දරුවන්ට යහමග සපයාදීම දේශයේ පරම අභියෝගයය



 

“සාමාන්‍ය වශයෙන් සැලකීමේදී, දරුවෝ නිකම් සිටින්නට රිසි නොවෙති. අප විසින් හැම විටම පරික්ෂාකාරී විය යුත්තේ ඒ ළමා කාලය සතු “දැඟලිල්ල” ඔවුන්ට ප්‍රයෝජනවත් වන දෙයක් දෙසට යොමු කරන්නටයි”

ජෝන් ලොක් (1632-1704) ඉංගිරිසි දර්ශනවාදියා

 

දරුවන් ගැන කතා-බහ කිරීමට, මේ මොහොත අත්‍යන්තයෙන්ම උචිත අවස්ථාවකි. හැම වර්ෂයකම ‘ජගත් ළමා දිනය” පැවැත්වෙන්නේ නොවැම්බර් විසිවනදායි. එපමණක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සම්මේලනය විසින් 1989 යේදී, “දරුවන්ගේ අයිතිවාසිකම් පනත” නම් ප්‍රබල ළමා සම්මුතිය පිහිටුවා තිස්වන වස සපිරෙන්නේ මේ අවුරුද්දේයි. තවත් විශේෂ කරුණක් වෙයි. අපගේ දේශයේද නව පාලන යුගයක් ඇරඹුයේය. අපේ නව ජනාධිපතිවරයා ද, ළමා පරපුරේ යහපත ගැන, ගැඹුරු ලෙස සිත් යොමු කරනු ඒකාන්තයි. සිරිලක දරු පරපුරේ අනාගතය ගැන අතිශයින් සංවේදිවීම කාලෝචිතවන්නේ ඒ නිසයි. ශ්‍රී ලංකාවද ඒ ළමා අයිතිවාසිකම් පනතට අත්සන් කළ රාජ්‍යයකි. 1990 ජනවාරි විසිවන දින ඒ පනතට අත්සන් තැබූ අපි 1991 ජූලි 12 වනදා යළිත් ඒ අත්සන් තැබීම ස්ථාවර කළෙමු. ළමා පරපුරේ යහපත තහවුරු කරන ලද්දේ එසේම තාමත් බොහෝ සේ තහවුරු කෙරෙන්නේ ඒ පනතෙනි. එහෙත්, අද ලොව ළමා පරපුර, අත්‍යන්තයෙන්ම ක්‍රියාකාරී ජගත් කණ්ඩායමක් බවට පත්වී සිටී. ඔවුන් අතුරෙන් ඇතැම් අය ජගත් නායකයන් ගණයටද පත්ව ඇත. මේ ලිපියේදී “දරුවන්” වශයෙන් මවිසින් හඳුන්වනු ලබන්නේ. 21න් පහළ වයසකයෝයි. ඔවුහු 21 වන සියවසේ උපත ලැබූහ. ඒ නිසා ඇතැම් සමාජ විද්‍යාඥයන් විසින් ඔවුන් නම් කෙරෙන්නේ “මිලේනියල්ස්ලා” වශයෙනි. අරුත: සහසුකයෝ (නව සහස්‍රයේ උපත ලද්දෝ) අපගේ මේ වාසනාවන්ත දේශයේ දූ දරුවන් බහුල වශයෙන්ම තියුණු බුද්ධියක් සහිතය. මේ දේශයේ අධ්‍යාපන ඉතිහාසය ඉතා ඈත අතීතයට විහිදෙයි. පැරණි යුගයන්හි, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව ප්‍රධාන වශයෙන්ම ක්‍රියාවේ යෙදුනේ, පිරිවෙන් ආශ්‍රිතවයි. ඇතැම් පුරාණ අධ්‍යාපන ස්ථානවල පැවැති තතු පොත පතෙහි සඳහන් වේ. “අල්ලට සිඟාවක් රසනැති කැවිලි කකා වල් කොළ බිම අතුළ නිදි නොලැබ දුක්තකා කල්ගිය රෙදිවැරළි ඇඳ දැළිකුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරිවැඩ තකා ඒ දරුවන්ට, දැඩි දඬුවම්ද ලැබුණේය “වේවැල්, කෝටුනාරන් සියඹලා අතු කිතුල් පොල් ඉරටු වල් කසඹිලිය අතු මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතු පමානොවී එමි අකුරට මෙයින් මතු” තරමක් ඈත යුගයන්හිදී දරුන්ටත් සළකන ලද්දේ කුඩා ස්ත්‍රී - පුරුෂයන් ලෙසටයි.

ඒ නිසා, දරුවන්ගේ චරිත ගති වලට හෝ මනසට ගැලපෙන, විශේෂ අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ නොවේ. දරුවා සහමුලින්ම වෙනස් මානසික චර්යා සහිතයෙකු බව අවබෝධ කොටගෙන ඒ දාරක අධ්‍යාත්මයට ගැලපෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ලොවට දෙන ලද්දේ, මරියා මොන්ටිසෝරි (1870-1952) ඉතාලි විද්‍යාඥවරිය විසිනි. ඉතාලියේ රෝම විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලද ප්‍රථම කාන්තාව එතුමියයි. මොන්ටිසෝරි ළමා අධ්‍යාපන ක්‍රමය ලොව පුරා ප්‍රචලිත විය. එක් එක් දරුවාම, අන් අයගෙන් වෙනස් අධ්‍යත්මයක් සහිත යැයි කියන පදනම යටතේ, මොන්ටිසෝරි ළමා අධ්‍යාපන ක්‍රියාවලිය, ව්‍යවහාරයට ආයේය. එක් එක් දරුවාගේම චරිත වර්ධනය එහි අරමුණයි. එහෙත් මේ මොහොතේ ලොව පුරා පැතිර යමින් තිබෙන්නේ සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ ළමා අධ්‍යාපනයකි.

ලොව පුරා, බොහෝ දේශවල දරු - දැරියෝ අද තමන්ගේ සම්මත විෂයධාරාවෙන් ඔබ්බට යති. ඔවුන් එසේ යන්නේ ඇයි? අද ලොව පවත්නා අලුත්ම අදහස් සමූහයක් මේ නව දරු පරපුර කෙරේ බලපාන්නේය. ඒ අනාවරණය විසින් අද යුගයේ ජනතාවට බැරෑරුම් අන්තරායක් පිළිබඳ ඉඟියක් දෙනු ලැබේ. ඒ මෙසේය. අද ලෝ වැස්සන් මිහිතලයට සිදුවන පාරිසරික හානිය වළක්වන්නට දැන්ම නිසි පියවර නොගත්තේ නම් අප වෙසෙන මේ මිහිතලය සහමුලින්ම වැනසී යන්නේ යැයි වගකිවයුතු මහා විද්‍යාඥයෝ දැඩිව කියා සිටිති. මේ කියමන නිසා අද බලවත් කම්පාවට පත්වී සිටින්නේ වැඩිහිටියන්ටත් වඩා අති ක්‍රියාශීලි ළමා පරපුරකි. පෘථුල ලෙස සිදුවීගෙන යන මේ දැවැන්ත පාරිසරික හානිය වළක්වා ලන්නට ඉතා ඉක්මණින් අසහාය ප්‍රයත්නයක් දරන්නට බැරි වුවහොත්, මානව සංහතියට ඉතිරිවන්නේ තව තිස් වසක කාල සීමාවක් පමණි. මේ අන්තරාය වළක්වා ගන්නට ලොව පුරා මහා දරුකැලක් හා සමග කටයුතු කරමින් මිහිතලය බේරා ගැනීමේ භාරදූර ප්‍රයත්නයට නායකත්‍වය දෙන්නේ ග්‍රේටා තන්බර්ග් නම් දහනව හැවිරිදි බාලිකාවකි. මේ සිඟිති දැරියගේ අසාමාන්‍ය මෙහෙවර, හේතු කොටගෙන, විභූතිමත් යශෝකීර්තියක් ඇය වටා තැනී ඇත්තේය. ග්‍රේටා, ස්වීඩිෂ් ජාතික බාලිකාවකි. අද ලොව පුරා තත්පරයක් තත්පරයක් පාසා සිදුවන පාරිසරික හානිය වළක්වා ලන්නට ග්‍රේටා පෙරමුණ ගත්තාය. පෙර අපර දෙදිග බොහෝ දේශවල දරු දැරියෝ අද මේ පාරිසරික වීරවරියට සහාය වෙති.

අප වෙසෙන මේ ග්‍රහලෝකය වෙනුවෙන් සටන් අරඹා සිටින මේ නව පරම්පරා නායිකාව අද ලොව ශ්‍රේෂ්ඨතම ජන නේතෘවරුන් අමතමින් සිය ‘සටනෙහි’ අරුත හෙළිකරන්නීය. තන්බර්ග් දැරිය වරක් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පිරිසකට සිය චින්තනය පැහැදිලි කළාය. ඒ පාර්ලිමේන්තුවේ ප්‍රභූවරු, මේ ‘බාලිකාවට” සවන් දුන්නේ කුතුහලයෙනි. එහෙත් ඇය ඉතාම ගැඹුරු ආකාරයෙන්, සිය “කාලගුණ” දේශනය කරගෙන ගියාය. තියුණු ස්වරයෙන් තන්බර්න් දැරිය මෙසේ පැවසුවාය “ව්‍යසනයක් සිදුවන්නට යනවා. මේක විඳගන්නට සිදු වන්නේ මගේ පරම්පරාවේ අයටයි” මෙසේ පවසන ඇය දෝෂාරෝපණය කළයුත්තේ කාටදැයි හරිහැටි දනී. පිරිස අමතමින් ඇය සෘජුවම මෙසේ ප්‍රකාශ කරන්නීය. ඔබ නිසි මොහොතේදී ක්‍රිය කළේ නෑ” ලොකු ලොක්කන්ට දොස් පැවරීම, තන්බර්ග් බාලිකාවට අතිශය සුපුරුදු ක්‍රියාදාමයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන්ට ජගත් ආර්ථික සංවිධානවල විශේෂඥයන්ට සිය අදහස් පවසන ග්‍රේටා තන්බර්ග් වරක් පාප්වහන්සේද බැහැ දැක්කාය. “දිගටම ඔය ව්‍යාපාරය කරගෙන යන්නැයි පාප් වහන්සේ ඇයට දිරි දුන්හ. ග්‍රේටා තන්බර්ග් වටා ලෝකයේ දරුවන් ශීඝ්‍ර වේගයෙන් එක් රැස්වූයේ ඇය කලකිරී සිටි මොහොතකයි. “අන්තිමේදී මිහිතලය විනාශ වේ නම් අප කරන කියන දේවල් අර්ථය කුමක්ද” යි ඇය සිතුවාය. එහෙත් ඇය කලකිරීමේ ගතියට යට නොවූවාය. ධෛර්යෙන් යුක්තව, මිහිතලය බේරා ගැනීමේ මහා මෙහෙයට කැපවන්නට තන්බර්ග් තීරණය කළාය. තන්බර්ග්ගේ අධිෂ්ඨානය වූයේ, සිය පූර්ණ ශක්තිය යොදා අපගේ මාතෘභූමිය වූ මිහිතලයත්, මානව වර්ගයාත් බේරාගත යුතුය යන්නය. හැම සතියකම සිකුරාදා දිනය මිහිතලය පාරිසරික ව්‍යසනයෙන් බේරා ගන්නැයි දේශපාලනඥයන්ගෙන් හා සමාජ ප්‍රභූවරුන්ගෙන් ඇයද සිටින දිනය බවට පත් කෙරුණේය. නොබෝ කලකින් ලොව පුරා තන්බර්ග් දැරියගේ අනුගාමික පිරිස, හය ලක්ෂ දොළොස් දහස දක්වා වැඩුණේය.

ඇයගේ චරිතයෙහි ද පෘථුල වෙනෙසක් සිදු විය. පෙර කාල වල මම උගෙන ගනිද්දී හෝ පංති මිතුරන් සමග සිටියදී වැඩිපුර කතා බහ නොකළෙමි. දැන් මම මුළු ලොව හා සමගම කතා බහ කරමි. දහසය හැවිරිදි ග්‍රේටා තන්බර්ග් ජගත් පාරිසරික සටනේ මහ සෙනෙවියක වූයේ නොදැනුවත්ව පාහේය. 2019 වර්ෂයේ විශිෂ්ටතම පුද්ගලයා තෝරන, ඇතැම් ජාත්‍යන්තර ප්‍රකාශන විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය ඒ සම්මානය සඳහා තෝරා ගතහොත් මම කිසිසේත් විස්මයට පත් නොවන්නෙමි. ලොව බොහෝ පෙදෙස්වල පාසැල් දරු දැරියන් අතර මේ පරිසරය රැක ගැනීම සඳහා විස්මය දනවන සුළු උද්‍යෝගයක් උද්ගත් වී තිබීමත් ජගත් වාර්තාවකි. ජනාධිපති බැරක් ඔබාමා වැනි ශ්‍රේෂ්ඨයන්ගේ ප්‍රශංසා ලැබෙතත්, තන්බර්ග් වෙනසක් නැතිව සිය අරමුණ කරා ගමන් ගන්නීය. තන්බර්ග් බාලිකාව, ඉතාම පැහැදිලි ලෙස, දැඩි උද්වේගයකින් යුක්ත කරනු ලබන ප්‍රකාශනයක් වෙයි. මිහිතලය බේරා ගැනීම අද පටන්ම කළ යුතුවේ.

අපට ඉතිරි වී තිබෙන කාලය තුළ එය සම්පූර්ණ කළ යුතු වන්නේය. මිහිතලය පාරිසරික විනාශයෙන් රැකගනු සඳහා මානව වර්ගයාට ඉතිරි වී තිබෙන්නේ නව තිස් වසකැයි ඇතැම් විශේෂඥයෝ පවසති. මේ කාල පරිච්ඡේදය තුළදී මේ උදාර අරමුණ ඉටු කිරීම සඳහා මිහිතලවාසී එක් එක්කෙනාව උන්නදු කිරීම තන්බර්ග්ගේ පණිවුඩයේ හරයයි. ග්‍රේටා තන්බර්ග් බාලිකාව විසින් පරිසරය රැක ගන්නා පිණිස ලෝකයා අවදි කරන්නට දරන පරම පරිශ්‍රමය මෙහිදී ගෙන හැර දක්වන ලද්දේ අපගේ මේ සුන්දර ශ්‍රී ලංකා දේශයේ පරිසරය ආරක්ෂා කොට ගැනීමේ වගකීම පෙන්වා දෙනු පිණිසය. කාලාන්තරයක් මුළුල්ලේ අපගේ සුන්දර දිවයිනේ පරිසරය ද, පරිහානයට පත්වෙමින් පවතී. වන ආවරණය ශීඝ්‍ර වේගයෙන් අඩු වන්නේය. කාලගුණ විපරීත බහුලය. ජල් ගැල්මෙන් සිදු වන හානිය දෛනික සිද්ධියක් වැනිය. ගංගා නදී ආදියේ ජල දූෂණය, කෙමෙන් වැඩි වේ. පෙර යුග වලදී නිරන්තරයෙන් දක්නට ලැබුණු ජීව වර්ග හා ශාක වර්ග නැති වී ගොස්ය.

ශ්‍රී ලංකාවේ පරිසරික පරිහානිය පිළිබඳව දරුවන්ට කියා දෙමින් පරිසරයට හිතැති ජීවන ශෛලියට ඔවුන් පුරුදු කිරීම, අපගේ අධ්‍යාපනයෙහි මුඛ්‍ය ස්ථානයක් ලද යුතු අංශ වෙති. අපගේ දරුවන්ගේ අධ්‍යාපනය බාර විශිෂ්ට ආචාර්ය පිරිස, අපගේ නාගරික පෙදෙස් වල පිහිටි විද්‍යා ආයතනවල සතර හදාරන දරුවන්, පරිසරය නිරීක්ෂණය කිරීමේ විශේෂ චාරිකා වලට වරින් වර වරින් වර කැඳවාගෙන යෑම අද අතිශයින්ම වටනා පාරිසරික ක්‍රියාදාමයක් සේ දැකීම ඉතා උචිතය. දරුවන් යම්කිසි ගම්මානයකට කැඳවාගෙන යනු ලබන්නේ නම් ඒ පියසේ වයෝවෘද්ධ කෙනකුත් දරුවන්ගේ කණ්ඩායමට එකතු කොට ගැනීම අතිශයින්ම ප්‍රයෝජනවත්ය. මක් නිසාදයත් එදා තිබුණු පාරිසරික ධන නිධාන මේ වන විට පිහිරී ගොස් තිබෙන ආකාරය, ඒ වැඩිහිටියා විසින් ව්‍යක්ත ලෙස කියාදෙන හෙයිනි. පරිසරයට හානිදායි පුරුදු දරුවන්ගේ චර්යාදාමයට එක්වීම වළක්වනු පිණිස ඒ දරුවන්ගේ කුඩා ජීවිත හැඩ ගස්වාලීම අද ශ්‍රී ලංකාවේ පාරිසරික දූෂණය වළක්වාලීමේ ක්‍රියාවලියට එක්විය යුතු ප්‍රධාන අංග වෙති. ද්විතියික රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ සාගර අද අතිශයින්ම පෘථුල ලෙස ප්ලාස්ටික් දූෂණ තර්ජනයට ලක්ව ඇත්තේය. ග්‍රේටා තන්බර්ග් දැරිය තරමට කැප නොවුවත් අපගේ අති බුද්ධිමත් පාසල් දරු දැරියන්ද මිහිතලය වනසන පාරිසරික දූෂණයට එරෙහිව සටන් කරන්නට සැරසෙනු නියතය. ශ්‍රී ලංකාවේ විද්‍යායතනවල ආචාර්ය පිරිස සිය දරුවන් යහමගට යැවීම සඳහා විශේෂයෙන්ම කැපවූවන් වෙති. මක්නිසාද යත් දරුවන්ට අකුරු කරවීම පාරිශුද්ධ සාමයික වතාවතක් සේ සැලකීම මේ දේශයේ මුල් බැසගත් අධ්‍යාපන සම්ප්‍රදයක් හෙයිනි. විද්‍ය, කලා, ගණිත ආදී විෂය ධාරා උගෙන ගන්නා අපේ දරු දැරියන් පාරිසාරික සංරක්ෂණ ශික්ෂණයට පුරුදු කරන්නට අපගේ ආචාර්ය මණ්ඩලවල නිරත හැමදෙනාම ප්‍රවීණ බව කවුරුත් දනිති. මේ වන විටම අප දරු දැරියන් උද්‍යෝගිමත් ලෙස කැපවී පාරිසරික හානි වළක්වන්නට සැරසුනේ නැත්නම් කල්යන විට අප ප්‍රමාද වූවා වැඩියැයි සිතෙන්නට ඉඩ ඇත්තේය.

 

 


හැමදාටම ආදර්ශ පාඨයක්

 

“අප මේ පරිසරය ඊළඟ පරපුරෙන් ණයට ගත් නිධානයකි. එය ඉතා හොඳින් ආරක්ෂාකොට මතු පරපුරට පිරිනමන්න. පරිසරය විනාශ වීමෙන් මිහිතලය නැතිවිය හැකිබව තරයේම සිතට ගන්න”

 


පරිසරවේදිනියකගේ අනාවැකිය

පරිසර විනාශයේ වේගය අඩුකොට ගන්නට ගැටලු හතරක් නිරාකරණය කළ යුතුවේ. 

1.දිළිඳුකම තුරන් කළ යුතු වන්නේය.
2.අප බොහෝ දෙනකුගේ ධාරධෑය නොවන ජීවන ශෛලීය වෙනස් කළ යුතු වේ.
3.දූෂණය ඉවත් කළ යුතුය.
4.අනුක්‍රමයෙන් අධික වන ජනගහණය ගැන අප විසින් සිතිය යුතු වෙයි. අද ලෝක ජනගහණය කෝටි 770කි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනාවැකියට අනුව 2050
ජනගහනය කෝටි 970කි. මිනිසුන් දුක්වන බව ඇත්තයි. එහෙත් මට සිතෙන්නේ වෙනස් කොට ගැනීමට අවකාශයක් තිබෙන බවයි. මා තාමත් ශුභාවදීව සිටින්නේ ඒ නිසා යැයි ජගත් කීර්තිමත් පරිසර වේදිනි ජේන් ලැවික් ගූඩෝල් පවසා තිබේ.

 


 

ඇලිස්ගේ විස්මලන්ත චාරිකා සහ කැටපතක් තුළින්

ලෝකයේ පැරැණි පතපොත

සියවසකටත් අධික කාලයක් මුළුල්ලේ ළමා පාඨකයන් සැනසූ මේ ග්‍රන්ථ ලියන ලද්දේ ලුවීස් කැරල් විසින්ය. මේ නම චාලස් ලුට්විජ් ඩොජ්සන් නම් ලේඛකයා ගේ ආරූඪ නාමයයි. 1832 උපත ලැබ 1898 දී අභාවයට පත්වූ මේ ලේඛකයා පූජකවරයෙකි. බි්‍රතාන්‍ය ජාතික මේ ළමා කතා රචකයා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ උසස් ගණිතය පිළිබඳ කථිකාචාර්ය වරයෙක් වූයේය. එතුමාගේ මේ ඇලිස්ගේ විස්මලන්ත චාරිකා සහ කැටපතක් තුළින් නම් ළමා පොත් මුළු ලෝකයේම ළමා පාඨකයන් ඉතා ආදරයෙන් වැළඳගත් ළමා කතාපොත්ය. සත්‍ය වශයෙන්ම මේ කතා කියන ලද්දේ “ඇලිස්” නම් දැරියක් උදෙසාය. ඒ බාලිකාව ඔක්ස්ෆර්ඞ් විද්‍යාලයේ ප්‍රධානියාව සිටි හෙන්රි ජෝජ් ලිඞ්ල් ගේ දියණියයි. මේ පොත් සිංහල භාෂාවටද නඟා ඇත්තේය. අපේ දේශයේ දරුවන් විසින් පරපුරෙන් පරපුරට කියවිය යුතු රසාලිප්ත ළමා ප්‍රබන්ධ වශයෙන් මේ නිර්මාණ නම් කළ යුතුවෙයි.


RECOMMEND POSTS

RELATED POSTS