් පැන නැගී දුක්වේදනා ධාරව විහිද පැතිර ගියේය. ආගමික පූජකවරුත්, බොහෝ ජන කණ්ඩායම් සමගත් විවිධ පෙළපාලි මගින් මේ කෘරත්වයට එරෙහිව විරෝධාකල්ප නඟාලූහ.
මේ අසරණ දරු සිඟිත්තන් කෙරේ බලපාන නීති රීති සැකෙවින් දැක්විය යුතුවේ මේ සංක්‍රමණිකයන් කෙරේ බලපාන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ කාර්යාංශය “නිජබිම ආරක්ෂක දෙපාර්තමේන්තුව” නම් වේ.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අද ජනගහනය තිස් දෙකෝටි හැට ලක්ෂයකි. නීත්‍යානුකුල ලිපි ලේඛනවලින් තොරව ඒ දේශයේ අද වෙසෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව එක්කෝටි දශ ලක්ෂයකි.


දේශ සීමාවේදී සංක්‍රමණිකයන් පරීක්ෂා කෙරෙන විට ඔවුන් බොහෝ විට රඳවා තබනු ලබන්නේ කම්බි ආවරණවලින් වටවු කුටි තුළයි.
එසේ පරීක්ෂාවට ලක්වීමෙන් පසුව නීතිය හමුවට පත්කළ යුතුවන වැඩිහිටියෝ ඇමෙරිකානු නීති නිලධාරීන්ට (මාෂල්ලාට) භාර දෙනු ලබති.


ඒ අවස්ථාවේදී ඒ වැඩිහිටියන්ගේ දරු පැටවු එම මවුපිය භාරකර කාදීන්ගෙන් වෙන්කොට තබනු ලැබේ. දෙමාපිය වැඩිහිටියෝ සිය දරුපැටවුන්ගෙන් වෙන් කෙරෙති. දරු පැටවු සිය අදරැත මවුපිය වැඩිහිටියන්ගෙන් වෙන්ව තැබෙති.


සංක්‍රමණිකයන් පදිංචි කරවන රාජ්‍ය සංවිධානය “සංක්‍රමණිකයන් අලුත් තැන්වල පදිංචි කරවන කාර්යාලය” වශයෙන් නම් කෙරේ.
මේ තාවකාලික නවාතැන්වල දී දරුවන්ට වෛද්‍ය පහසුකම් ආහාර පාන සහ අධ්‍යාපනයත් සම්පාදනය කෙරේ. ඒ සැප පහසුකම් කොපමණ තිබුණද ඒ දරුවන් දවස් ගෙවන්නේ ඇඬු කඳුළෙනි. “අම්මේ තාත්තේ” යැයි විලාප දෙමිනි. දෙමාපියෝත් වැළපෙති. දරුවෝත් දුක්වෙති.


ජනාධිපති ට්‍රම්ප් එසේ එන්ට එන්ටම දැඩිව පැතිරෙන දරුවන්ගේ ප්‍රශ්නය දෙස දේශපාලන ඇසින් බැලුවේය. මෙය විරුද්ධ පාක්ෂිකයන්ගේ වරදක් ලෙස දකින්නට ජනාධිපති ට්‍රම්ප් පෙළඹුණේය.


එහෙත් මෙය සීමිත දේශපාලන බෙදීම්වලින් ඉතා ඈතට යන ගැඹුරු මානව හැඟීමක් නිසා හටගන්නා හදපෑරීම්වලින් පැන නගින වේදනාවක් බවට ජනාධිපතිවරයාට ප්‍රබල සාධකයක් ලැබුණේ තමන්ගේ ගෙදරින්මය. ධවල මන්දිරයෙන්මය.


ඒ මෙසේය. ජනාධිපති ට්‍රම්ප්ගේ ආර්යාව, මෙලනියා මහත්මියයි. මෙතෙක් කල් ප්‍රසිද්ධ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වූ ජනාධිපති ආර්යාව, මෙහිදී මෙසේ කියා සිටියාය. “දරුවන් සිය පවුල්වලින් වෙන්කරනු දැකීමට මා ප්‍රබල ලෙසම අකමැතිය. පාලක දෙපක්ෂයටම එකට එකතු වී සාර්ථක ආකාරයන්ගෙන් සංක්‍රමණික නීති රීති අලුතින් සකස් කොටගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අප සියලුම නීතිවලට අවනතවන රාජ්‍යයක් විය යුතුය. එසේම අපගේ දේශය හදවතක් සහිතව පාලනය කෙරෙන රාජ්‍යයක් විය යුත්තේමය.”


ට්‍රම්ප් ආර්යාව විසින් එසේ හදවතට කෙරෙන ආයාචනයක් ඉදිරිපත් කරද්දී හිටපු ජනාධිපති ආර්යාවක් වන ලෝරා බුෂ් මහත්මිය ද මෙසේ පවසා සිටියාය. “රටට නීති විරෝධී ලෙස ඇතුළුවන පවුල් බෙදා වෙන් කිරීමේ විවාදයට තුඩු දෙන ප්‍රතිපත්තිය මම හෙළා දකින්නෙමි. දරු පැටවු ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කිරීම කෲර ක්‍රියාවකි. එය යහගුණයට විරුද්ධය. හද පාරන සුළුය.”
මෙවැනි ප්‍රකාශ නිසාත් ලොව පුරාම පැන නැඟී විරෝධාකල්ප ප්‍රවාහය නිසාත් ජනාධිපති ට්‍රම්ප් මේ දරුවන්ට සහනයක් ලබාදුන්නේය. ජුනි විසිවැනිදා ජනාධිපති ට්‍රම්ප් පවුල් වෙන් කිරීමේ නීතිය අවලංගු කරන්නට අණ දුන්නේය.


ඒ නිගමනයට බොහෝසේ බලපැ මෙලනියා ආර්යාව ගුවනින් ටෙක්සස් පෙදෙසට ගොස් මේ “ලැව්ගින්න” නිවා ලන්නට බැරෑරුම් ප්‍රයත්නයක යෙදුණාය. හිටපු විලාසිතියක වන හතලිස් අට හැවිරිදි මෙලනියා ආර්යාව ඒ ගමන ගියේ මේ අසරණ දරුවන් කෙරේ කළ කරුණාවෙනි.


ජනාධිපති ට්‍රම්ප් ඒ සහනදායි පියවර ගනිමින් මෙසේ කියා සිටියේය.


“අපේ රජයේ ප්‍රතිපත්තිය නම් පවුලේ එකතුව අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඉඩදීමයි. සුදුසු හැම තැනකදීම අප ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නීතියට අනුගතවත් තිබෙන සම්පත්වලට අනුකුලවත්ය.


එහෙත් තාවමත් ඇතැම්මු මේ පවුල්වල දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීමේ ක්‍රියාවට විරෝධීව විවිධ මත පළ කරති.
ඇතැම් අය පවසා සිටියේ වයස පහෙන් අඩු දරුවන් පවා කූඩු වැනි කුටිවල රඳවා සිටි බවයි. ඒ දරු පැටව් දැඩි ආත්ම වේදනාවෙන් පෙළෙති. මේ සංක්‍රමණික ප්‍රතිපත්තිය “අශිලාචාර” යැයි තාමත් සමහරු කියා සිටිති.


පැහැදිලිව පෙනෙන ප්‍රධාන කරුණක් ඇත්තේය. මේ සංක්‍රමණිකයන් පිළිබඳ අර්බුදය කිසිසේත් පහසුවෙන් විසඳාලිය හැක්කක් නොවේ.
තමන්ගේ නිජබිම්වන මෙක්සිකෝව වැනි රාජ්‍යවල, ජීවත්වන්නට, කිසිම කිසි මගක් නැති වූ කල්හි එවැනි රටවල දස දහස් ගණන් සංක්‍රමණිකයෝ යහපත් අනාගතයක් පතා ඇමෙරිකා එක්ත් ජනපද රාජ්‍යයට ඇතුළු වන්නට බලති. මේ නිසා ඇමෙරිකාවට බැරෑරුම් සංක්‍රමණික අර්බුදයකට මූහුණපාන්නට සිදුවේ. යථා තත්ත්වය මෙයයි. 


එවැන්නන්ට තාවකාලික නිවාස පහසුව සපයන්නට ඇමෙරිකාව විසින් ටෙක්සස් අර්කන්සාස් සහ නව මෙක්සිකෝව වැනි පෙදෙස්වල වාසස්ථාන සකස් කෙරෙයි. විසි දහසකට පමණ ඒවායේ නවාතැන් ලද හැකිවේ.


එහෙත් තවමත් මේ සංක්‍රමණයන් පිළිබඳ ප්‍රශ්නය වෙසෙසින්ම දරුපැටවු නිසි ආකාරයෙන්ම රඳවාලීමේ අර්බුදයි, අවුල් ජාලයක් බවට පත්ව ඇත්තේය.


ඉවසන්නටම බැරිතැන ජනාධිපති යෝජනා කොට සිටින්නේ උසාවි සහ විනිශ්චයකාරවරු නොමැතිව ඇමෙරිකානුන් විසින් මේ සංක්‍රමණ ප්‍රහේලිකාව විසඳා ගත යුතු බවයි.


ඉන් අදහස් කෙරෙන්නේ නීති විරෝධී ලෙස සංක්‍රමණිකයන් ඇමෙරිකාවට ඇතුල් වූ වහාම ඔවුන් කිසිම වග විභාගයකින් තොරව ආපසු ඔවුන්ගේ රටවලට හරවා යැවීමයි.


එහෙත් ලෝකයේ මහ බලවතකු වශයෙන් එවැනි “සාහසික” විසඳුම් දෙසට යොමුවීම සුදුසුදැයි ඇතැම්හු විමසති.


එසේ නම් උභය මන්ත්‍රණ සභාව විසින් මේ සඳහා ක්‍රමවත් විසඳුමක් සම්පාදනය කළ යුතුවේ.


ඒ අතර මේ දිනවල ලොවපුරා ප්‍රචාරය වූ ඡායාරූපයක් ලෝකයාගේ හදවත් තියුණු ලෙස පෑරුවේය. ඒ ඡායාරූපයෙන් දැක්වෙන්නේ නිලධාරීන් තමා ගේ අම්මා පරීක්ෂා කරන විට අඬා වැටෙමින් ඇය දෙස බලා සිටින දෑ අවුරුදු දරු පැටවකුගේ දර්ශනයයි. මේ ඡායාරූපය ගත් ශිල්පියා ජගත් සම්මානය ලද්දේය.


විවිධ අර්බුදවලට මූණපාමීන් ලෝකයේ දැවැන්තයන් හා සමග විවිධ මට්ටමේ සටන්වල යෙදෙන විස්මය උපදවන රාජ්‍ය නායකයෙකු වශයෙන් ජනාධිපති ට්‍රම්ප් ද අපූරු වාර්තාවක් පිහිටුවා ඇත්තේය.


දිගු කලක් මුළුල්ලේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හිතුවන්ව සිටි ජී 7 කණ්ඩායමේ රාජ්‍ය හය සමග ඔහු “සණ්ඩුවක” පැටලී සිටී.
කැනඩාවේ පැවැති ජී 7 ඉහළ මට්ටමේ සමුළුවේදී වාද විවාදවල පැටළුණු ජනාධිපති ට්‍රම්ප් ඉන් නික්ම ගියේ රැස්වීම අතරමගදීය. “පැදුරටත් නොකියා” එතැනින් ඉකුත්ව කෙළින්ම සිංගප්පුරුවට පියාඹා ආ ජනාධිපති ට්‍රම්ප් කැනඩාවේ සිටි සිය නියෝජිතයන්ට ගුවනේ සිට අණ දුන්නේ ජී 7 ඉහළ මට්ටමේ සමුළුවේ අවසාන මාධ්‍ය නිවේදනයට අත්සන් නොතබා ඉවත්ව යන්නයි කියායි.


ජනාධිපති ට්‍රම්ප්ගේ “මහා අර්බුද” තාමත් නිමාවුයේ නොවේ.


ඔහු රාජ්‍ය සමූහයකින් සිය රටට එවනු ලබන ද්‍රව්‍ය සඳහා අය කෙරෙන තීරු බදු වැඩි කළේය.


මේ හේතුකොට හටගන්නා “මහා වාණිජ සටන්” ඇරඹෙන්නේ ජුලි හය වනදාය. මහජන චීන රාජ්‍යයෙන් ඇමෙරිකාවට එවන දේවල තීරුබදු අධික කිරීම ගැන චීනය ප්‍රතික්‍රියා කරන්නට නියමිතව තිබෙන්නේ එදාය. කවර අර්බුද තිබුණද ශුභවාදීව ඒවාට මුහුණ දෙන්නට සැරසෙන ට්‍රම්ප් ජනපති කියන්නේ මේ ප්‍රශ්න තමන්ගේ පක්ෂයට යහපත් බවයි. ඒ අතර සංක්‍රමණික දරු පැටවුන්ගේ කඳුළු ගැන තාමත් විරෝධතා ඇත්තේය.


 

සවුදි අරාබි කාන්තාවන්ට නිදහසක්

ලෝකයේ සෑම රටකම පාහේ කාන්තාවනට ලැබී තිබුණු නිදහසක් ගිය ඉරිදා (ජුනි 24) වනතෙක්ම සවුදි අරාබි කාන්තාවන්ට අහිමිව තිබිණි.


ඒ අයිතිය නම් ප්‍රසිද්ධයේ මෝටර් රිය පදවාගෙන යෑමේ නිදහසයි.


මේ ඓතිහාසික නිදහස නිසා සාමාජික කාර්යක්ෂමතාවය පිළිබඳ නව යුගයක් ඉසුරුමත් සවුදි අරාබියට උදාවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.


මේ නිදහස සවුදි අරාබි කාන්තා පක්ෂයට උදාවූයේ මොහොමඞ් බින් සල්මාන් කිරුළ හිමි කුමරුගේ පෘථුල සාමාජික ප්‍රතිසංස්කරණවාදී දර්ශනය හේතුකොට ගෙනයි.


මේ නිදහස ව්‍යවහාරයට පත්වූයේ ඉරිදා මැදියම් රෑ මොහොතේ සිටයි. ඒ නිදහසේ උද්දාමය නිසා ඉරිදා මැදියම් රැයේදී සවුදි අරාබි කාන්තාවෝ සවුදි අරාබි අගනුවර වන රියාද් නගරයේත් සෙසු නගරවලත් වීථි ඔස්සේ සිය මොටෝ රිය හඬින්, මහමග දෙදරවමින් ඒ මේ අත සැරිසැරූහ. සිය මෝටෝ රියවල සංගීත උත්පාදක උපකරණ මගින් ඔවුහු සංගීත රාවය පතුරුවා ලූහ.


රථවාහන ප්‍රසිද්ධියේ පැදවීම නිදහස අලුතින් ලද කාන්තාවන් රිය පදවන ආකාරය දක්වන රූපවලින් සාමාජික මාධ්‍ය පිරි ඉතිරී ගියේය. මීට පෙර කාන්තාවන් ප්‍රසිද්ධියේ රිය පැදවූයේ නම් ඔවුන් අල්ලා දඬුවම් කරන පොලිස් නිලධාරිහු මෙවර එසේ ප්‍රථමවරට ප්‍රසිද්ධියේ රිය පදවන කාන්තාවනට මල් පිරිනැමූහ.


බිලියන්පති අල් වලීඞ් බින් තලාල් කුමරු සිය දියණිය වන රීම් කුමරිය රිය පදවාගෙන යනු දැක අතිශයින් තුටුපහුටු වූයේය. කුමරුගේ මුනුබුරු මුණුබිරියෝ පසුපස අසුනේ සිට ඔල්වර සන් නැගුහ. “දැන් කාන්තාවනට ඔවුන්ගේ නිදහස ලැබී ඇත්තේ”යැයි කුමරු ප්‍රමෝදයෙන් පැවැසුයේය.


මීට පෙර සවුදි අරාබි කාන්තාවන්ට සමාජය සැලකුවේ බාල වයස්කාර දරුවන් හැටියටයි. ඔවුන්ට තනිවම බැංකු ගනුදෙනු කළ හැකි නොවීය. තනිවම වීසා බලපත්‍ර ලබා ගැනීම තහනම් ව තිබිණි. එසේම ඔහුන්ට නිදහසේ භෝජනාගාරයකට ගොස් ආහාර පාන ගැනීමට ද නිදහස තිබුණේ නැත.


බටහිර ආර්ථික විද්‍යාඥයන් විසින් පැවසෙන පරිදි මෙසේ සවුදි අරාබි කාන්තාවනට ලැබුණු නිදහස නිසා 2036 වනවිට කාන්තා රැකියා ප්‍රමාණය ඉහළ නැග ජාතික ආර්ථිකයට ඩොලර් මිලියන 90ක් එකතුවේ.


ඒ අතර ඔපෙක් රාජ්‍ය සංවිධානය (පැට්‍රල් රට යවන රාජ්‍ය සංවිධානය) විසින් අධික වශයෙන් පැට්‍රල් නිෂ්පාදනය කරන්නට තීරණය කොට ගන්නා ලදී.


 

මහාචාර්ය පරණවිතාන මහතා සහ අලි

මා විශ්වවිද්‍යාලයේ උගන්නා කාලයේත් ඉන්පසුවත් මගේ චාරිත්‍රයක්ව තිබුණේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හමුවන්නට යෑමයි. එතුමා ඇතැම් විටෙක පුරා විද්‍යා කැණීම් කෙරෙන තැන්වලටද මා රැගෙන ගියේය.


වරක් එතුමා විසින් සොයා ගන්නා ලද ඉපැරණි ස්ථානයක් පිළිබඳව ඉතා විභුතිමත් උත්සවයක් අනුරාධපුරයේ පැවැත්වූයේය.
ඒ උළෙල පැවැත්වෙන දිනයේදී එතුමා අනිවාර්යයෙන්ම අනුරාධපුරයට යන්නට ඇතැයි මා සිතුවද පුස්තකාලය ආශ්‍රය කරනු පිණිස මම එතුමාගේ කාර්යාලයට ගියෙමි.


මා විස්මය පත් කරමින් පරණවිතාන මහතා එහි සිටියේය. “සර් වෙන් යුවර් ෆෙස්ටිවල් ඉස්බීන් හෙල්ඞ් ඉන් අනුරාධපුර ඇට් ග්‍රෑන්ඞ් ස්ටේට්ලෙවල් වයි ආයු හියර්”  (ඔබගේ උත්සවය උච්ච රාජ්‍ය මට්ටමෙන් අනුරපුරේ පැවැත්වෙද්දී ඔබ මෙහේ ඇයි?” ) 
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ පිළිතුර “යූ නෝ එලිෆන්ට්ස් ආ මෝ ඉම්පෝටන්ට් දෑන් ආකියෝලොජිස්ට්ස් ෆෝ දීස් ෆෙස්ටිවල්ස්) 


“මේ උත්සවවලට පුරා විද්‍යාඥයන්ට වඩා වටින්නේ අලි ඇතුන්ටනේ” මට කරුණ පැහැදිලි විය.


 

මකියෝකා සොහොවුරියෝ

ජපන් බසින් සසමෙ යුකි (සිහින් හිම පොද) නම් වූ ප්‍රබන්ධ කථාව ඉංගිරිසියට නගනු ලැබුවේ “මකියෝකා සිස්ටර්ස්” වශයෙනි. ඒ නිසා එහි සිංහල නම “මකියෝකා සොහොවුරියෝ” නම් වේ.


මෙය ජුනිචීරො තනසකකි නම් ලේඛකයාගේ කෘතියකි. 1886 උපත ලැබ 1965 අභාවයට පත්වූ මේ ලේඛකයා ජපානයේ සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි උච්චස්ථානයක් ලබන්නේය.


“මකියෝකා සොහොවුරියෝ” නම් මේ කෘතිය යුනෙස්කෝ ආයතනය විසින් සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වශයෙන් පිළිගනු ලැබුවේය.
මේ ග්‍රන්ථය ප්‍රස්ථත වන්නේ ඔසාකාවේ ඉසුරුමත් පවුලක් වූ “මකියෝකාවරුය”


මේ ප්‍රබන්ධ කථාව සංස්කෘතික වශයෙන්ද ඉතා අගයැති නිර්මාණයක් සේ සැලකෙන්නේ ජපානයේ ඇතැම් සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවල ස්වභාවය මෙහි ප්‍රබන්ධ කලාත්මක වාර්තා කෙරෙන හෙයිනි.


මෙහි කියැවෙන මුඛ්‍ය ප්‍රවාදය මතියෝකෝ පවුලේ තුන්වන සොහොයුරියට මනාලයෙක් තෝරා ගැනීමේ සංකීර්ණ සිද්ධි මාලාව ආශ්‍රිතවේ. ඇයගේ නම යුකිකෝ 


ජපන් නම වන “සසමෙ යුකි” යන්නෙන් ඇඟෙන “සිහින් හිම පොද” නම් යෙදුමෙන් නිරූපනය වන්නේ ඉතා විභූතිමත්ව පිපී තිබුණු සකුරා මල් පරවී ගස්යට වැටෙන සෘතුවයි.


පවුල් බාල දියණිය වන තයිකෝට තමාට වැඩිමල් යුකිකෝට මනාලයෙක් ලැබෙන තෙක් විවාහයක් කරගත හැකි නොවේ.
යුකීකෝ සඳහා විවිධ මනාලයන් සෙවීමට පවුල වෙහෙසෙයි. ඒ සොයන අයට යුකීකෝ කැමති නැත. මනාලයා මනාලිය බලන්නට එන චාරිත්‍රය “මියායි” නම්වේ.


එක් මනාලයෙක් මසුන් පිළිබඳව පර්යේෂණයේ යෙදෙන්නෙකි. මනාලිය බලයට ආ තැන් පටන්ම ඔහු කතා කළේ මත්ස්‍යයන් පිළිබඳවයි. ඔහු සුරූපි වුවද යුකීකෝ ඔහුට කැමැතිවුයේ නොවේ. එයාට මාළුවෙක් කසාඳ බැඳගන්නැයි කියන්නැයි ඈ පවුලේ අයට පැවැසුවාය.


මේ කථාව ඉතා සිත්ගන්නා ආකාරයෙන් ලියැවී ඇත්තේ. මේ පොත මුලින් සඟරාවක කොටස් වශයෙන් පළවිණි.


RECOMMEND POSTS

RELATED POSTS