කොහා ගියේ කොහේ ?



 

“තුඩගින් ඇඟිල්ලේ  ලියාලා... කාලයේ වැලිකලේ
ඉතිහාසයේ ගමන වෙයි... නැත්තේ යළිත් නැවතුමක්. 
ඔබගේ දැනුම්... සිල් බෙලෙන්... නොමැකේ ලියූ බිඳුවකුත්
දියවී නොයේ, ලියූ දේ කිසිත්-ඔබගේ නෙතේ කඳුළින්.”
පර්සියානු කිවි ඔමාර් ඛයියාම්ගේ රුබයියාට් කෘතියෙන් (1122)

 

 

 

සකල මානව සමාජයෙහිම විවිධ උත්සව ඇත්තේය. ඒ සියල්ල අතුරින් ඉතාම පැරැණි උළෙල නම් අලුත් අවුරුදු පැවැත්වීමයි.


අප අද අලුත් අවුරුද්ද වශයෙන් නම් කෙරෙන මේ උත්සවය පටන් ගත්තේ මිනිසාගේ ඉතිහාසයෙහි ආරම්භක යුගයේයි. එය අද-විසිඑක්වන සියවසෙහි දෙවන දශකයට කිට්ටුව- පැවැත්වෙන්නේ.


දිර්ඝ කාලීන විකාශනයකින් පසුවයි.


අලුත් අවුරුදු උළෙල, කාලය ඔස්සේ වෙනස් වී ගෙන එන ආකාරය ළගන්නා කතාවකි.


ඈත අතීතයේදි මිනිසාත් ඔහු හා සමග පෘථිවි තලයේ වාසය කල සෙසු සත්ව වර්ගයාත් අතර බුද්ධි මට්ටමෙන් ඒ තරම්ම ප්‍රබල වෙනසක් තිබුණේ නොවේ. සෞම්‍ය කලාපිය බිම් පෙදෙස්වල ජීවත්වූ ඒ ආදි මිනිස්සු සොබා දහම හා සමග ඉතා කිට්ටුවෙන්  දිවි-පෙවෙත ගෙවූහ.


වසන්ත සමයෙහි  ඒ පැරැන්නන්ගේ සතුට-ප්‍රමෝදය නිම් හිම් නැතිවිය. විහඟ පෙළ ගී ගයමින් ඒ-මේ අත පියෑඹූහ. සිත සනසන  රිද්ම නඟමින් නදී ඇල-දොළ ගලා බැස්සහ. ගහ-කොළ, මල්-ඵල දරමින් විවිධ වර්ණයන්ගෙන් පරිසරය සැරසූහ.


එදා මිනිසාට සිත-කට පිරෙන පරිදි ආහාර පාන ලද හැකි විය. සොබා දහම, නෙමසුරුව සිය දරු කැළට කන-බොන දේ සැපයීයම. ආදි නරයන්ගේ උද්දාමය දියුණු කරමින් ගිම්මානය ලොව පහළ වූයේය. හරිත වර්ණයෙන් දිලි සෙමින් ගිම්මානය, අල-මුල් පලාපල හා දඩමසින්  ලොව සැනසුවේය. පවස ක්‍ෂුධාව සන්සිදිනි, දැඩි ශීතලෙන් පසුව හිරු රැසින්, ඒ ආදි නර පිරිස්, උණුසුම් කරන  ලද්දේත් ගිම්හානය විසිනි. 


සොබා දහමේ වෙනස්වීම්වලට ඉතාම සංවේදී ආදි යුගයේ මිනිසුන්ට තමන් වටා පරිසරයෙහි සිදුවන වෙනස්කම් තියුණු ලෙස  දැනුනේය. ලෝකය ‘මහළුවීගෙන’ යන්නාක් සේ මිනිසුන්ට දැනෙන්නට වන්නේය. කොළ පැහැති පත්‍ර වියළි ගොස් බිම වැටෙන්නට වූයේය. ගස්- වැල් කොළවලින් තොරව, ඉදල් බවට පත්ව ඇට සැකිළි වැනි වූහ. මෙතෙක්,සතුටෙන් ලොව බැලූ ආදිකාලීනයාගේ සන්තානයෙහි, සංවේගයක සන්තාපයක ඉඟි පහළ විමට පටන් ගත්තේය. සොබා දහමට අරක්ගත් දෙපයින්ම මේ සිදුවන්නේ කුමක්දැයි සිතමින් ඔවුහු තැති ගත්තාහ.


ඔවුන්ගේ චිත්ත පීඩාව දියුණු-තියුණු කරමින් හේමන්තය ආයේ, ඔවුන් දන්නා සෞම්‍ය  කලාපීය ලෝකය, ඝන හිම තට්ටුවකින් වසා දමමින්ය. තමන් රැක-බලා ගත් දෙවියා, නැතිවී යැයි ඔවුහු බලවත් දොම්නසට පත්වූහ.ඔවුන්ට කළහැකි එකම දෙය වූයේ වැළපෙමින්, අදෝනා නඟමින්, අඩමින්, හැරුණු හැරුණු අත දිවීමයි. ඔවුන්ට ආහාර-පාන දඩයම්, වන මුල් පලාපල ලද නොහැකිව කුසගින්නේ තැවෙන්නට, ශීතලේ ගැහෙන්නට  සිදුවිය. ලොවට අරක්ගත් දෙවියා මැරී ගියේ යැයි ඔවුහු අඬමින්, දුක්වෙමින්, තැවෙමින්  හිස්-  ලූ ලූ අත දුවන්ට වූහ.


ආදි කාලීනයන් එසේ දිවූ ආකාරයට දුටුවේ යැයි  ඇතැම් පැරැන්නෝ වාර්තා කළ බව සුප්‍රසිද්ධ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් (ක්‍රිස්තු පූර්ව 485-423) ලියා ඇත්තේය.
මෙසේ ආදිනරයන් වැලපෙමින් සිටියදී යළිත් වසන්තය උදාවුයේ හිම තට්ටු දියවී යෑමත් සමගයි. එතෙක් වැළපුණු ආදි ජනයෝ අලුතින් උපන් දෙවියන් හා සමග එක්ව තුටුපහටුව අලුත් ජීවන චක්‍රයක් අධි ප්‍රමෝධයෙන් ඇරඹුහ.


අද අප වෙසෙන මේ නවීනතම ලෝකයේ කවර පෙදෙසක වුවද පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවවල ඒ ආදි කාලීන යුගයේ සිද්ධි ධාරාවෙහි ස්වරූපය දැකිය හැකිවේ. එදා ආදි මිනිසුන් සත්‍යවශයෙන්ම කළ කී දේ අද නව වසර උළෙලේදී අපි සංකේතාකාරයෙන් අනුකරණය කරන්නෙමු.


මේ නවීන යුගයේ යුරෝපා දේශීය සංස්කෘතියක අද අලුත් අවුරුදු උළෙල පවත්වන ආකාරය දෙසට නෙත් යොමු කරමු. රාජ්‍යය අයර්ලන්තයයි. එහි ගැමි පෙදෙසක ජනයා අලුත් අවුරුදු උත්සවය පවත්වති. ඔවුන් මුලින්ම කරන්නේ සොබාදහමට අධිපතිව සිටි දෙවියාගේ බලය නැතිවීයෑමේ සිද්ධිය සිහි කිරීමයි. මේ සිද්ධිය නිරූපනය කරනු පිණිස ගම්මානයේ ශක්තිමත් තරුණයෝ කිහිප දෙනෙක් තෝරාගනු ලැබෙති. ගමේ කාන්තාවෝ එක්ව මේ සවිමත් තරුණයන් කඹවලින් බැඳ දමති. මෙයින් සංකේතවන් කෙරෙන්නේ සොබාදහමට අධිගෘහිතව සිටි දෙවියාගේ බලය නැතීවී යාමයි. වාසනාවට ඒ බැඳ ලන ලද තරුණ පිරිස් සුළු වේලාවකින් මුදාහරිනු ලබති. ඉන්පසුව අලුත් අවුරුදු උත්සව පැවැත්වෙන්නේ ඒ යළිත් ජීවිතය ලද දෙවියන් හා සමග එක්ව නව ජීවින චක්‍රයක් ආරම්භ කරමිනි.


අද ලොව අලුත් අවුරුදු උළෙලවල එදා පැරණි ලොව සිදුවු සිද්ධි සංකේතවත් කෙරේ.


සිංහල අලුත් අවුරුදු උත්සවය දෙස යොමුවෙමු.

\
එහි පැහැදිලිවම අංශ දෙකක් වේ. පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද වශයෙනි. පරණ අවුරුද්දේ ප්‍රධාන අංශය නම් දෙවියාගේ අභාවය සිහිපත් කොට දුක්වීමයි. ඒ චාරිත්‍රය නම් කෙරෙන්නේ “නොනගතේ” වශයෙනි.


බොහෝ දෙනාට මේ පදය ගුප්තය. එය පැහැදිළිවම “නැකැතකට අයත් නොවන කාලය” (නොනැකත) යන අරුත ගනී. මෙය සොබාදහමට අරක් ගත් දෙවියා ජීවිතයත් මරණයත් අතර පණ ඇති නැති තත්ත්වයේ සිටි සමයයි. පැරැන්නෝ එහිදී දුක්වූහ. තැවූනහ. වැළපුනහ. අද “නොනගත” සමයේදී අපිත් දුක්වෙමු. ගෙදර ලිප්ගිනි නොදැල්වේ. මිනිස්සු ආහාර ගැනීමෙන් වැළකී සිටිති. ඒ මගින් සිතට වධ දෙති. දෙවියාට පින් දෙමින් පුණ්‍යකර්මවල යෙදෙති.


මෙසේ “නොනගතය” හරියටම ඒ ආදි කාලීනයන් අධි සන්තාපයෙන් අඳෝනා නගමින් දුක්වු ආකාරය සංකේතාත්මකව සිහිපත් කිරීමකි. මෙය බොහෝ දෙනා නොදනිති.
අලුත් අවුරුද්දේදී දෙවියෝ යළිත් උපදිති. ඒ ගැන අප විසින් දැක්වෙන අධි ප්‍රමෝදය අලුත් අවුරුදු සිරිත් විරිත්වල හරයයි. යළිත් ලිප ගිනි දැල්වේ. පවුලේ අය අලුත් ඇඳුම් පැළඳුම් ලබති. අලුතෙන් ලෝකයා හා සමග ගනුදෙනු කරමින් අලුත් අවුරුදු කෑම සඳහා ආරාධිතයෙක් ගෙන්වා ගන්නෙමු. ඔහු හා සමග ප්‍රථම ගනුදෙනුවේ යෙදෙන්නෙමු. වැඩ අල්ලමු. ඒ කියන්නේ නැතිවී ගිය වෘත්තී්‍ය ජීවිතය නැවත අරඹමු. ගෘහ ක්‍රිඩාවල සාමුහික ක්‍රීඩාවල යෙදෙමු. ඔන්චිලි වාරම් රබන් පද රැව් දෙවමු.


අන් හැම දෙයටම වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ පැරැණි විරෝධතා අමනාපකම් ඉවත ලා අලුතින් සුහද සහයෝගය ඇතිකොට ගැනීමේ ක්‍රියාවලියටයි.


සැකෙවින් කිවහොත් යළි ජීවය ලද සොබා දහම් දෙවියා හා සමග එක්ව අලුත්ම අලුත් ජීවින චක්‍රයක් අපිත් ආරම්භ කරන්නෙමු. එය අලුත් අවුරුදු වතාවතේ හරයයි.


එදා මෙයට අවුරුදු පණහකට පමණ පෙර අලුත් අවුරද්දට මුළු ගම්මානයම සැරසෙන්නේ මාස ගණනකට පෙර පටන්ය.


අලුත් අවුරුදු චාරිත්‍ර වට්ටෝරු, නක්ෂත්‍රාචාර්යවරුන් විසින් (දෛවඥයන්) විසින් ගමට බෙදා දෙනු ලැබේ.


ගම්මානවල අලුත් අවුරුදු උළෙල ළමා උත්සවයක් වැනිවේ. පැරැණි ගැමි ගෙවල දරුවෝ එරමුදු මල් කැකුළු දැකීමෙන් හා කොහාගේ රාවයෙන් අලුත් අවුරුදු එළඹීම ගැන කල්තියා දැන ගනිති. එදා ළමා අප බොහෝ දෙනාගේ අරමුණ හැකිතරම් රතිඤ්ඤා පෙට්ටි එකතු කොට ගැනීමයි. ඒ කාලයේදී ඉතා සිත් ගන්නා සේ අසුරන ලද රතිඤ්ඤා පෙට්ටි රටින් ගෙන්වනු ලැබී තිළිණයකි.


අලුත් අවුරුද්ද රටේ විවිධ තැන්වල රැකියාවේ යෙදී සිටි නෑදැ හිතවතුන් එකට එකතුවන අවස්ථාවයි. අපගේ සොහොයුරන් නෑදෑයන් රැගෙන එන රිය සක්හඬට සවන් දෙමින් ළමා අපි රෑ බෝවෙන තෙක් අවදි වී සිටින්නෙමු.


අලුත් අවුරුදු උළෙල සඳහා විවිධ කෑම් බීම් වර්ග සකස් කෙරෙන ආකාරය ළමා සිත්වල තහවුරුව සටහන් වෙන අලුත් අවුරුදු ක්‍රියාවලියකි. කල් තියා නැගෙන කැවුම් ගෙඩියක්, කෝඳුරුවන් සඳහා එල්ලා තැබේ. 


කෙසෙල් කැන් ඉදවීම සඳහා “දුම් පිඹීම” ළමා කාලයේ අපට පෙනුනේ විස්මය උපදවන සුළු තාක්ෂණික ක්‍රමයක් සේය. වළක් හාරා එහි අමු කෙසෙල් කැන් තැන්පත් කෙරේ. වල වසා ඉතා කුඩා සිදුරක් විවෘතව තැබේ. ඒ තුළින් වලේ තිබෙන කෙසෙල් කැන්වලට දුම් පිඹිනු ලැබේ. පෑ කිහිපයකින් ඒ අමු කෙහෙල් කැන් කෑමට සුදුසු පරිදි ඉදී සකස් වන්නේය.
ඉපැරණි ගැමි සමාජයේ “අලුත් අවුරුදු ” භෝජනය වැළඳීම ඉතා සිත්ගන්නා සුළු චාරිත්‍රයකි. ආහාර බොහෝවිට තැබෙන්නේ ගෙබිම එළන ලද විශාල පැදුරක් මතය. විවිධ බත් වර්ග, අවුල් ජාති තිබුණද භෝජන චාරිත්‍රයයේ ප්‍රධාන තැන පිරිනැමුණේ කිරිබත් කැවුම් හා කොකිස්වලටයි.


මුදවාපු කිරි හා පැණි අනිවාර්ය විය. 


ගෘහිණියන් විසින් අලුත් අවුරුදු භෝජනය සඳහා සකස් කෙරෙන ආහාර වර්ග රටාවෙහි විවිධත්වය, විස්මයට හේතුය.


කිරිබත, අනිවාර්යයෙන්ම භෝජන සංග්‍රහයේ රජවෙයි. විවිධ රූපාකාර කිරිබත් කැට සකස්වේ. එයට එක්වන ප්‍රධාන හිතවතා උම්බලකඩ සම්බලයි. එහෙත් අච්චාරු වර්ග, ඇඹුල් තියල් මාළු, සීනි සම්බල් ආදියද කිරිබතට සහායට සිටියි. මගේ මව විසින් වෙසෙසින්ම කිරිබතට යා කරන ලද සහායක රසදායකයකු වූයේ කරවලය. භෝජන සංග්‍රහය, අලුත් අවුරුද්දේ විශේෂ ස්ථානයක් ලද්දේ කරුණු කීපයක් නිසාය. ඉන් එකක් නම් එය ගෘහණින්ගේ සූප ප්‍රවීණතා ප්‍රදර්ශනය කිරීමක් බවට පත්වීමයි. තවත් ප්‍රබල හේතුවක් නම් කලකින් ගෙදර එන දූදරුවන් තමන් ළමා වියේ ගෙදර සිටයදී මාතාව විසින් ඔවුන්ට සපයන ලද අහරවල රසය යළි විඳින්නට දැඩි ආශාවක් දැක්වීමයි.


අලුත් අවුරුදු උළෙල සොබා දහමට අත්‍යයන්තයෙන්ම සමීපය.


අවුරුද්ද ළඟ ළඟ එන බව ගම්මානයට දැක්වෙන ශ්‍රව්‍ය දෘශ්‍ය නිවේදනය වුයේ කොහාගේ රිද්මීය කූජනයක් ගම පුරා රතට රතේ හටගන්නා එරමුදු මල් කැකුළුත්ය.
ඒ අතීතයේ ගම්මාන ආශ්‍රිතව පැවති සිංහල අවුරුදු උළෙලේ හෘදයංගම ගුණ සමුදාය අද ශ්‍රී ලංකාවේ බොහෝ පෙදෙස්වලින් බැහැරව ගොස්ය.


ඇතැම් වාණිජ ව්‍යාපාරික භවතුන් විසින් හා විද්‍යුත් මාධය සංවිධාන විසිනුත් ඒ අතීතයේ සැඟවී ගිය අලුත් අවුරුදු චමත්කාරය ආපසු කැන්දා ගන්නට ප්‍රශස්ත ප්‍රයත්නයක් දැරෙන්නේය.


එවැනි දේ මගින් හෝ වේවා මේ දේශයේදී ඒ මානව සංහතියේ පැරණිම ජන උත්සවය රැක ගන්නට දැරෙන ප්‍රයත්නය අතිශයින්ම අර්ථවත්ය.
පැරණි “අලුත් අවුරුදු” චාරිත්‍ර වාරිත්‍ර සඳහා නිසි කාල වේලාවල් ආදි යුගයන්හිදී ජනතාවට දක්වන ලද්දේ පන්සලේ ඝණ්ඨාරරාවය විසිනි.
අද ඒ සම්ප්‍රදායික අලුත් අවුරුදු චාරිත්‍රය විද්‍යුත් මාධ්‍යයන්ට පැවැරී ඇත්තේය.


සම්ප්‍රදායික අලුත් අවුරුදු උළෙල සුහද සහජීවන සංකල්පය ජන හද තුළ තැනප්ත් කරන්නට ඉතාම ප්‍රබල රුකුලක් වූයේය.
විහිද පැතිර යන උද්දාමය මැද්දේ අලුත් අවුරුද්ද නිසා වැඩි හිටියන්ට ගරු සරු කිරීම, පැරැණි අමනාප නොමනාපකම් අමතක කිරීම එකට එක්වීමෙන් ලැබෙන අසහාය මානුෂික ආස්වාදය විඳගන්නට වරය සම්පාදනය කිරීම වැනි අතිශයින් වටිනා ගුණ සමුදායක් මිනිසුන්ගේ ආධ්‍යාත්මයට නිතැතින්ම එකතුවේ.
යම්කිසි ක්‍රියාවලියක් එකම මොහොතේදී සාමුහිකව ඉටු කිරීමට අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මගින් විශිෂ්ට පෙළඹවීමක් සැපයෙන්නේය.
හිසතෙල් ගැල්වීමේ වැනි චාරිත්‍රවලදී ගමේ පන්සල මුල්තැනක් ගනී.


මෙයට අවුරුදු සියයකට පමණ පෙර ගමේ සාමුහික ක්‍රීඩා පැවැත්වීමේ චාරිත්‍ර පැවැත්තෝය. ඒ සඳහා වෙන්වුණු විශේෂ බිම් භාගයක් (අම්පිටියක්) පැරණි ගම්මාන බොහොමයක තිබිණි. අං ඇදීම වැනි පැරණි ක්‍රීඩාවලදී ජයග්‍රාහකයෝ පරාජිතයන්ට නොයෙක් ආකාරයෙන් සිනාසුනහ. එවැනි දේ ඉවසා දරා සිටීමේ ගතිය ගැමියන්ට ඒ අවුරුදු ක්‍රීඩාව විසින් විශේෂ චාරිත්‍රයක් වශයෙන් පුරුදු කෙරිණි.


අද යුගයේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර විවිධ ආයතනයන්ගේ අනුග්‍රහයෙන් පැවැත්විනද ඉපැරැණි සිංහල ගැමි සංස්කෘතියෙහි එදා කිඳා බැස තිබුණු අවුරුදු ආස්වාදය අද ආපසු කැන්දා ගැනීම නම් ඉතා අපහසුය. ශීඝ්‍ර වේගයෙන් ආගිය හැකි ක්‍රම අද පවත්නා නිසා වසකට වරක් ගමේදී සිදුවන අවුරුදු එක්රැස්වීම්වල ත්‍රාසය අද බෙහෙවින් අඩුය.
මුළු මහත් ජනතාවම එකම මොහොතේ එකම එක චාරිත්‍ර රටා ඉටු කිරීමේ ගතිය තාමත් පැවතුණද අපගේ දේශයේ සම්ප්‍රදායික අලුත් අවුරුදු ශ්‍රියාව නම් නැවත මේ දේශයේ ජන ජීවිතයට ආපසු කැන්දා ගැනීම් ඉතාම අපහසුය. 


අප 2019 අප්‍රේල් මාසයේදී අපගේ සම්ප්‍රදායික අවුරුදු සිරිත් විරිත් සංකීර්ණය සිහිපත් කොට ගන්නා ගමන්ම ජාතික මට්ටමෙන් ඉටු කළ යුතු ප්‍රබල ක්‍රියාදාමයක් පවත්නා බවද සඳහන් කළ යුතුමය.


පැරණි අවුරුදු නැටුම් වර්ග, අංකෙළි ආදියේ කියුම්, ඔන්චිලි වාරම්, රබන් පද ආදිය හා විවිධ අවුරුදු ක්‍රීඩා වර්ගත්, නවීණතම තාක්ෂණික ක්‍රම මගින් ස්ථාවරව රැකගත යුතුවේ. පංච දැමීම ආදී ගෘහ ක්‍රීඩාවලට, විශේෂ වදන් පෙළ ඇත්තේය. හිසතෙල් ගල්වමින් ප්‍රකාශ කෙරෙන ආශිර්වාද පාඨ තහවුරුව වාර්තා ගත විය යුතුය. මක්නිසාදයත්, කාලයේ නොනවත්නා ඉදිරි ගමනේදී මේ බොහෝ දෑ නැත්තටම නැතිවී යා හැකි හෙයිනි.


සැමටම සුබ අවුරුද්දක් පතමින් වාසනාවට ආශිර්වාද කෙරෙමින් ජපානයේ අවුරුදු චාරිත්‍රයක්ද මතක් කළ යුතුවේ.


සම්ප්‍රදායිකව ජපානයේ ගෙවල, මුළුතැන්ගෙයි දේවරූපයක් ඇත්තේය. අවුරුද්ද අවසානයේදී ඒ දේවරූපයට කට ඇලෙන පැණිරස කෑම පූජා කොට ඒ පරණ දේවරූපය දියට දැමෙයි. අලුත් අවුරුද්දට, අලුත් දෙවියෙක් කැන්දාගෙන එයි. ඒ පැරණි දෙවියාට කට ඇලෙන පැණිරස කෑම දී ඒ දෙවියා දියේ දමන්නේ ඇයි? එසේ කරන්නේ ඒ පැරණි දෙවියා ආපසු දේව සභාවට ගියවිට තමා අවුරුද්දක් සිටි ගෙදර ගැන නරක යමක් දේව සභාවට කියන්නට කට ඇරිය හැකි නොවනු පිණිසමය.

 

 


ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවරායණය

පැරණි පොතපත

 

ඉංගිරිසි ලේඛකයන් අතුරෙහි කීර්තිමත් ස්ථානයක් හිමිකොට ගත් ජොනතන් ස්විෆ්ට් අයර්ලන්තයේ ඩබ්ලින්හි උපත ලැබුවේය. ඔහු එංගලන්ත සභාවේ පූජකවරයෙක් විය.


ස්විෆ්ට් සාහිත්‍ය ඉතිහාසයෙහි විශේෂ ස්ථානයක් ලබන්නේ ඔහුගේ තියුණු උපහාසාත්මක නිර්මාණ හේතුකොට ගෙනයි. එසේම ඔහුගේ භාෂා ශෛලීය ඉතා සරළ සේ පාඨකයන්ට දැනනේනේය. “තේමාව කොපමණ ගැඹුරු වුවද ඔහුගේ චින්තනය කොයිතරම් ප්‍රබල වුවද ඔහුගේ ප්‍රකාශන ක්‍රමය සරල වුයේ යැ”යි සර් හර්බට් රීඞ් නම් විචාරකයා පවසා ඇත්තේය.


ජොනතන් ස්විෆ්ට්, මිනිස් චාර්යාවල දුබල තැන්වලට අවඥාව එල්ල කළේය. සම්මත අදහස් උදහස් ධාරවනට සිනා සුණේය.


ඔහු විසින් කරන ලද නිර්මාණ රාශිය අතර අතිශයින්ම ප්‍රසිද්ධ කෘතිය නම් “ගලිවර්ස් ට්‍රැවල්ස්” (ගලිවර්ගේ චාරිකා) නම් පොතයි. මෙය “ගලිවරයාණය” නමින් සිංහලයට අනුවාදිත වී යැයි මට මතකයි.


මේ කතාවේදී “ගලිවර්” නම් තැනැත්තා “ලිලිපුට්” නම් රාජධානියකට යන්නේය එහි වාසීහු අඟුටුමිටිය. ලිලිෆුට් දේශිකයෙකුගේ උස සෙන්ටිමිටර් 15කි.


එහිදී ගලිවර් නම් පුරුෂයාට අත්විඳින්නට සිදුවන විවිධ ආකාරයේ සිද්ධි ජොනතන් ස්විෆ්ට් විසින් ඉතා ව්‍යක්තාකාරයෙන් විවරණය කෙරෙන්නේය. මෙය මානව වංශයේ පිරිහීම පිළිබඳව උපහාසාත්මකව කෙරෙන විග්‍රහයකි. මෙය මුලින් ප්‍රකාශයට පත්වුයේ 1726 යේදීය.


1667තේදී උපත ලැබූ ජොනතන් ස්විෆ්ට්, අභාවයට පත්වුයේ 1745යේදීය.

 

 


ඇමෙරිකා ජනාධිපති ඉතිහාසයෙහි ඉතාම වයෝවෘද්ධයා

 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ඉතිහාසයෙහි ජනාධිපති  පදවිලාභීහු 44 දෙනෙක් වූහ. වර්තමාන ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා 45 වැන්නාය.


මෙතෙක් සිටි ජනාධිපතිවරුන් 44 දෙනා අතුරෙන් ඉතාම වයෝවෘද්ධයා 39 වන ජනාධිපති ජිමී කාටර් මහතායි.
එතුමා තාමත් ජීවතුන් අතර සිටී. ජිමී කාටර් මහතා උපත ලද්දේ 1924රේදීය. මේ අප්‍රේල් මස 11 වනදා වනවිට එතුමාගේ වයස අවුරුදු 94 දින 192යි.


අනාගතයේ යම් ජනාධිපතිවරයකුට ඒ වාර්තාවට එහා යා හැකි වේදැයි තීරණය කෙරෙන්නේ කාලය විසිනි.

 

 

 

 

 

 

 

 

 

 


අකාල රාවී ජාතක කථාව

පෙර කලක කුමාරවරු පිරිසක් දිසාපාමොක් ඇදුරුතුමන් වෙතින් සතර හැදෑරූහ. සිය උගෙනීම් කටයුතු නිසියාකාර කරගෙන යනු පිණිස මේ කුමාරවරුන්ට ඉතා අලුයමින් අවදිවන්නට සිදුවූහ. 


වේලාව කියන හෝරා යන්ත්‍ර නොතිබුණු ඒ කාලයේදී කුමාරවරු සඳහා කුකුළකු භාවිත කළහ. උදෑසනින්, කුකුළා ඇඬලූවිට කුමාරවරු අවදිවෙති. අවදිවී, සිරුරු කිස නිමා කොට වේලාසනින්ම උගෙනීම් පටන් ගනිති. ටික කලකින් ඒ කුකුළා මළේය. කුමාරවරු දුක්වූහ. ඔවුහු වෙන කුකුළකු ගෙන ආහ. ඒ කුකුළා ගේන ලද්දේ සුසාන භූමියකිනි. සුසාන භූමියෙන් ගෙන ආ ඒ කුකුළා හිටි හැටියේ මහ රෑත් හඬලන්නේය. මක්නිසාදයත් සුසාන භූමියේ චිතකයක් දැවෙනා හැම වෙලාවේම ඌ අඬලා පුරුදු හෙයිනි. මේ රෑ පුරා අඬලන කුකුළා කුමාරවරුන්ට මහා වධයක් විය. බැරිම තැන කුමාරවරු ඒ අකලට අඬලන කුකුළා මරා දැමූහ.


ජාතක පොතේ මෙය සඳහන් වන්නේ “අකාල රාවී” ජාතකය වශයෙනි. “නො”කලට අඬලන කුකුළාගේ කතාවයැයි අරුති.

 


 

තල්මසාගේ උදරයේ ප්ලාස්ටික්

2019 මාර්තු 16 වනදා තල්මසකුගේ මළ සිරුර පිලිපීනයේ වෙරළට පාවී ආයේය.


ඒ මළ තල්මසාගේ උදරයෙහි ප්ලාස්ටික් නිර්මාණ වර්ග (බෝතල ආදිය) රාත්තල් 88ක් තිබිණැයි ලෝක මාධ්‍ය වාර්තා කළහ.

 

 

 

 

 

 

 

 


RECOMMEND POSTS

RELATED POSTS