ජපානයේ අධිරාජ පදවියේ මහා වෙනසක්: නරුහිතෝ අධිරාජයා බලයට



 

“සමස්ත ලෝක ඉතිහාසයේම අසහාය විභූතියකින් හෙබි අධිරාජ්‍ය පාලනයක් පවත්නේ ජපන් දේශයේයි. ඒ විශිෂ්ට දේශයේ ඉපැරැණි සම්මුතියට අනුව ජපානයේ අධිරාජ පරම්පරාව පැවත එන්නේ අමතෙරසු ඔමි කමි නම් සූර්ය දේවතාවියගෙනි. ඒ අධිරාජ්‍ය පාලනය හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර රටාව තරම් සංකීර්ණ වතාවත් පද්ධතියක් ලොව වෙන අන් කිසිම දේශයක් සතුව නොමැත. එහෙත් මුළු ලොවම විස්මයට පත් කරමින් ජපාන අධිරාජ්‍ය පාලනයේ අපූරු වෙනසක් මේ දිනවල සිදුවේ. එහි ප්‍රතිඵලය ලොව හමුවට පත්වන්නේ 2019 මැයි පළමුවනදායි.”


සම්ප්‍රදායික ජපාන අධිරාජ පරපුරේ 125 වැනියා අකිහිතෝ අධිරාජයායි. එතුමා ජපානයේ අධිරාජ පදවියට පත්වූයේ එතුමාණන්ගේ පියාණන් වූ හිරෝහිතෝ අධිරාජයාගේ ඇවෑමෙනි. හිරෝහිතෝ අධිරාජයාගේ ප්‍රතාපවත් බව ඉතිහාසගතව ඇත්තේය.


 ඒ විභූතියට එක් සාධකයක් මෙසේය.


“ටයිම්” නම් ඇමෙරිකානු ප්‍රවෘත්ති සඟරාවේ මුල් පිටුවෙහි ඒ අධිරාජයාගේ රූපය පළවිය. එහිදී ඒ “ටයිම්” සඟරා ප්‍රකාශකයෝ පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළහ. එහි කියැවූයේ මෙයයි.


“මේ සඟරාව හැමවිටම මේසය මත තැබිය යුත්තේ රූපය උඩු අතට තිබෙන ආකාරයටයි. අධිරාජයාගේ රූපය මත කිසිවක් නොතබන්න.”


ඒ හිරෝහිතෝ අධිරාජයාගේ පුත් අකිහිතෝ කුමරා 1989 ජනවාරි මාසයේදී ජපාන අධිරාජ පදවියට පත්විය.


අද ජපානයේ අධිරාජ්‍යයීය පාලනයෙහි ප්‍රබල වෙනසක් කරනු ලබන්නේ ඒ අකිහිතෝ අධිරාජයා විසිනි. ඒ අධිරාජයා 2019 අප්‍රේල් තිස්වනදා සිය අධිරාජ පදවියෙන් ඉල්ලා අස්වෙයි.
මෙය ජපාන අධිරාජ ඉතිහාසයේ ප්‍රබල වෙනසක් වන්නේ එහි අධිරාජවරු පදවියෙන් ඉල්ලා අස් නොවන හෙයිනි. ඔවුහු ජීවිතාන්තය තෙක්ම ඒ පදවියේ සිටිති. එහෙත් ජපානයේ 125 වන අකිහිතෝ අධිරාජයා විශේෂ නීතියක් යටතේ පදවියෙන් ඉල්ලා අස්වන්නේය. මීට පෙර එවැනි අස්වීමක් සිදුවූයේ අවුරුදු 200කට ඉහතදීය.


මෙසේ ජපානයේ දීර්ඝ කාලීන අධිරාජ ඉතිහාසයෙහිදී තමන්ට පදවියෙන් ඉල්ලා අස්වන්නට හේතුකාරක වූ සිද්ධි දක්වමින් අකිහිතෝ 125 වන අධිරාජයා කියා සිටින්නේ තමා මේ ප්‍රතාපවත් අධිරාජ පදවියෙන් ඉල්ලා අස්වන්නේ සෞඛ්‍ය හේතු නිසා බවයි.


අකිහිතෝ අධිරාජයාගේ පාලන සමය ආරම්භ වූයේ 1989 ජනවාරි හත්වනදායි. විභූතිමත් නිල මෞලි මංගල්‍යය පැවැත්වෙන්නේ 1990  නොවැම්බර් 12 වන දිනදීය. මෙසේ අකිහිතෝ අධිරාජයා අවුරුදු තිහක් පුරා ජපානය පාලනය කළේය.


අකිහිතෝ කුමරු උපත ලැබුවේ 1933 දෙසැම්බර් 23 වන දිනයේදීය. ඒ නිසා ඓතිහාසික විප්ලවයකින් එතුමා සිය ප්‍රතාපවත් අධිරාජ පදවියෙන් ඉල්ලා අස්වනවිට එතුමාගේ වයස අවුරුදු 85යි මාස හතරකි.


අකිහිතෝ අධිරාජයා කුඩා කල පටන්ම දේවත්වයෙන් සලකනු ලැබූවෙකි. ජපාන අධිරාජ්‍යයේ හිමිකරු වශයෙන් එතුමා උපන්විට ඒ දේශය පුරාම ඉමහත් උද්‍යෝගයක් ඇතිවිය. එතුමාගේ උපත පිළිබඳ මහා ප්‍රසාදය දක්වන ගීතයක් ද නිබන්ධනය විය.


අධිරාජ්‍යයීය සම්ප්‍රදායයෙන් බැහැර වෙමින් අකිහිතෝ කිරුළ හිමි කුමරු වයස හයේදී තෝකියෝවේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබුවේය.


කිරුළ හිමි අකිහිතෝ කුමරු සිය විවාහයේදීත් ඉපැරණි අධිරාජ්‍යයීය සම්ප්‍රදායයෙන් බැහැර වූයේය. එතුමාගේ විවාහය අතිශයින් ළගන්නා පෙම් කතාවකි.


අකිහිතෝ කුමරු පෙම් බැඳ ගත්තේ මිචිකෝ ෂෝඩා නම් සූරූපී යුවතිය හා සමගයි. ඒ ලලනාව රාජකීය පවුලකට අයත් නොවූවාය. අතිශයින් ඉසුරුමත් වාණිජ පරපුරකට අයත් ඒ ලාලනිය අධිරාජ කිරුළ හිමි අකිහිතෝ කුමරුගේ සිත දිනා ගත්තාය.


කුමරු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියදී වරක් මේ ලාලනිය කුමරුගේ නළලේ දහදිය පිස දැමූ ආකාරය වැනි සිද්ධි ජගත් ජනශ්‍රැති සම්ප්‍රදායට එක්වූයේය.


අධිරාජ කිරුළ හිමි අකිහිතෝ කුමරුත් මිචිකෝ ෂෝඩා මෙනවියත් අතර විවාහය සිදුවුණේ 1958 දීය. ඒ වනවිට කුමරුගේ වයස 25 යි. මනාලිය සිව් විසි හැවිරිදි වූවාය.
ශත වර්ෂ 26ක ඉතිහාසයෙහි ජපානයේ අධිරාජ කිරුළ හිමි කුමරුගේ මනාලිය වූ ප්‍රථම රාජකීය නොවන ලලනාව වූයේ මිචිකෝ ෂෝඩා යුවතියයි.


මේ සම්භාවනීය විවාහය සිදුවූයේ 1959යේ අප්‍රේල් මස දහවනදායි. අධිරාජ්‍ය මාලිගයේ විශේෂ සිද්ධස්ථානයක පැවැත්වුණු ඒ විවාහ මංගල්‍යොත්සවයට සහභාගි වූයේ මනාල යුවළ හා පූජකතුමකු පමණි. ඒ චාරිත්‍රය සම්ප්‍රදායට ගරු කිරීමක් වශයෙන් එසේ ඉටු කෙරිණි.


එදා පටන් අද වනතෙක්ම මේ අධිරාජ්‍යයීය පවුලේ ජීවිතය අතිශයින්ම ස්ථාවර සුහදතාවකින් පැවැත්වේ.


අකිහිතෝ අධිරාජයා මෙසේ විප්ලවීය ආකාරයෙන් විශ්‍රාම ගන්නට අදහස් කරන ලද්දේත් වඩාත් සන්සුන් ලෙස සිය දිවි පෙවෙත ගත කරමින් සිය සෞඛ්‍යය රැක බලා ගන්නට තීරණය කළ හෙයින් විය යුතුය.


ප්‍රතාපවත් ජපන් අධිරාජ පරපුරේ 125 වන අධිරාජ්‍යයීය පාලකයා වන අකිහිතෝ ජන ශාස්තෘවරයා මෙසේ පදවියෙන් ඉවත්වීම හා සමගම ජපානයේ නව පාලන යුගයක් උදාවන්නේය.


අධිරාජ්‍යයීය ජපන් පාලන සම්ප්‍රදායේදී නව අධිරාජ්‍යවරයකුගේ සම්ප්‍රාප්තිය සලකනු ලබන්නේ නව යුගයක උදාව වශයෙනි. ඒ නිසා 2019 මැයි පළමුවනදා සිට ජපන් දේශයේ අලුත් පාලන පරිච්ඡේදයක් ආරම්භ වන්නේය.


2019 මැයි මස පළමුවනදා ජපානයේ අධිරාජ්‍යයීය සිහසුනට පත්වන්නේ දැනට නරුහිතෝ කුමරු සේ ප්‍රසිද්ධ නරුහිතෝ අධිරාජ්‍යයාය. එතුමා ජපානයේ අධිරාජ සම්ප්‍රදායයේ 126 වැන්නායි.


ජපානයේ නරුහිතෝ අධිරාජයා වශයෙන් ලොව පුරා පිළිගැනෙන නව අධිරාජයා උපත ලැබුවේ 1960 පෙබරවාරි 23 වනදායි. ඒ නිසා එතුමන්ගේ අද වයස අවුරුදු පනස් නවයකි.
එතුමන්ගේ අධිරාජිනිය මසාකෝ ඔවාදා දේවියයි.


“විසි එක්වන සියවසේ කුමාරිකාවක්” වශයෙන් කීර්ති නාමයක් ලැබ සිටින මසාකෝ ඔවාදා අධිරාජිනිය එතුමිය එදා අධිරාජ්‍ය කිරුළ හිමි කුමරුව සිටි නරුහිතෝ කුමාරයා විවාහ කොට ගත්තේ 1993 ජුනි මස නවවනදායි. එදා එතුමිය ජපානයේ අධිරාජ කිරුළ හිමි කුමරුගේ මනාලිය වූවාය.


2019 මැයි පළමුවනදා එතුමිය ජපානයේ 126 වන අධිරාජයා බවට පත්වන නරුහිතෝ අධිරාජවරයාගේ අධිරාජිනිය වන්නීය. එදා ඔවුනොවුන්ගේ අත්ගෙන මේ යුවළ විවාහ ප්‍රාප්තවෙද්දී මනාලියගේ නෑයෙක් මෙසේ පැවැසුවේය. “මේ උදාරතර විවාහයට ප්‍රධාන හේතුවක් නම් කුමාරයා විසින් තමන්ට දැක්වෙන ප්‍රේමයේ උණුසුම ඇයගේ අධ්‍යාත්මයට දැනීමයි.”


අධිරාජිනිය එම ගරු ස්ථානය ලබනවිට එතුමිය අතිශයින්ම බුද්ධිමත් ලෝකය පිළිබඳ පෘථූල අවබෝධයකින් හෙබි සුවිශේෂී යුවතියක් වශයෙන් නම් දරා සිටියාය. විවාහ වනවිට එතුමිය ජපානයේ විදේශ අමාත්‍යාංශයේ නියුක්තව සිටියාය.


නව අධිරාජිනිය උසස් ශාස්ත්‍රීය ඥානයකින් යුක්තය. එතුමිය හාවඞ් මහා විශ්වවිද්‍යාලයෙන් ගෞරවෝපාධි ලබා සිටින්නීය.


ඔසාකෝ ඔවාඩා අධිරාජිනිය ජපානයේ සමුරායි පෙළපතට අයත් පවුලක උපත ලැබූ කාන්තාවකි. එතුමිය එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් ද සතර හැදෑරුවාය.
නරුහිතෝ කුමරු ද එම විශ්වවිද්‍යාලයේම කලක් උගෙන ගත්තේය. දෙදෙනා අතර ප්‍රේමය ලියලා වැඩුණේත් ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේදීය.


ජපානයේ අනාගත අධිරාජයාත්, අධිරාජිනියත් අතර විවාහ මංගල්‍යය සිදුවූයේ 1993 ජුනි මස නවවන දිනදීය. අතිශය සංකීර්ණ වතාවත් රටාවක් සහිතව සිදුවූ ඒ රාජකීය විවාහ මංගල්‍යය අත්‍යයන්තයෙන්ම රහසිගත චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් සහිත වූයේය.


මනාලිය රාජකීය මංගල 12ක් පැළඳ සිටියාය.


මෙවැනි සිරිත් විරිත් වෙසෙසින්ම අවශ්‍ය වන්නේ ඒ උත්සවයේ පූජනීයත්වය මනාල යුවලගේ අධ්‍යාත්මයෙහි ස්ථාවර ලෙස තැන්පත් කරනු පිණිසය.
විවාහ මංගල්‍යයෙන් අවුරුදු 25කුත් මාස 11කට පසුව මේ රාජකීයයන් දෙදෙනා අධිරාජ්‍යයා හා අධිරාජිනිය බවට පත්ව සිටිති.


අලුතෙන් ජපානයේ අධිරාජ පදවිය ලබන නරුහිතෝ පාලකයා ජපාන අධිරාජ පෙළපතේ 126 වැන්නායි.


ශ්‍රී ලංකාවේ රජ පෙළපත මහාවංශ චූලවංශ ග්‍රන්ථයෙහි ලියා තිබෙන හැටියට ප්‍රධාන පාලකයන් 186 දෙනකුගෙන් සමන්විතය.

 

“රයිවා” නමින් හැඳින්වෙන සංහිඳියාවේ සංකේතය ප්‍රදර්ශනය කරමින්

 


2019 මැයි පළමුවනදා ඇරඹෙන 126 වන නව අධිරාජ යුගය වටා සංකීර්ණ චාරිත්‍ර වාරිත්‍ර රටා සමූහයක් බැඳී ඇත්තේය.


ඉන් ප්‍රධාන වන්නේ නව අධිරාජ පාලන සමය සඳහා සුදුසු නමක් සම්මත කොට ගැනීමයි. මේ නම සෙවීමේ උද්‍යෝගයෙන් පසුගිය දිනවල මුළු ජපානයම ඇළලී ගියේය. අගමැති කාර්යාලයේ විශේෂ ස්ථානයක ඒ යෝජිත නම් සලකා බැලීමේ කමිටුවක් රැස්වූයේය. මෙය ජපානයෙන් බැහැර දේශවල අයට පහසුවෙන් තේරුම්ගත හැක්කක් නොවේ.
අවසානයේදී මේ 126 වන අධිරාජ සමය සඳහා තෝරාගත් නාමය “රයිවා” යන්නය. එහි අරුත “සන්සිඳියාව”.


මේ පදය දැන් ජපානය පුරා විවිධ භාණ්ඩවලට ආයතනවලට දෙනු ලැබේ. එය අලුත් මන්ත්‍රයක් වැනිය. මෙය නරුහිතෝ අධිරාජයාගේ නව පාලන යුගය හඳුන්වන පදයයි. මේ යෙදුම සොයාගෙන තිබෙන්නේ අවුරුදු 1200කට පමණ පෙර ජපානයේ ලියැවුණු “මන්යෝෂු” නම් පද්‍ය සංග්‍රහයෙනි.


නරුහිතෝ අධිරාජයාගේ පාලන සමය මුළුල්ලේ භාවිත වන මේ පදය “අපගේ දේශයේ සම්භාවනීය සංස්කෘතිය හා අඛණ්ඩ සම්ප්‍රදායයන් පිළිබිඹු කරන්නේ” යැයි ජපන් අගමැති ෂින් සෝ අබේ මහතා ප්‍රකාශ කරන්නේය.


සිරිලකවාසී අප අද කවර ප්‍රශ්න හා අර්බුද මැද්දේ සිටිය ද ජපානය විසින් ඇරඹෙන මේ නව නරුහිතෝ අධිරාජ යුගයට ආශිර්වාද කළ යුතුයි. ශ්‍රී ලංකා ජපාන අන්‍යොන්‍ය සුහදතාව ඉතා ඈතට විහිදෙන ඉතිහාසයක් සහිත වේ.


අලුතින් පත්වූ 126 වන ජපන් අධිරාජ තැන්පත් නරුහිතෝ පාලකයාගේ “සන්හිඳියා” යුගය ජපානයට මෙන්ම සකල ලෝකයටම නව සන්හිඳියාවක් සුහද සහජීවනයක් ගෙන එන උදාර යුගයක් වේවායි ආශිර්වාද කළ යුතු වේ.

 

 


ලොව දිගම පිඹුරා

මේ දිනවල ශ්‍රී ලංකාවෙන් ද ඉතා දිග පිඹුරන් පිළිබඳ කතා ඇසෙන්නේය.


ඒ සියල්ල මැද්දේ ලෝකයේ මෙතෙක් සොයාගත් දිගම පිඹුරා පිළිබඳ පුවත ජාත්‍යන්තර මාධ්‍යවලින් ප්‍රකාශ වේ.


උගේ දිග අඩි 27 කි. ඌ සොයාගෙන තිබෙන්නේ ආරක්ෂිත පරිසර පෙදෙසකිනි. එය පිහිටියේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේයි. මේ පිඹුරු ගෑනු සතාගේ බර රාත්තල් 140 කි. උගේ උදරයෙහි බිත්තර 73ක් වැඩෙමින් තිබුණු බව ද සඳහන් වේ.
මේ දිග පිඹුරන් ගැවසෙන සමයක් ද?

 

 

 

 

 

 

 

 

 

 


ප්‍රංශයේ මහා සංස්කෘතික සිද්ධස්ථානයක ඇවිළුණු ගින්න

 

ප්‍රංශයේ අගනුවර වන පැරිස්හි පිහිටි නෝත්‍රදාම් ආසන දෙව්මැඳුර, සකල ලෝකයාගේම සම්මානයට පාත්‍රවන අසහාය සංස්කෘතික නිධානයකි. එය නැරඹීමට වර්ෂයකට කෝටියක් පමණ දෙනා එළඹෙති.


එහි අන්තර්ගත කැටයම් පිළිම ආදිය අගය කළ නොහෙන තරම්ය. එහි කොත සහ පියස්ස අදිසියේ හටගත් මහා ගින්නකින් දැවී ගියේය. ඇතැම් චිත්‍ර හා මූර්ති ද හානියට ලක්වූයේය. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව තහවුරු වෙයි.


එහෙත් යම්කිසි අතපසුවීමක් නිසා මේ අදිසිය හටගත්තේ දැයි තාමත් පරීක්ෂා කෙරේ.


මුළු ලොවම කම්පා කළ මේ සංස්කෘතික විනාශයෙන් සිදුවූ පාඩුව හරිගස්සා ගනු පිණිස ලොව පුරා බොහෝ දෙනා ආධාර සපයති. මෙවැනි අසහාය සංස්කෘතික නිධානයක් කවර රටක තිබුණ ද එය මුළු මානව වර්ගයාටම අයත්ය. අපගේ දේශය විසින් ද ඒ සත්‍යය උගත යුතු වේ.

 


විශ්වයේ අඳුරු ආවාට

 

විශ්වයේ අඳුරු ආවාටයක ඡායාරූපයක් ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි. එය පිහිටියේ එම් 87 තාරකා පටලයේයි. එය තිබෙන්නේ ආලෝක වර්ෂ කෝටි 40 ලක්ෂයකට ඈතිනි.

 


වික්ටර් හියුගෝ නෝත්‍රදාම්හි කුදා නවකතාව

පැරැණි පොතපත

 

නෝත්‍රදාම් සිද්ධස්ථානයට ගින්නෙන් සිදුවූ හානිය ගැන කම්පාවන ලෝකයට අනිවාර්යයෙන්ම මතක්වන කීර්තිමත් ප්‍රබන්ධ කතාවක් ඇත්තෝය. එය ඉංගිරිසියෙන් නම් කෙරෙන්නේ “හන්ච් බැක් ඔෆ් නෝත්‍රදාම්” (නෝත්‍රදාම්හි කුදා) යන්නෙනි.


මේ ග්‍රන්ථය කරන ලද්දේ වික්ටර හියුගෝ නම් ශ්‍රේෂ්ඨ ගත්කතුවරයා විසිනි. ප්‍රංශ ජාතික වික්ටර් හියුගෝ 1802කේ උපත ලබා 1885 දී අභාවයට පත්වූයේය.
ඉතා බහුල වශයෙන් ග්‍රන්ථකරණයේ යෙදුණු ඔහු සැහැලි නාට්‍ය ආදිය රචනා කළ විචක්ෂණයෙකි.


ඔහුගේ ප්‍රබන්ධ කතා අතුරින් ඉතාම ජනප්‍රිය කෘතිය නම් “නෝත්‍රදාම්හි කුදා” නම් ප්‍රබන්ධ කතාවයි. දැනට අසන්නට ලැබෙන පුවත්වලට මේ දිනවල ඒ කෘතිය යළිත් වරක් බොහෝ සේ අලෙවි වන්නට පටන්ගෙන ඇත්තේය. මෙයට හේතුව නොබෝදා නෝත්‍රදාම් දෙව් මැඳුරේ හටගත් භයානක ගින්නය.


වික්ටර් හියුගෝ විසින් කරන ලද ඒ ග්‍රන්ථයෙහි ප්‍රධාන චරිතය විරූපීකයෙකි. ඔහු එස්මරල්ඩා නම් සුරූපී නාටිකාංගනාව පැහැරගෙන නෝත්‍රදාම් දේවස්ථානයේ උඩුමහලෙහි සැඟවී සිටී.


ඒ සුරූපී කාන්තාව බේරා ගන්නට දැරෙන ප්‍රයත්න ආශ්‍රිතව තැනුණු එම ප්‍රබන්ධ කතාවෙහි මේ නෝත්‍රදාම් දෙව් මැඳුර පිළිබඳවත් විස්තර කථන අඩංගුයි. අලුතින් ඉතා පෘථූල ලෙස අලෙවි වන මේ ප්‍රබන්ධ කතාවේදී වික්ටර් හියුගෝ ඒ ශ්‍රේෂ්ඨ දෙව් මැඳුර දිරාපත්වන ආකාරය පිළිබඳව ද ලියා තබා ඇත්තේය. කිසිමෝඩෝ නම් කුදාගේත් තවත් බොහෝ දෙනකුගේත් සිත් ඇද ගත් එසමරල්ඩා නිළිය මෙහි ප්‍රධාන චරිතය වන්නේය. අද හිටිහැටියේ මේ කතාව ජනප්‍රිය වී ඇත්තේය.

 


පල්ලියේ ශබ්ද විකාශ යන්ත්‍රය බලෙන් අරන් ජලයට වස දාලයි ප්‍රකාශ කරලා


සැකකරුවෝ දෙදෙනා ලබන 6 දා තෙක් රිමාන්ඞ්


(නිමන්ති රණසිංහ)


ජලයට වස මිශ්‍ර වී ඇති බවට කිඹුලාඇල මුස්ලිම් පල්ලියේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ප්‍රකාශයක් කර මහජන කැලඹීමක් ඇති කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජි සිල්වා මහත්මිය පෙරේදා (23) නියෝග කළාය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අංක 162/255 මාදම්පිටිය පාර, කොළඹ 15 පදිංචි සැඞ්වින් රම්සන් ඇඩම්ස් නොහොත් ‘සැඩී’ (48) සහ නො. 162/486, මාදම්පිටිය පාර, කොළඹ 15 පදිංචි මොහොමඞ් ජබ්ලීන් පාහිම් (39) නමැත්තන්ය.


ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මහජන කැලඹීමක් ඇතිකරවමින් අසත්‍ය තොරතුරු පතුරවමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් සඳහන් කළේය.


මෝදර කිඹුලාඇල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයක් බලෙන් පාවිච්චි කරමින් මෙම සැකකරුවන් දෙදෙනා ජලයට වස මිශ්‍ර වී ඇති බව සඳහන් කරමින් මහජනතාවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවත් එම තොරතුරු ශ්‍රවණය වූ ගම්වාසීන් තුන්සිය දෙනකු පමණ කැලඹී කලබලකාරී තත්ත්වයක් ඇතිවූ බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


එමෙන්ම, වැලිකඩ පොලිසිය ද පෙරේදා (23) සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හිතාමතා ක්‍රියා කරමින් මහජන කැලඹීමක් ඇති කළැයි සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. 


වැලිකඩ ප්‍රදේශයේ නවතා තිබූ වාහනයක අයිතිකරුවකු නොමැති බවට මහජනතාවගේ දැනුම්දීම මත පැය තුනකට අධික කාලයක් සෝදිසි මෙහෙයුමකින් පසුව මෙම සැකකරු එම වාහනය තමාගේ බවට සඳහන් කිරීම මත හිතාමතා මහජන කැලඹීමක් සිදුකළැයි පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. අනෙක් සැකකරු මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ද එකිනෙකට නොගැළපෙන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වය මත ඔහු ද රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණ නියෝග නිකුත් කෙරිණි. 


ඒ අනුව මෙම සැකකරුවන් සිවුදෙනාම ලබන 6 වැනිදා තෙක් රක්ෂිත භාරයට පත් කර ඇත. 


RECOMMEND POSTS

RELATED POSTS