චාල්ස් ඩාවින්ගේ පරිණාම මතය වෙනස් වෙයි



 

 


“මිනිසාගේ ඉතාම උදාර ගුණය නම්, සියලු ජීවින්ටම ආදරය දැක්වීමයි.
පැවැත සිටින්නේ අතිශයින්ම ශක්තිමත් ජීව විශේෂය නොවේ. එසේම, අත්‍යයන්තයෙන්ම බුද්ධිමත් ජීවියෝ ද නොවෙති. ස්ථාවරව, පැවත සිටින්නේ වෙනස්වීම්වලට යහතින් ඔරොත්තුදී සිටිය හැකි ජීව වර්ගයි.”
චාල්ස් (රොබට්) ඩාවින් (1809-1882) බි්‍රතාන්‍ය ජාතික ස්වභාවධර්ම විද්‍යාඥයා පරිණාමවාදය අනාවරණය කළ සෘෂිවරයා.


සකල ලෝකයාටම හැමදාම වටිනා ප්‍රධාන ප්‍රශ්නයක් ඇත්තේය. ඒ ප්‍රශ්නය නම් මිනිසා පහළ වූයේ කෙසේද යන්නයි. මේ ප්‍රශ්නයට මිනිස් ඉතිහාසයෙහි ප්‍රථමවරට විද්‍යාත්මක පිළිතුරක් දුන්නේ චාල්ස් ඩාවින් නම් ශ්‍රේෂ්ඨ විද්වතායි.


චාල්ස් ඩාවින් සිය පිළිතුර සම්පාදනය කළේ 1859 දී ඔහු විසින් ප්‍රකාශිත සුප්‍රසිද්ධ ග්‍රන්ථයෙනි. එහි නම ‘ස්වභාවික වරණය ඔස්සේ මානව සංස්කෘතියේ ප්‍රභවය’ යන්නයි.
(ඉංගිරිසියෙන් ‘ද ඔරිජින් ඔෆ් ස්පිශීස් බයි මීන්ස් ඔෆ් නැචුරල් සිලෙක්ෂන්’)


මෙහිදී චාල්ස් ඩාවින් කියා සිටියේ මිනිසා පැවති එන්නේ හතර ගාතයෙන් ගමන් කළ මහා වානරයන් විකාශනයවීම හේතුකොටගෙන යැයි කියාය.


ඔහු මේ මතය පළකළ කාලයේදී බි්‍රතාන්‍ය මහා අධිරාජ්‍යයක් පාලනය කළ පෞඪ දේශයක්ව තිබිණ. ඒ කාලයේ මිනිසුන් විශ්වාස කළේ, මානවයා දේව මූර්තියකින් හැඩගැසුණු ජීව වර්ගයකැයි කියාය. ඒ තරම් ආඩම්බරයෙන් සිටි ලෝකයකට, චාල්ස් ඩාවින් කියා සිටියේ මිනිසා පැවත එන්නේ මහා වානරයන්ගෙන් බවයි. සමහරු මේ මතය ගැන කෝපාවිෂ්ට වූහ. වෙසෙසින්ම කාන්තාවෝ මේ අදහසට දැඩිව විරෝධය පෑහ. සිය රූපය ගැන ආඩම්බර වන ඇතැම් ලලනාවෝ මෙසේ කීහ.


“මේක ඇත්තක් වෙන්ට බෑ. ඇත්තක් වුණත්, ඒ මිනිසාට මෙය නොකියා ඉන්න ඉඩ තිබුණා.”


චාල්ස් ඩාවින් සිය මතය පළකළේ ප්‍රධාන වශයෙන්ම ‘පොසිල’ වලින් ලැබෙන සාධකවලට අනුවයි. ‘පොසිල’ යැයි නම් කෙරෙන්නේ පාෂාණීභූත වූ (ගල් බවට පත්වූ) ජීව කොටස්ය. මිනිසුන්ගේ, සතුන්ගේ ශරීරය පොළොවෙහි තිබුණේ නම්, කල් යෑමේදී එය ගල් බවට පත්වන්නේය. මේ ගල් බවට පත්වූ වස්තු (පොසිල) ජීවින්ගේත්, මේ මිහිතලයේත් අන්ත පුරාණ ඉතිහාසය කීමේදී ඉතාම වටිනා සාධකයි (සාක්ෂියි).


චාල්ස් ඩාවින් සිය පරිණාමවාදයට පදනම් කොට ගත්තේ, ඒ කාලයේහි ඔහුට ලද හැකිව තිබුණු සාධකය. ඒ කාලයේ ඔහු ඒ සීමිත සාක්ෂි මගින් ඔහුගේ පරිණාමවාදය ඉදිරිපත් කළේය. 


අපි මෙහිදී වෙසෙසින්ම සලකා බැලිය යුතු කරුණක් වෙයි. අප වෙසෙන මේ මිහිතලය (පෘථිවිය නම් ග්‍රහලෝකය) අවුරුදු කෝටි 454කටත් වඩා පැරණියැයි විද්‍යාඥයෝ පවසති. ඒසා පැරණි මේ ග්‍රහලෝකයෙහි ඒකසෛල ජීවීන් ප්‍රථම වරට පහළ වූයේ මෙයට අවුරුදු කෝටි 360කට පමණ පෙරය. එහෙත් චාල්ස් ඩාවින්ගේ අවධානයට ලක්වූයේ හුදෙක් අවුරුදු කෝටි හතරක් පමණ වූ සුළු කාල පරිච්ඡේදයකි.


ජීවයේ පරිණාමය පිළිබඳ ඉතා ඈත ඉතිහාසයක් තිබිය හැකි බව චාල්ස් ඩාවින් දැන සිටියේය. එහෙත්, ඔහුගේ ජීවන සමයෙහිදී එවැනි පුරාණයක් පිළිබඳ හෝඩුවා ඩාවින්ට ලැබුණේ නැත. ඔහුගේ මහා වානරයන් සිටි හැටියේ මහපොළොවෙහි උද්ගත නොවූ බව ඔහු හොඳින්ම දැන සිටි නමුත්, ඒ දැවැන්ත පුරාණය ඔහුට අසුවූයේ නැත.
එවැනි පසුබිමකදී ඉතා නොබෝ කලකට පෙර ආදි පුරාණය පිළිබඳ විද්‍යාඥයන්ට හමුවූයේ සිතන්නටත් බැරි මහා නිධානයකි. ඒ ඉතාම පැරැණි පොසිලයකි.
චාල්ස් ඩාවින්ගේ පොතෙන් අවුරුදු 145කට පසුව විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද ඒ පොසිලයෙන් අනාවරණය වූ දේ චාල්ස් ඩාවින්ට දැනගත හැකිවූයේ නම්, ඔහු ඉමහත් විස්මයකින් ඇලලී යන්නට ඉඩ තිබුණේය.


ඒ අලුත්ම සොයාගැනීම නිසා, මුළු ලොවම මවිත විය. ඉන් ප්‍රකාශ වූයේ මානව වර්ගයාගේ ආරම්භයට හේතුකාරක වූ ජීවියා නම් ‘සිව්පා මත්ස්‍යයකු’ බවයි.


කිසිම කිසි ප්‍රබන්ධ කතා කලාකාරයකු විසින් හෝ නිර්මාණය කළ නොහෙන ආකාරයේ විස්මයාවහ සොයාගැනීමක් වූ මේ සිව්පා මත්ස්‍යයා පිළිබඳ පුවත, ලෝකයේ හැම මානවයකුටම අධි ත්‍රාසයක් දනවන කතාවකි.


එය මේ දේශයේ පාඨකයන් උදෙසා ඉදිරිපත් කිරීම අතිශයින්ම වටිනා මිනිස් යුතුකමකැයි මට සිතේ.


අපි මේ සොයාගැනීමේ සිද්ධියේ සුල-මුල සොයමු.


මෙයට වසර කීපයකට පෙර, ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ‘ආදි පුරාණ විද්‍යාව’ පිළිබඳ මහාචාර්යවරයෙක්, සිය කණ්ඩායම හා සමඟ ගවේෂණයක යෙදී සිටියේය. ඒ විද්‍යාඥයා නීල් ෂූබින් ය. 1960 දෙසැම්බර් 22 වන දින උපත ලද නීල් ෂූබින් විද්‍යාඥයා අද ජගත් සම්මාන රැසකින් පිදුම් ලද විද්වතෙකි.


ෂූබින් කණ්ඩායමේ පර්යේෂණ කටයුතු සිදුවූයේ, කැනඩා දේශයේ එල්ස් මියර් දිවයිනේ ‘බර්ඞ් ෆියොඞ්’ නම් ප්‍රදේශයේයි. මහාචාර්යවරයා ඒ ස්ථානයට නුදුරුව පිහිටි, ඉපැරණි ගල්තලාවක් කටුවකින් හාරමින් සිටියේය. ඔහු මේ කටයුත්තේ යෙදී සිටින විට, ඔහුගේ කණ්ඩායමේ කෙනෙක්, හදිසියේම අර කුමක්දැයි මහ හඬින් විමසුවේය. ඔහු පෙන්වා සිටියේ රතු පැහැති ගල් බිත්තියකි.


එසේ මහ හඬින් කෑගැසූ තැනැත්තා පෙන්වාලූ දේ පසුව පරීක්ෂාවට ලක්වූයේය. එහිදී ඔවුන්ට පැහැදිලිව අවබෝධ වූයේ ඒ ඔවුන් දුටුයේ මෙයට අවුරුදු තිස්හත් කෝටි පනස් ලක්ෂයකට පෙර මිහිතලයේ ජීවත්ව සිටි සත්වයකුගේ සිරුරෙන් කොටසක් බවයි. ඒ සත්වයාගේ නම ‘ටෙට්‍රපොඞ්’ය (සිව්පා සත්වයා). මේ සත්ව වර්ගයා අඩි නවයක් පමණ දිගට වැඩෙන්නේය. ඒ සත්වයා පා සතරක් සහිත සත්වයකු බවට පත්වූ මත්ස්‍ය විශේෂයකි.


මේ සත්වයාට මත්ස්‍ය ලක්ෂණ සහ ගොඩබිම ජීවීන්ගේ ලක්ෂණ ද තිබිණි. මත්ස්‍යයන්ට මෙන් කොරපොතු තිබිණ. ගොඩබිම වෙසෙන සතුන්ගේ අංගෝපාංගත් ඔවුන් සතුව තිබුණේය.


මේ සිව්පා මත්ස්‍යයා, චාල්ස් ඩාවින් සෙවූ ආකාරයේ මූදත් ගොඩත් දෙකේම වෙසෙන ජීව විශේෂයක් වූයේය.


මේ සත්වයාගේ සිරුර තියුණු පරීක්ෂණයට ලක්කළ විට පෙනීගියේ ඒ ජීවියාට ඇඟිලි පහක් වැනි ඇට තිබුණු බවත්, මැණික් කටුවක් තිබුණ බවත්ය. මහාචාර්ය ෂූබින් කියා සිටියේ මේ සත්වයා ප්‍රධාන වශයෙන්ම ගොඩබිමට අයත් බවයි. ඔහු පවසා සිටියේ, මේ ඔබ දකින්නේ මිනිසුන් වන අපගේ මී - මී - මී - මී මුත්තා බවය.


මෙසේ සොයා ගන්නා ලද පොසිලයට අයත් සත්වයා. මිනිසාගේ පරිණාමයේ ඉතාම ත්‍රාසදායී පරිච්ඡේදයට එකතුවන ජීවියෙකි.


මේ ආකාරයේ ජීවිහු, ගංගා හා මුදූවල පීනමින්, ගොඩබිම ඇවිදින සත්ව වර්ගවලට ද පුරෝගාමී වූහ. ද්විභූමික සත්ව වර්ග, උරග වර්ග, ඩයිනසෝරස් ආදීන් සහ පක්ෂි වර්ග සහ ක්‍ෂීරපායී ජීව විශේෂත් උද්ගත වූයේ ඔවුන්ගෙනි.


මෙසේ, මේ සියලුම සත්ව වර්ගයන්ට මුල් වූයේ ඒ සිව්පා මත්ස්‍ය වර්ගයෝය. ප්‍රථම අශ්වයන්, වඳුරන්, මහා වානරයන් සහ මානවයාත්, විකාශනය වූයේ ඒ සිව්පා මත්ස්‍ය වර්ගයාගෙන් පැවතෙන්නන්ගෙනි. 


ඒ නිසා, දැන් චාල්ස් ඩාවින්ට සිදුවන්නේ, ඔහුගේ පරිණාමවාදය අලුතින් ලියන්ටයි.


ඔහු මානව විකාශනය ආරම්භ කරන්නේ මහා වානරයන්ගෙනි.


දැන් එය, ඔහු විසින් ඉතා ඈතට ගෙන ගොස් මෙයට අවුරුදු තිස්හත් කෝටි පනස් ලක්ෂයකට පෙර විසූ ටෙට්‍රපොඞ් ජීවියාගෙන් පටන්ගත යුතුවෙයි.


මේ පොසිලය සොයාගත් ප්‍රදේශයේ වෙසෙන ස්වදේශිකයන් විසින් මේ ද්විභූමික මත්ස්‍ය වර්ගයා නම් කෙරෙන්නේ ‘ටික්ටාලික්’ වශයෙනි.


අද විද්‍යාත්මක ලිපි - ලේඛනවල ද ඒ ද්විභූමික ජීවියාට දෙනු ලබන්නේ ඒ නමයි.


මේ ද්විභූමික ජීවියාගේ හිස සාමාන්‍ය මත්ස්‍යන්ගේ හිසට වඩා වෙනස්ය. උගේ හිස්කබල පුළුල්ය. අනික් මත්ස්‍යයන් සේ නොව මේ ද්විභූමිකයාට තමාගෙ ගෙළ ඒ මේ අත හැරවිය හැකි වේ. 


උගේ ඇස් දෙක පිහිටියේ උගේ හිසේ උඩ කොටසේය. ඒ පිහිටීම, කිඹුලකුගේ ඇස්වල පිහිටීමට සමානය.


ඔහුට ගොඩබිම වාසීන් සේ ආශ්වාස කළ හැකිවනු පිණිස, පුළුල් ඉළඇට පද්ධතියක් තිබිණි.


ජලයේ සිට ගොඩබිම දෙස බලා සිටිය හැකිවනු පිණිස, ඒ ජීවියාගේ වරල් දෙක, අත් දෙකක් තරම් ශක්තිමත් වූයේය. ඒවායේ වාරුවෙන් ඒ ජීවියාට ඈත බලනු පිණිස ජලයෙන් උඩට නැඟී සිටිය හැකිවී යැයි විද්‍යාඥයෝ කියති.


මෙහිදී බැරෑරුම් සාමාජික ප්‍රශ්නයක් පැන නගී.


1859දී චාල්ස් ඩාවින් සිය පරිණාමවාදී චින්තනය හෙළිකොට, ඒ නිසා පැවත එන්නේ මහා වානරයකුගෙන් යැයි කීයේය. 


එවිට, ඒ කාලයේ මිනිස්සු ඒ මතය ගැන කුපිත වූහ. 


මිනිසා පැවතෙන්නේ, ද්විභූමික මත්ස්‍ය විශේෂයකගෙන් යැයි මහාචාර්ය ෂූබින් වැනි විශේෂඥයන් විසින් පැවසෙන විට නවීනයෝ කුමක් කරති ද?


ඒ කෙසේ වුවද, මානව පරිණාමයේ අලුත්ම මතය අපගේ අලුත් පරපුරට ක්‍රමවත්ව කියා දිය යුතු වේ.


එය ශාස්ත්‍රීය හා විද්‍යාත්මක වශයෙන් ඔවුන් තුළ තියුණු කුහලක් ඇති කෙරෙනු නියතය.


අද කුඩා දරුවන් බොහොම දෙනෙක් ඩයිනෝසිරස් ආදීන් ගැන ද ඉතා තියුණු ආශාවකින් සොයා බලති. ඒ නිසා, ඔවුන්ට මේ නවීනතම චින්තනය, අතිශයින්ම ආස්වාදදායී වෙයි.
මෙසේ විමසමු. ‘මානවයා පැවතෙන්නේ කාගෙන් ද?’. ‘මහා වානරයන්ගෙන්’. පිළිතුර වැරදියි. ‘මානවයා පැවත එන්නේ, මෙයට අවුරුදු තිස්හත් කෝටි පනස් ලක්ෂයකට පෙර ජීවත් වූ ‘ටික්ටාලික්’ නම් උභයජීවි මත්ස්‍යයෙකුගෙනි.’

 

 


ලොව පැරැණි පතපොත 

විප්ලවය කළ ජේම්ස් ජොයිස්ගේ ‘යුලි සීස්’ නවකතාව


සමස්ත ලෝකයේම ප්‍රබන්ධ කතා කලාවේ විප්ලවයක් කළ ‘යුලිසීස්’ නම් ප්‍රබන්ධය ජේම්ස් ජොයිස් නම් මහා ලේඛකයාගේ කෘතියකි.


මේ නවකතාවේ ප්‍රස්තුතය වන්නේ ‘ලියොපෝල් ඕ බ්ලූම්’ නම් චරිතය විසින් එක් දවසකදී ගත කෙරෙන ජීවන රටාවයි.


මේ නිර්මාණයේ ප්‍රධාන ලක්ෂණය නම්, ඒ කතාව කියැවෙන්නේ විඥානධාරා ශෛලියෙන් හෙයිනි. විඥානධාරා (ස්ටී්‍රම් ඔෆ් කොන්ෂස්නස්) යනුවෙන් නම් කෙරෙන්නේ යම් කිසිවකුගේ යටි හිතෙහි පහළවන චින්තන රැල්ලයි. ඒ විඥාන ධාරාවෙන් තොරව, චරිත නිරූපනයක් කෙරෙතොත් එය අසම්පූර්ණ යැයි ජේම්ස් ජොයිස් සිතුවේය. ප්‍රබන්ධ කථා ශෛලියෙහි පූර්ණ විප්ලවයක් කළ ජේම්ස් ජොයිස්ගේ ‘යුලිසීස්’ නම් නවකතාව, ඇතැම් තැනක තහනම් කෙරිණි. ඔහු විසින් 1939යෙදී විරචිත ‘ෆිනි ගන්ස් වේක්’ නම් නිබන්ධනය ඉතාම සංකීර්ණ කෘතියකි. 

 


පිටසක්වළ ජීවීහු  පෘථිවිය දෙස බලත් ද?


පසුගිය සති කිහිපය තුළ ලෝකයේ නොයෙක් ප්‍රදේශවලින් අභිරහස් ආකාශ යානා පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රකාශ වූයේය.


අජටාකාශ නිරීක්ෂණයේ යෙදෙන බොහෝ විද්‍යාඥයෝ මෑතකදී ‘සුරුට්ටුවක’ ස්වරූපය ගත් අජටාකාශ වස්තුවක් දැක ඇත්තෝය.


එය උල්කාපාත හෝ ග්‍රාහක මෙන් ඍජුව පෘථිවිය මත කඩා වැටෙන ස්වභාවික වස්තු නොවේ.


මෙය යම් කිසිවකු විසින් ඒ මේ අත මෙහෙයවනු ලබන්නා සේ පෙනෙන යානයකි.


පිටසක්වල වාසීන් විසින්, සිතාමතාළාම පෘථිවි ග්‍රහලෝකය පිළිබඳව පරීක්ෂණයක් සඳහා එවන ලද පරිපූර්ණ ලෙස නිෂ්පාදිත යානයක් වශයෙන් සැලකෙන මේ වස්තුව ‘ඌමුවමුවා’ වශයෙන් නම් කෙරේ. 


එහෙත්, සමහර අජටාකාශ යානා පිළිබඳ විද්‍යාඥයෝ, එවැනි ක්‍රමවත් පිටසක්වල පරීක්ෂණයකට අයත් යානයකැයි නොපිළිගනිති.


මේ යානය දැන් ආපසු ගොස් තිබෙන සේ පෙනෙන හෙයින්, මෙය පෘථිවිය පිළිබඳ පරීක්ෂණයක් සඳහා එවන ලද වස්තුවක් විය නොහැකියි සමහර විශේෂඥයෝ තර්ක කරති.
මේ යානය නම්කොට තිබෙන්නේ ‘ඌමුවමුවා’ වශයෙනි. මේ නම හවායි භාෂාවේ එන පදයකි. ඉන් අදහස් කෙරෙන්නේ ‘පණිවුඩකරු’ යන්නයි.


මේ ගුප්ත යානය අඩි 1300ක් පමණ දිගය. එය පළලින් අඩි 130ක් පමණ වේ.


මෙය කුමක්දැයි තවම හරිහැටි අවබෝධ කොටගෙන නැත.

 


 

 

දහඅට මසක දරුවකු මුහුදෙන් බේරා ගත් හාස්කම

 

විවිධ දරුණුකම්, හිතපාරන අපරාධ ඉතා බහුල වශයෙන් ඇසෙන අද යුගයේදී, ඉතාම කලාතුරකින් අපූරු මානව හාස්කම් ද ප්‍රකාශ වන්නේය.


සිද්ධියට මුල් වන්නේ නවසීලන්තයයි. එහි උතුරු දිවයිනේ ‘සමෘද්ධි වරාය’ නම් මූදු පෙදෙසෙකි. ගුස් හට් නම් ධීවරයෙක් උදෑසනම මාළු බෑමේ යෙදී සිටියේය. ඒ ස්ථානයට නුදුරු මතාතා වෙරළ ආසන්න මූදේ බෝනික්කෙක් පාවෙනු ඔහු දුටුවේය.


තමා පසුකොට රැළකින් ගෙන යනු ලබන බෝනික්කෙක් යැයි ඔහු සිතූ ‘වස්තුව’ දෙස අවධානය යොමු කළේය. සිද්ධිය විස්තර කරමින් ඔහු මෙසේ කියන්නේය.


“ඒ බෝනික්කෙක් යැයි සිතූ මම, අත දිගු කොට ඒ බෝනික්කාගේ අතින් අල්ලා ගත්තෙමි. එසේ අල්ලාගත් පසුත්, මා සිතුවේ ඒ බෝනික්කෙක්මය කියාය. ඒ බොනික්කාගේ මූණ මට පෙනුනේ පිඟන් මැට්ටෙන් කළ රූපයක් මෙනි. ඔහුගේ තෙත් හිසකේ කෙටිව තිබුණේය. එහෙත්, මා ඇල්ලූ හැටියේ ඔහු සුළුවෙන් කෑගැසුවේය.


දෙවියනේ, මේ දරු පැටියෙක්. මේ දරු පැටියාට පණ තිබෙනවා යැයි මට නොපමාවම සිතුනේය. ඒ ‘බෝනික්කා’ දහඅට මාසයේ මලාචි රීව් නම් දරු පැටියා බව මට පසුව දැනගන්නට ලැබුණේය.”


ඔහු සිය දෙමාපියන් සමග වෙරළට කිට්ටු නිවාඩු කඳවුරක සිටියේය. ඒ දරු පැටියා සිය නිදන දෙමාපියන්ගේ කූඩාරමේ ‘සිප්’ එක ඇරගෙන, වැල්ලට ගොස් තිබිණි. එහිදී ඔහු රැල්ලකට අසුවී ගසාගෙන ගියේය. 


ධීවරයා මෙසේ පැවසීය.


“මේ දරු පැටියා රැල්ලට අසුවී ගසාගෙන යමින් හිටියා. ඔහු නොසෙල්ලී පාවෙමින් උන්නා. මා විනාඩියක් පමා වුණා නම්, මට ඔහු නොපෙනෙන්නට ඉඩ තිබුණා. ඔහු අතිශයින්ම වාසනාවන්තයි. ඔහුගේ කාලය අවුත් තිබුණේ නෑ.”


දෙමාපියන්ට දැනුම් දෙන ලදී. වෛද්‍ය පරීක්ෂණවලින් පෙනීගියේ දරු පැටියාට කිසි හානියක් සිදුවී නැති බවයි.


දරුවාගේ මව මෙසේ කීවාය. 


“දැන් ඔහුට හොඳයි.”


දරුවා පෙරදා මූදට දැඩි ආශාවක් දැක්වූ බවත්, ඒ නිසා දරු පැටියා මූද ගැන සොයා බලන්නට, කල්තියා අවදිවන්නට ඇති බවත් මව පැවසුවාය. 

 

 


RECOMMEND POSTS

RELATED POSTS