• 2017-02-22 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616

චීන ආර්ථිකය බිඳ දැමීමට ට්‍රම්ප්ට හැකි වෙයිද



ජනාධිපති ඔබාමා තනතුරෙන් නික්ම යන විට ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන පුරුකක් වූ ආසියාව දෙසට හැරීමේ උපාය මාර්ගයේ කඩ ඉමක් වන දක-ුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත්වල අයිතිය සහ ඒ අවට මුහුදු කලාපයේ චීන ආධිපත්‍යයට අභියෝග කිරීමේ ස්ථාවරය තව තවත් දුර්වල වන බව පැහැදිලිය. නැගී එන චීනයේ ආර්ථික සහ හමුදාමය බලය යටපත් කිරීම හෝ හීලෑ කිරීම අරමුණු කර ගත් මෙම උපාය මාර්ගික වැඩ පිළිවෙළ වැඩි වශයෙන්ම පිලිපීනය සහ වියට්නාමය එම දූපත්වල අයිතිය පිළිබඳව චීනය සමග පවතින ආරවුල පදනම් කර ගත් එකකි. බ්‍රෑනායි, මැලේසියාව සහ තායිවානය යන රටවල් ද මෙම දූපත්වලට අයිතිවාසිකම් ඉදිරිපත් කරන නමුත් වඩාත් බලවත්ව එය අවධාරණය කරන රටවල් දෙක වූයේ පිලිපීනය සහ වියට්නාමයයි. ජනාධිපති ඔබාමා ආසියාවට හැරීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට මූලික වශයෙන් අවධානය යොමු කෙළේ මෙම රටවල් දෙක කෙරේය. 

එහෙත් ඔබාමාගේ පාලනය අවසන්ව ට්‍රම්ප්ගේ සමය උදාවෙන්නේ ඒ පදනම් දෙකම එක්සත් ජනපදයට අහිමිවීමේ අනතුරත් සමගය.

එක්සත් ජනපදයේ ආසියානු කලාපයේ ප්‍රධාන සහායකයා වූ පිලිපීනය, හේග් නගරයේ අන්තර්ජාතික විනිශ්චය සභා අධිකරණයෙන් මෙම අර්බූදය ගැන තීරණයක් ලබා ගැනීමට යොමු කරන ලද්දේ ද එක්සත් ජනපදය විසිනි. එම අධිකරණයෙන් ස්ප්‍රැට්ලි දූපත් අසළ මුහුදේ අයිතිය පිළිබඳව චීනයේ අයිතිවාසිකම් ඉවත දැමීමත් සමග දකුණු චීන මුහුදේ චීන බලයට අභියෝග කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය පදනම් කර ගත් අවස්ථාවක් ලැබුණි. එහෙත් පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් රොඞ්්‍රගෝ ඩුටේර්ටේ එම තීරණය නොසලකා චීනය සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීමටත් නැවතත් චීනය සමග ආර්ථික හා දේශපාලන සබඳතා තර කර ගැනීමටත් ඉදිරිපත් වූයේය. ඊට අමතරව එක්සත් ජනපදය සමග පවත්වන හමුදා සබඳතා අත්හිටුවන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් ද කෙළේය. කෙසේ වුවත් දැන් පිලිපීනය සහ එක්සත් ජනපදය අතර සබඳතා එහි ඉතිහාසයේ පෙර කිසිදා නොවු ආකාරයට පිරිහී ඇත. 

දැන් වියට්නාමය ද පිලිපීනය ගත් ගමන් මගම ගැනීමට සූදානම් බව පෙනේ. පසුගිය සතියේ දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් න්ගුයෙන් පූ ට්‍රොන්ග් චීනයේ දින හතරක සංචාරයක යෙදුණේය. මෙම සංචාරයේ දී ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ ජනාධිපති සි ජින්පින් සහ චීන අගමැති ලි කෙකුයින්ග් හමු වී කරන ලද එම සාකච්ඡා පලදායක බව ප්‍රකාශ කෙළේය. සංචාරය අවසානයේ දී පසුගිය සෙනසුරාදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරිණ. එහි මූලික වශයෙන් අවධානය යොමු වූයේ සාගර කලාපය පිළිබඳ ඇති වෙනස් මත කළමනාකරණයට සහ දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට දෙපාර්ශවයම කැප වී ක්‍රියාකිරීමට ඇති එකඟතාව කෙරේය. 

එමෙන්ම සාකච්ඡා මාර්ගයෙන් දැනට දෙරට අතර පවතින ගැටලුවලට මූලික සහ දීර්ඝ කාලීන විසඳුම් සොයා ගැනීම සඳහා දෙපාර්ශවයම දකුණු චීන මුහුදු ප්‍රදේශයේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳ ඇති කර ගත් ප්‍රකාශනය (DOC) ක්‍රියාත්මක කිරීමටද එකඟතාවක් ඇති කර ගැනිණ. මෙම එකඟතාව දෙපාර්ශවයේම අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියාත්මක කිරීමටත් එහි දී මතුවන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට යාන්ත්‍රණයක් පිහිටුවීමටත් එකඟ වී ඇත.  

චීනය වියට්නාමයේ ප්‍රධානම වෙළඳ ගනුදෙනුකරු වන අතර එම තත්ත්වය වඩාත් දියුණු කර ගැනීමට සහ දැනට චීනයේ වාසියට ඇති වෙළඳ පරතරය පියවීමට සුදුසු වැඩ පිළිවෙළක් ද සාකච්ඡා වූ බව වාර්තා විය. සමහර වාර්තා අනුව වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ මෙම සංචාරයේ තවත් අරමුණක් වන්නේ මෙම වසරේ චීනයේ පැවැත්වීමට නියමිත වෙළඳ කලාපය සහ මාවත (Belt and Road) සාකච්ඡාවට වියට්නාමයේ සහභාගිත්වය තහවුරු කර ගැනීම සහ එම වෙළඳ කලාපයට වියට්නාමයද ඇතුළත් කර ගැනීමට වැඩ පිළිවෙළක් සකසා ගැනීමය. වාර්තා වන ආකාරයට මෙම වැඩ පිළිවෙළ වියට්නාමය දක්වා ව්‍යාප්ත කිරීමට චීනය සූදානම් ය. 

චීන ප්‍රවෘත්ති සේවය වන ෂින්හුවා වාර්තා කරන ආකාරයට චීනය සහ වියට්නාමය යන රටවල් දෙකම දැනටමත් ගැටුම් ඇති කර ගැනීම වෙනුවට සහයෝගයෙන් සහ සම්මුතියෙන් කටයුතු කිරීමට පියවර ගනිමින් සිටිති. ඒ පිළිබඳව දක්වා ඇති සාර්ථක පියවරක් වන්නේ දකුණු චීන මුහුදේ බේයිබු බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ රටවල් දෙකම එකතුව තෙල් සහ ගෑස් සොයා ගැනීම සඳහා ගවේෂණ කටයුතු සිදු කිරීමය. ඇත්තෙන්ම වියට්නාමය තම සුවිශේෂ ආර්ථික කලාපය මුහුදු සැතපුම් 200 සීමාව දක්වා දීර්ඝ කිරීමට හේතු වූයේ මෙම ප්‍රදේශයේ ඇතැයි සැලකෙන තෙල් සම්පත්වල අයිතිය හිමි කර ගැනීම ය. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී අවට සාගර කලාපයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වියට්නාමයේ නාවික හමුදාවේ ශක්තිය වැඩ කිරීමට ද තීරණය කර තිබිණ. ඊට එක්සත් ජනපදය සහ ජපානය ආධාර ලබා දුන්නේ චීනයට අභියෝගයක් වශයෙනි. 

එහෙත් දැන් වියට්නාමය චීනයට අභියෝග කිරීමට වඩා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් ය. පසුගිය සෙනසුරාදා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය අනුව කලාපයේ සාමය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහා උපාය මාර්ගික සහයෝගිතාව වඩාත් ශක්තිමත් කිරීමට දෙරටම සූදානම් ය. ඉන් සරලව අදහස් වන්නේ දකුණු චීන මුහුදේ දූපත්වල අයිතිය සහ නාවික ගමනාගමනය ගැන ගැටුම්කාරී පිළිවෙතක් නොව සහයෝගය සහ සම්මුතිය ඇති කර ගැනීමට ඇති කැප වීමය. එය ඔබාමාගේ උපාය මාර්ගික වැඩ පිළිවෙළට හාත් පසින්ම වෙනස් ය. 

මෙය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ පසුගිය සතියේදීම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ද සිය නිල කාලය අවසන් වීමට පෙර වියට්නාමයේ සංචාරයක යෙදීමය. එම සංචාරයේ දී ඔහු වියට්නාම් යුද සමයේ වියට්නාමයේ යුද සිරකරුවෙකුව සිටීමේ අතීතය සිහිපත් කිරීමට අමතරව පසුගිය වසර කීපය තුළ ජනාධිපති ඔබාමාගේ මුල පිරීමෙන් දෙරට අතර වර්ධනය වූ වෙළඳ සහ ආර්ථික සබඳතා ද අවධාරණය කෙළේය. ඔහුට මෙම කරුණු අවධාරණය කිරීමට හේතු වූයේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ ඔබාමා අනුගමනය කළ වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට අදහස් පළවීමය.  ඔබාමාගේ ට්‍රාන්ස් පැසිපික් හවුල්කාරිත්ව ගිවිසුම (TPP) අත්හරින බව ට්‍රම්ප් සිය ඡන්ද ව්‍යාපාරයේ දී පැවසුවේය. ඒ අනුව වියට්නාමයට  ඇමරිකානු වෙළඳ පොළට පිවිසීමේ දී බාධා පැමිණෙනු ඇත. මීට වසර 20කට පෙර දෙරට අතර වෙළඳාම ඩොලර් දශ ලක්ෂ 451ක් වූ අතර දැන් එය ඩොලර් බිලියන 45 දක්වා වර්ධනය වෙමින් පවතී. ජනාධිපති ට්‍රම්ප් ගේ පාලනය යටතේ වෙළඳාම සම්බන්ධයෙන් සීමා පැන වුවහොත් වියට්නාමයට වෙනත් වෙළඳ පොළ සොයා ගැනීමට සිදුවන අතර එහිදී වැදගත් වන්නේ චීනයයි. 

නව පාලනය යටතේ වෙළඳාම සම්බන්ධයෙන් ඇති කරන වෙනස්කම් ගැන තමාට අනාවැකි කිව නොහැකි බව පැවසු කෙරි ආසියා පැසිපික් කලාපයේ සමෘද්ධියට සහ ස්ථාවරත්වයට එක්සත් ජනපදයේ ඇති කැපවීමේ වෙනසක් නොවනු ඇතැයි අවධාරණය කෙළේය. එමෙන්ම එක්සත් ජනපදය සහ වියට්නාමය දකුණු චීන මුහුදේ ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේත් ගුවන් යානා පියාසර කිරීමේත් නිදහස ගැන සමාන අදහස් දරන බව ද ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජනපදයේ නව පරිපාලනය ද එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඔහු විශ්වාසය පළ කෙළේය. 

නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රාජ්‍ය ලේකම් තනතුරට නම් කර ඇති රෙක්ස් ටිලර්සන් සෙනේට් සභාවේ කොමිටියක් ඉදිරියේ කරුණු දක්වමින් දකුණු චීන මුහුදේ නාවික ගමනාගමනයට සහ ගුවන් යානා පියාසර කිරීමේ නිදහසට චීනය බාධා කළ හොත් එය වැළැක්වීමට සන්නද්ධ බලය යෙදවීමට එක්සත් ජනපදය පසුබට නොවන බව පැවසුවේය. ඩොනල්ඞ් ට්‍රම්ප් ද චීනය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රකෝපකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට සූදානම්ය. අනෙක් අතට වාර්ෂිකව ඩොලර් ටි්‍රලියන 5ක පමණ වෙළඳාමක් සිදුවන දකුණු චීන මුහුදේ නාවික ගමන් මාර්ගය චීනයේ විදේශ වෙළඳාමට මෙන්ම ආරක්ෂාවට අතිශයෙන් වැදගත් වන බවද අමතක කළ යුතු නොවේ.

ඔබාමාගේ පාලනය යටතේ මෙන්ම නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ද එක්සත් ජනපදය චීනය තම ප්‍රතිවාදියෙක් සේ සලකා කටයුතු කිරීමට සූදානම් ය. චීනය සිය මුදල් ඒකකයේ වටිනාකම වංචාකාරීව පාලනය කරමින් වෙළඳාම හසුරුවන බවට චෝදනා කරන ට්‍රම්ප් එය වෙනස් නොකරන්නේ නම් ඊට එරෙහිව තම පාලනය කටයුතු කරන බවට පසු ගියදා පැවති පුවත් සකච්ඡාවකදී තර්ජනය කෙළේය. ඔහු අදහස් කරන එක පියවරක් වන්නේ එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා ඇති කර ගැනීමේ දී පදනමක් වූ ‘එක චීනය’ක් යන ප්‍රතිපත්තියෙන් බැහැරව තායිවානය සමග නැවත සබඳතා ඇති කර ගැනීමයි. ට්‍රම්ප් සිය ජයග්‍රහණයෙන් පසුව තායිවාන් ජනාධිපතිනිය ට්සායි ඉන්ග් වෙන් සමග දුරකතනයෙන් කතා කිරීම චීනයේ දැඩි විරෝධයට ලක්විය.
තායිවානය තම භූමි ප්‍රදේශයක් ලෙස සලකන චීනය එය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වීම කිසිසේත් නොඉවසන කරුණකි. 

තවත් වැදගත් කාරණයක් වන්නේ ලොව දෙවන විශාල ආර්ථිකය බවට පත්ව ඇති චීනය ප්‍රතිවාදියෙක් සේ සලකා කටයුතු කිරීම ලෝක ආර්ථික ස්ථාවරත්වයට සහ සමෘද්ධියට හේතු වන්නේ ද යන්නයි. දකුණු චීන මුහුදේ නාවික ගමනාගමනය සහ ගුවන් යානා පියාසර කිරීමේ නිදහස සහ ස්ප්‍රැට්ලි දූපත්වල අයිතිය ගැන එක්සත් ජනපදය විශේෂ උනන්දුවක් දක්වන්නේ චීනයේ විදේශ වෙළඳාම රඳා පවතින මුහුදු ගමන් මාර්ග පාලනය කිරීමෙන් එහි ආර්ථිකයට බලපෑම් කිරීමේ අරමුණෙනි. චීනය පැරණි සේද මාර්ගය මෙන් මධ්‍යම ආසියාව හරහා යුරෝපය හා මැද පෙරදිග දක්වා දිවෙන දුම්රිය සහ මහා මාර්ග පද්ධතියක් ඉදි කිරීමට සැලසුම් කර ඇත්තේ එවැනි තත්වයකට මුහුණ දීම සඳහාය.

දෙවැනිව චීනය අත් කර ගෙන ඇති ආර්ථික ශක්තිය අනුව එය දුර්වල කිරීම හෝ අඩපණ කිරීම ලෝක ආර්ථිකයට බලපාන ආකාරය ගැන චීනයට එරෙහිව නැගී සිටින එක්සත් ජනපදය හා අනෙකුත් රටවල් සැලකිල්ලට ගෙන ඇත්ද යන්නයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්තා පදනම් කර ගෙන චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති සේවය ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව එම රටවල් චීනය ගැන කර ඇත්තේ අවතක්සේරුවකි. 

මුළු ලෝකයම ආර්ථික අවපාතයකට මුහුණ දුන් පසුගිය වසරේ චීන ආර්ථිකය සියයට 6.6කින් වර්ධනය වූ අතර එය ලෝකයේ සමස්ත ආර්ථික වර්ධනයට කිසියම් රටකින් කරන ලද ඉහළම දායකත්වයයි. 2009 සිට 2015 දක්වා කාල පරිච්ඡේදය තුළ ලෝක ආර්ථිකයේ වර්ධනයෙන් හතරෙන් එකකට වග කියන්නේ චීනයයි. දැනට ලෝක ආර්ථිකයෙන් සියයට 17.3ක් වන්නේ ද චීනයේ ආර්ථිකයයි. පසුගිය වසරේ ලෝක ආර්ථික වර්ධනය සියයට 3.1ක් සේ ගණන් බලා ඇති අතර ඉන් සියයට 1.17ක් චීනයේ දායකත්වයයි. එම කාලය තුළ එක්සත් ජනපදයේ දායකත්වය සියයට 0.3ක් පමණි. සංවර්ධිත රටවල් සියල්ලේම දායකත්වය සියයට 0.8කි.

මෙවැනි පසුබිමක් තුළ චීනයේ ආර්ථිකය දුර්වල කිරීමේ හෝ අඩපණ කිරීමේ උත්සාහය සමස්ත ලෝකයටම බලපාන කාරණයකි. එහි හානිකර ප්‍රතිඵල ලොව සියලු රටවලට බලපානු ඇත.

වියට්නාමය එක්සත් ජනපදයේ අනුබලය ඇතිව මෙතෙක් අනුගමනය කළ එදිරිවාදි ප්‍රතිපත්තිය අත්හැර මිත්‍ර සම්බන්ධතා ඇති කර ගැනීම සැලකිල්ලට ගත යුතු වන්නේ මෙවැනි පසුබිමකය. චීනය සමගත් ඒ හරහා නව සේද මාර්ගය ඔස්සේ වර්ධනය වනු ඇතැයි සැලකෙන ආර්ථික හා වෙළඳ කටයුතුවලට සම්බන්ධවීමෙනුත් වියට්නාමයට ඵලප්‍රයෝජන රැසක් අත්කර ගත හැකි බව වියට්නාම් නායකත්වය තේරුම් ගන්නට ඇත. අනෙක් අතට චීනය ද මෙම රටවල් සමග දකුණු චීන මුහුදේ සාගර සම්පත් බෙදාහදා ගැනීමේ ප්‍රතිපත්තියකට එළඹීමට සූදානම්ය. එය ඔබාමා යටතේ අනුගමනය කළ සහ ට්‍රම්ප් අනුගමනය කිරීමට සූදානම් චීන ප්‍රතිපත්තිය පැහැදිලිවම අභියෝගයට ලක් කිරීමකි.


RELATED POSTS