එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව සංහතියේ එකම බලාපොරොත්තුව



 


“සියලු මිනිස්සු නිදහසේ උපදිති. ඔවුහු ගර්වයෙන් හා අයිතිවාසිකම් වලින් එක සමානය. ඔවුන් හැමෝටම යුක්තිගරුක බව සහ හෘදය සාක්ෂිය ලැබි ඇත්තේය. මිනිසුන් සියලු දෙනාම ඔවු නොවුන්ට සැලකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැඟීමෙනි.”


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පනත (1945)


සාමය, සන්හිඳියාව සතුට ආදී පද අද ලොව බොහෝ දෙනාට හුරු පුරුදු නැත්තා සේ පෙනේ. ලොව හැමතැනකම පාහේ දරුණුකම්, ත්‍රස්තවාදී ක්‍රියා පැන නගී. ජම්බු-කාශ්මීර, ඇෆ්ගනිස්ථාන ආදී පෙදෙස්වල තාමත් ඇතැම්හු යුද වදිති. නාශක අවි ගබඩා තැනෙයි.


මේ සියල්ල මැද්දේ මානව සාමය සඳහා කැපවුනු ජාතීන් අතර සුහද සහජීවනය තහවුරු කරන්නට සැරසී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවුරුදු හැත්තෑතුන පිරුණේය.


මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ “දැවැන්ත මහා සම්මේලනයක් පැවැත්වේ. එය දැවැන්ත වන්නේ ලෝකයේ රාජ්‍ය 193 කින් සපැමිණෙන නියෝජිතයන්, සපිරිවරින් එහි එක්රැස්වන හෙයිනි. අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන ඒ රාජ්‍ය 193 නේ නියෝජිතයන් මෙන්ම, නිරීක්ෂක රාජ්‍ය දෙකක නියෝජිතයෝත්, එහි රැස්වෙති. ඒ නිරීක්ෂක රාජ්‍ය දෙක නම් පලස්තීනය සහ පාප්වහන්සේගේ පාලනය යටතේ පවත්නා වතිකානු රාජ්‍යයන්ය. මෙසේ අද ලෝකයේ පවත්නා සම්පූර්ණ රාජ්‍ය සංඛ්‍යාව 195 කි.


මේ රැස්වීම නම් කෙරෙන්නේ “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සම්මේලනය වශයෙනි. සාමාජික රාජ්‍ය සියල්ලේම නියෝජිතයන් හැම දෙනාම එකට රැස්වන්නේ හුදෙක් මේ වාර්ෂික මහා සම්මේලනයේදී පමණී.
 මෙවැනි මහා සම්මේලනයකින් ලෝකයේ සියලුම රාජ්‍යවල නියෝජිතයන් එක්රැස් කරවන ලද්දේ කවර නම් මහා බලවේගයක් විසින්ද?


එයට පිළිතුර සැපයෙන්නේ දෙවන ලෝක මහා යුද්ධයෙනි. මුළුලොවට ආලෝලණය කළ  ඒ දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වූයේ 1939 යේ සැප්තැම්බර් තුන්වන දින දීය. එය කෙළවර වූයේ 1945 අගෝස්තු 14 වනදායි. ඒ දෙවන මහා යුද්ධය නිමා වූයේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පිළිවෙළින් 1945 අගෝස්තු හයවනදා සහ නවවන දා යන දින දෙකේදී න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙනි. ජපානය යටත් වුනේය. දෙවන ලෝක මහා යුද්ධය කෙළවර වූයේය.


එසේ කෙළවර වූ යුද්ධය පැවැත්තේ ලෝකයේ මහා බලවත් රාජ්‍ය කණ්ඩායම් දෙකක් අතරයි. ඒ දෙකින් අක්ෂ පක්ෂය” යන කණ්ඩායම සැදුනේ ජර්මනිය, ඉතාලිය සහ ජපානය මුල්කොට ගෙනයි. ඒ යුද්ධයට විරුද්ධව නැගී සිටි අනික් කණ්ඩායම නම් කෙරුණේ මිත්‍ර පක්ෂය වශයෙනි. එහි ප්‍රධාන තැන ගත් මහා රාජ්‍ය පහ නම්, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය, බි්‍රතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ චීනයත්ය.


යුද්ධය පැවතුණු අවුරුදු හය තුළ සිදුවූ මහා මිනිස් ඝාතන රැල්ල නිසා සහ මිනිසුන් සතුව තිබුණු නගර, ගම්මාන හා දේපළවලට සිදුවූ ව්‍යසන සහ හානිය නිසාත් ලොව පුරා සාමකාමී මිනිසුන්ගේ සිත් සතන් අත්‍යන්තයෙන්ම පදම්ව ගියේය.


මේ මහා යුද ගින්නෙන් තැවෙන මහා රාජ්‍ය නායකයන්ට සාමයෙහි සිසිල සතු අගය ඉතා හොඳින් දැනුනේ ඒ මොහොතේදීය. එය මෙසේත් විවරණය කළ හැකිය. “අපට ගිම්මාන කාලයේ උණුසුමේ සුවය හරිහැටි දැනෙන්නේ අප, දැඩි සීතල සමයයෙහි ගැහෙන්නට පටන්ගත් විටයි.


මෙසේ දෙවන ලෝක මහා යුද්ධයේ ගිනි ජාලාවලට මැදිවූ රටවල අධිපතිවරු. මානව සමාජයට යළිත් මෙවැනි මහා ව්‍යසනයක් සිදුනොවන පරිදි සාමයට කැපවූ ජගත් මහා සංවිධානයක් පිහිටුවන්නට අධිෂ්ඨාන කොට ගත්හ. එක්සත් ජාතීන්ගේ සංවිධානය” පිහිටුවන්නට මුල් වූයේ ඒ ප්‍රබල සාමකාමී චින්තනයයි. “එක්සත් ජාතීන්ගේ සංවිධානය යන නම ප්‍රථමයෙන්ම භාවිත කරන ලද්දේ ඒ කාලයේ ඇමෙරිකා එක්සත් ජනපද ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් මහතා විසිනි.


 ලෝකයේ ප්‍රබල ජාතීන් හතරක නායකයෝ ඔහු හා සමඟ එක්වූහ. ඒ සිව්දෙනා මෙසේය. බි්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ප්‍රංශ නායක ඩිගෝල් සෙනෙවියා, රුසියානු පාලක ජෝසෙෆ් ස්ටාලින් සහ චීන නායක චියැං කාසිෂෙක්ය.


මේ සාම පුරෝගාමී පස්දෙනා ඉතිහාසගත වූයේ මහ බලවතුන් පස්දෙනා වශයෙනි. ඒ අයගේ පක්ෂයෙහි සිටි වෙනත් රාජ්‍යවල නායකයෝත් ඒ සැලැස්ම අනුමත කළහ.


ඔවුන්ට ධෛර්ය සැපයූ තවත් ඓතිහාසික සිද්ධියක් තිබිණ. මෙයට පෙර පළමුවන ලෝක මහා යුද්ධය නිසාත් ලෝකය කම්පාවට පත්වූයේය. එය පැවතුනේ 1914 සිට 1918 දක්වා කාල පරිච්ජේදය තුළයි. 1914 ජූනි 28 වනදා ආරම්භ වූ ඒ යුද්ධයේ සාමය සිදුවුනේ 1918 නොවැම්බර් 11 වන දායි.


ඒ පළමුවන ලෝක මහා යුද්ධය, එතෙක් මානව ඉතිහාසයෙන් සිදුවූ මහාම සංහාරයයි. එවැන්නක් යළි නොඑනු පිණිස එදා රාජ්‍ය නායකයෝ සාම සංවිධානයක් පිහිටුවා ගත්හ. එය නම් කෙරුණේ “ජාතීන්ගේ සංගමය” වශයෙනි.


එය සංවිධානය කෙරුනේ 1919 යේදීය. එහෙත් එයට අවුරුදු 20 ක් වත් හරිහැටි පැවත සිටිය හැකි නොවීය. ඉන් අවුරුදු 20 කින් පසුව දෙවන ලෝක මහා යුද්ධය පටන් ගත්තේ ඒ ජාතීන්ගේ සංගමය බිඳ වැටීම නිසාය.
 ඒ නපුරු ආදර්ශය පාඩමට ගෙන දෙවන ලෝක මහා යුද්ධයේ මිත්‍ර පක්ෂයේ ප්‍රධානීහු එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රමවත් ලෙස සකස්කොට යන්නට දැඩි ලෙස ඉටා ගත්හ. එහි ආරම්භය සැකෙවින් මෙසේය.
මිත්‍ර පක්ෂයේ රාජ්‍ය පණහක නියෝජිතයෝ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙහි එක්වූහ. ඔවුහු 1945 අප්‍රේල් මාසයේ සිට 1945 ජූනි මාසය  දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥාප්තිය (පනත) කෙටුම්පත් කළහ. ඒ පනත් කෙටුම්පතට නිල වශයෙන් අත්සන් තබන ලද්දේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ ප්‍රධාන ශාලාවකදීය.


 මේ ඓතිහාසික අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අත්පත් කොට ගනු කැමතිනම්, ඇමෙරිකානු සංවිධාකයෝ විශේෂ අංගයක් එකතු කළහ. සාමාජික රාජ්‍ය සංඛ්‍යාව ඒ වන විට 51 ක් වී තිබිණි.


 මේ නියෝජිතයන්ට අත්සන් තබනු පිණිස ඉඳගන්නට ඇමෙරිකානු නිලධාරිහු සිය දේශයේ සිටි ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙකු වෙබ්ස්ටර් විසින් භාවිත කරනු ලැබ ඒ වන විට කෞතුකාගාරයෙක තබා තිබුණු අගනා පුටුවක් ගෙන්වා ගත්හ.


 එහෙත් 1945 ඒ මිත්‍ර පක්ෂයේ රාජ්‍යවල ඇතැම් නියෝජිතයන්ට ඒ ඓතිහාසික පුටුවේ ඉඳගත හැකි නොවීය. හේතුව ඒ නියෝජිතයන්ගේ සිරුරේ තරබාරුතාවයයි. මෙසේ ඒ මහා ඓතිහාසික සිද්ධියට තරමක් හාස්‍ය රසමුසු අංශයක් එක්කරමින් වෙනත් පුටුවක් ගෙන්වා ගන්නා ලදී. මේ පනතට  අත්සන් තබන ලද්දේ 1945 ජූනි 26 වනදා වුවද ඒ ප්‍රඥාප්තිය වලට ද වූයේ 1945 ඔක්තෝබර් විසිහතර වනදාය.


එදා සාමාජික රාජ්‍ය නියෝජිතයන් 51 ක් දෙනෙකුගේ අත්සන් සහිතව පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය, අද මුළු මහත් මානව ඉතිහාසයේම අත්‍යයන්තයෙන්ම ප්‍රබල ජාත්‍යන්තර සංවිධානය බවට පත්ව ඇත්තේය. අද සාමාජික සංඛ්‍යාව 193 ක් බවද අප විසින් පුන පුනා සිහිපත් කළ යුතු වේ.


 මෙසේ “එක්සත් ජාතීන්ගේ සංවිධානය” මුළු මහත් ලෝකයටම බලපාන ලෝක ආණ්ඩුවක් බවට පත්ව සිටී.


මෙතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහි අවුරුදු 73 ක “ජීවන කාලය තුළ ඉටුකරන ලද මහාම ප්‍රාතිහාර්යය නම් තෙවන ලෝක මහා යුද්ධයක් සිදුවීම වළක්වා ගැනීමයි. පළමුවන ලෝක මහා යුද්ධය නිමා වී අවුරුදු විස්සක සුළු කාල පරිච්ජේදයකදීම. දෙවන ලෝක මහා යුද්ධය ඇරඹුණු නමුත් දෙවන ලෝක මහා සංග්‍රාමය කෙළවර වී අදට අවුරුදු 73 ක් ගෙවී ගියත් තෙවන ලෝක යුද්ධයක් නම් පැන නැංගේ නැත.


එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ සා උදාර මානව ජයග්‍රහණයක් ලද හැකි වූයේ එය සකස් වී තිබෙන ආකාරය නිසාය.


 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ප්‍රධාන අංශ හයක් ඇත්තේය. මහා සම්මේලනය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සාමාජික මණ්ඩලය, භාරකාර මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය සහ මහලේකම් අංශයත් වශයෙනි.
මේ හය අතුරින් මහා සම්මේලනය දෙස  බලමු. සියලු සාමාජික රාජ්‍යයන්ගේ නියෝජිතයන් සහභාගි වන ඒ මහා සම්මේලන වාරය, හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ ඇරඹේ.


 මෙවර ඒ මහා සම්මේලනය ආරම්භ වූයේ ස්පාඤ්ඤ ජාතික සභාපතිනි මරියා ෆර්නන්ඩා එස්පිනෝසා මහත්මියගේ ප්‍රධානත්වයෙනි. පනස්හතර හැවිරිදි ඒ පාලනවේදිණිය එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සභාපතිනිය වශයෙන් තේරී පත්වූයේ 2018 සැප්තැම්බර් 18 වනදායි.


ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැප්තැම්බර් විසිපස්වන අඟහරුවාදා මහා සම්මේලනය ඇමතුවේය. ජනාධිපති සිරිසේන මහතා පිට පිටම සිව් වාරයක් ඒ මහා සම්මේලනය අමතා ඇත්තේය. මේ සැසිවාරයේ ප්‍රධාන ලක්ෂණයක් නම් රාජ්‍ය නායකයන්ගේ දේශනයි. ඒ හේතුකොට ගෙන වාර්ෂික මහා සම්මේලනය සමකාලීන ලෝක තත්ත්වය පිළිබඳ උසස් මට්ටමේ විවරණයකුත් වැනිවේ. මේ මහා සම්මේලන වාරයට සහභාගි වෙමින් ජනාධිපති සිරිසේන මහතා මේ 73 වන මහා සම්මේලන සැසිවාරය ආශ්‍රිතව පැවැති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවට ද එක් වෙමින් මැන්ඩෙලා මහතාගේ නාමයට උපහාර පිරිනැමුවේය.


 මහා සම්මේලන වාරයේදී එළඹෙන තීරණවල බලපෑම කෙබඳු වුවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණවලට එකඟවන්නට සාමාජික රාජ්‍ය බැදී සිටිති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය” සැදෙන්නේ මහා බලවත් රාජ්‍ය පහේ නියෝජිතයන්ට ස්ථාවර සාමාජිකත්වය සැපයෙන ගමන් තාවකාලික සාමාජිකත්වය සඳහා සෙසු රාජ්‍ය දහයක නියෝජිතයන් වරින් වර නම් කිරීමෙනි. මහා ජාතීන් පහේ නියෝජිතයන්ට නිශේධ බලය හිමිය. අන් හැමෝම එකඟ වුවත් මහා රාජ්‍ය පහෙන් එකක් යම් යෝජනාවකට විරුද්ධ වී නම් ඒ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යූහයෙහි තවත් එක් අංගයක් නම් ආර්ථික හා සමාජ මණ්ඩලයයි. භාරකාර මණ්ඩලය ද එහි ප්‍රධාන අංශ හයෙන් එකක් වුවද එහි ක්‍රියාකාරිත්වය සාර්ථක වූ නිසා ඒ මණ්ඩලය දැන් ක්‍රියාකාරී නොවේ. ඒ මණ්ඩලය සතුව පැවැති කාර්යය වූයේ අලුතින් නිදහස ලබන රාජ්‍යවලට, ස්වාධීන පාලනයක් පවත්වා ගන්නට ආධාර කිරීමයි. දැන් එවැනි ආධාර අවශ්‍ය වන අලුතින් නිදහස් රාජ්‍ය නැති නිසා භාරකාර මණ්ඩලය අකර්මණ්‍යයි.


 පස්වන අංශය වන්නේ ජාත්‍යන්තර අධිකරණයයි. එහි ප්‍රධාන කාර්යාලය පිහිටියේ නෙදර්ලන්තයේ හේග් හිය.


 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොළය හා හදවත වශයෙන් සැළකෙන හයවන අංශය නම් මහලේකම් කාර්යාලයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා “මුළු ලොවටම නායකයෙකු” වැනිය. මේ ජගත් සංවිධානයේ පූර්ණ වගකීම් සම්භාරය මහලේකම්වරයා සතුය. මෙතෙක් ඒ පදවිය දැරූ සහ අද ඒ ධුරයේ සිටින පාලනවේදී කණ්ඩායම මෙසේය. 1. ටි්‍රග්විලී (නෝර්වීජියානු) 1946 සිට 1952 2. ඩැග් හැමර්ෂල්ඞ් (ස්වීඩන්) 1953 සිට 1963 රාජකාරියේ යෙදී සිටියදී අභාවයට පත්වූ එකම මහලේකම්වරයා මොහුය. 3. ඌතාන්ට් (බුරුම) 1961-1971 මෙතෙක් මහලේකම් පදවිය ලද එකම බෞද්ධයා 4. කුර්ට් වෝල්ඞ්නෛම් (ඕස්ටි්‍රයා) 1972-1981 5. හවියේ පෙරේස් ද ක්වේයා (පේරු රාජ්‍යය) 1982-1991 6. බූත්‍රෝස් බූත්‍රෝස් - ඝලී (මිසර) 1992-1996 7. කොෆි අනාන් (ඝානා) 1997-2006 අනාන් මහතා නොබෝදා අසූහැවිරිදිව අභාවයට පත් විය. 8. බැන් කි මූන් (දකුණු කොරියාව) 2007-2016 9. (වර්තමාන) අන්තෝනියෝ ගුවෙටරීස් 2017-(පෘතුගීසි)


මේ ප්‍රධාන අංශ හයට අතිරේකව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් විශේෂ ආයතන රැසක් ඇත්තේය. අවුරුදු 73 ක දිගු කාල පරිච්ජේදයක් මුළුල්ලේ ලෝකයට තෙවන ලෝක මහා සංග්‍රාමයක විනාශකාරී තර්ජනය නොඑළඹෙන පරිදි සාමය රැකගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එපමණකින් වුවද අතිශයින්ම සාර්ථක යැයි කිව හැකිය.


 එහෙත් එහි විශේෂ ආයතන කිහිපයක් සලකා බලමු. මානව වංශය පෙළාලු දරුණු රෝග රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහමුලින්ම නැතිකොට දමන ලදී. ලොව පුරා අහිංසක ළමුන් කෝටි ගණනකගේ ජීවිත, ප්‍රබල රෝගවල ග්‍රහණයෙන් වළකා ළමුන් උදෙසා අයිතිවාසිකම් ගණනක්ද තහවුරු කළ යුනිසෙෆ් ආයතනය වැන්නක්, ලෝක ඉතිහාසයෙහි මෙයට පෙර කිසි කලෙක දරුවන්ගේ පිහිට සඳහා තිබුණේ නොවේ. යුනෙස්කෝ ආයතනය විසින් මානව සංහතිය සතු මහා කලා නිධාන රැක ගනිමින්, සොබාවික සම්පත් සුරකින තැනට කෙරෙන මහා මෙහෙය, මිනිස් වගට ආශිර්වාදයකි. පාරිසරික ව්‍යාපෘතියෙන් ලොවට කරන ලද අනතුරු ඇඟවම නිසා නොවේ නම් මේ වන විට මානව ජනපද බොහෝමයක් වල්බිහි වන්නට ද ඉඩ තිබිණ. ඒ සියල්ලටම වඩා වටනේ ඉතා කුඩා දේශයකට පවා ඉමහත් ගර්වයකින් හා ශක්තියකින් ජගත් ජන මණ්ඩලයේ යහපත් තැනක් ලබා දෙන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැල්ම ලද හැකි වීමේ භාග්‍යයයි. ඇතැම් රටවල් විසින් ස්වශක්තියෙන් ඉදිකොට ගත නොහෙන, ව්‍යාපෘති ක්‍රියාදාම සඳහා සහාය වීමෙන් සංවර්ධිත සිහින සැබෑ කොට ගන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිහිට ලද හැකි වීම, මානව ප්‍රගතිය සඳහා අගනාකාරයෙන් කෙරෙන අත දීමකි.


 තවත් මහා මෙහෙයක් දෙසට සිත යොමුකළ යුතුමය. අරගල, ඝට්ටන, යුද කල කෝලාහල ආදියෙන් කෙළවර වී ව්‍යසන සම්භාරයකින් මානව ඉරණම වැසී යෑමට ඉඩ නොදී සාකච්ඡා සම්මේලන, සුහදව අදහස් හුවමාරුව වැනි ශිෂ්ට මර්ග ඔස්සේ ගොස් අර්බුද නිරාකරණය කොට ගන්නට අද මානව සමාජය පුරුදු වූයේ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් සහ  ආදර්ශයෙනි. මේ සම්මන්ත්‍රණ ශෛලියෙන්, අර්බුද නිරාකරණය කොට ගැනීමේ පුරුද්ද කොයි තරමකට සමාජගතව, මුල් බැසගෙන තිබේද යත් ඇතැම් විට  අපේ රටේ සම්මන්ත්‍රණ පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත් වේ. (ඉංගිරිසියෙන් සෙමිනාර්ස් ඔන් සෙමිනාස්)


අවුරුදු ලක්ෂ ගණනක් මුළුල්ලේ මානව සන්තානවල රැදී වැදී තිබුණු අයහපත් දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වුවද අවුරුදු 73 ක නිමේෂයකින් මුලිනුපුටා ලිය නොහේ. ඒ නිසා ඇතැම් ගුණ තාමත් මානව සමාජයේ හරිහැටි විසදී නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පැවරීම, පුරුද්දක් වශයෙන් සිදුවීගෙන ගිය සමයක් තිබිණි. මුල් සමයේදී වරක් පිලිපීනයේ පාලන තන්ත්‍ර වේදියෙක් මෙසේ පැවසුයේය.


“එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී වරප්‍රසාද සහිත රාජ්‍යයක් සහ වරප්‍රසාද විරහිත රාජ්‍යයක් අතර ගැටුමක් ඇතිවුවහොත් වරප්‍රසාද විරහිත  රාජ්‍යය නැතිවේ.  වරප්‍රසාද සහිත රාජ්‍ය දෙකක් අතර අරගලයක් ඇතිවුවහොත් අරගලය නැතිවේ. වරප්‍රසාද සහිත රාජ්‍යයකුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අතර ගැටුමක් ඇතිවුවහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නැතිවේ.


අබාස් එබාන් නම් ඊශ්‍රාලීය පාලන තන්ත්‍රවේදියෙකුගේ කියමන මෙසේය. “එක්සත් ජාතීන්ගේ සංවිධානය, වහින වේලාවට ඇකිලෙන කුඩයක් වැනිය.” එවැනි දෝෂ දර්ශන මැද්දේ කෙමෙන් හීන වන ආයෝජන ප්‍රමාණය පිළිබඳ බැරෑරුම් තර්ජනයට මූණ පාමින්  එක්සත් ජාතින්ගේ  සංවිධානය මේසා පෘථුල මානව මෙහෙයක් ඉටුකිරීම සත්‍යයෙන්ම ප්‍රාතිහාර්යයකි. අපි ඒ හාස්කම රැකගතිමි.

 

 


මොටෝ රියක අද්භූත චරිත කතාව

 ජර්මනියේ නිපදවන ලද “ෆෝක්ස්වැගන්” වර්ගයේ මොටෝ රථය ඉතාම විචිත්‍ර ඉතිහාසයක් සහිත රියකි. ජර්මන් ආඥාදායකව සිටි ඇඩොල්ෆ් හිට්ලර්ට පොදු ජනතාව උදෙසා මිල පහසු නඩත්තුව ලිහිල් වූ මෝටෝ රියක් තනවන්නට ඕනෑ වූයේය. “ෆෝක්ස්වැගන්” (පොදුජන රථය) ඒ අවශ්‍යතාවයෙන් බිහිවූ නිර්මාණයයි.


හිට්ලර්ගේ යුගයෙහි සිටි හයින්ස් නෝඩොෆ් නම් මෝටෝ රථ නිර්මාණ ශිල්පියාට මේ ව්‍යාපෘතිය භාර දෙන ලදී. ඔහු විසින් සැලසුම් කළ මෝටෝ රිය අපූරුය. එය කුරුමිණියෙකු සේ” වකුටුය. ඒ නිසා එය “බග් බීට්ල් යන පදවලින් ද හැඳින්වින. එහි ඇන්ජිම සිසිල් කරන්නට ජලය අවශ්‍ය නොවීය. වායුවෙන්ම සිසිල් වේ. ඒ නිසා එය කාන්තාරයට වුවත් සුදුසුය. ඇන්ජිම සෙසු රියවල මෙන් ඉදිරිපසින් නොව පසුපසින් සවි කොට තිබිණ. රථයේ යන එන අයට ඇන්ජිමේ ශබ්දයෙන් බාධා නැතිව කතා බහ කළ හැකි විය. මුල් කාලයේදී මේ පිළිබඳ සිනා කථාත් බහුලව තිබුණේය. යහළුවෝ දෙදෙනෙක් “ෆෝක්ස්වැගන් දෙකක් අලුතින් මිලයට ගෙන හාපුරා කියා ගමනක යෙදුනහ. එක් රියක් හිටිහැටියේ නැවතින. රිය හිටියා. ඉස්සරහා ආවරණය ඔසොවා බලා මෙසේ කීයේය. පුදුමයක්යැ. රථය නැවතී තිබෙන්නේ ඇංජිම වැටිලා. ඉස්සරහ ඇංජිම නෑ. යාළුවා ඒ අතර සිය රථය පිරික්සා බැලුවේය. පසුපස ඇංජිම ඔහුට පෙනුණේය. “යාළුවා මට අතිරේක ඇංජිමක් දීලා තිබෙනවා. මගේ රථයේ පිටිපසට. මෙසේ ජනප්‍රිය වූ ෆෝල්ක්ස් රිය ජර්මනියේ මධ්‍යම පාන්තිකයන් අතර බොහෝ සේ අලෙවි විය. පසුව යුද්ධය නිමා වීමත් සමගම ඇමෙරිකාවේද මේ ෆෝක්ස්වැගන් ජනප්‍රිය වූයේය. එහෙත් අලුත්ම ආරංචිය නම් ලබන අවුරුද්දේ ජූලි මාසයේ සිට මේ “ෆෝක්ස්වැගන්” රථය නිපදවීම නවත්වන බව ඒ කර්මාන්ත ශාලාව විසින් සැප්තැම්බර් 13 වනදා ප්‍රකාශ කිරීමයි.

 


 

 

 

පරාජය දිනාගෙන මහ ධන කුවේරයෙකු වීම

 

නම:- ජැක් මා යුන්, ජනප්‍රිය නම ජැක් මා


 උපත:-  1964 ඔක්තෝබර් 15


මේ ජැක් මා අද ලෝක ප්‍රසිද්ධ ධන කුවේරයෙකි. ඔහු චීනයේ මහා ධනවතුන් අතර තෙවැන්නාය. එහෙත් ඔහු ජීවිතය ඇරඹුවේ දුක් කම්කටොළු මධ්‍යයේය. එදා ඔහු යන්තම් දිවිපෙවත උපයා ගත්තේ ඉංගිරිසි උගැන්වීමෙනි. ඔහු රැකි රක්ෂා සඳහා කළ ඉල්ලීම් තිහක්ම ප්‍රතික්ෂේප විය.


ඉන් සසල නොවී 1999 යේදී ඔහු සිය නිවසට, කාර්යාලය කොට ගෙන විද්‍යුත් මාධ්‍යයෙන් භාණ්ඩ  අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තේය. ගනුදෙනුකරුවන්ට අවශ්‍ය හැම දෙයක්ම අලෙවි කළේය. හෙතෙමේ “කූරු (මිටි) ඉත්තෑවන් පවා අලෙවි කළේය.


ව්‍යාපාරය, සිතුවාටත් වඩා හොඳින් සාර්ථක විය. අද ඔහු පනස්තුන්වන වියේදී ලෝකයේත් මහ ධන කුවේරයෙකි. ඔහුගේ ව්‍යාපාරයේ නම අලිබබා. ඔහුගේ ව්‍යාපාරයේ අද වටිනාකම ඩොලර් බිලියන 400 කි. (ඩොලර් කෝටි 40,000) දවසකට ඔහුගේ ආයතනයෙන් යැවෙන පාර්සල් සංඛ්‍යාව පන්කෝටි පනස් ලක්ෂයකි. චීනයේ සම්ප්‍රදායිකව නොවැම්බර් 11 වනදා “තනිකඩයන්ගේ දවස සේ සැලකේ. ඔහු ඒ දිනය ඉතා ඉහළ ආදායම් උපයන දිනයක් බවට පත් කළේය. ගිය වසරේදී ඔහු ඒ දිනය ආශ්‍රිත ගනුදෙනුවලින් ඩොලර් බිලියන 25 ක් (ඩොලර් කෝටි 2500 ක්) උපයා ගත්තේය. ඔහු ලබන වසරේ විශ්‍රාම ගන්නා බව දැනුම් දුන්නේය. විශ්‍රාම ජීවිතයේදී ඔහු ත්‍යාගශීලීව පරෝපකාරයේ යෙදෙන්නට අදහස් කරයි.

 


හිස්වැසුමට අස් වැසුමක්


 එක් තැනැත්තෙක් හැම විටම පැළඳ සිටියේ තමන්ට සුපුරුදු පැරණි හිස්වැසුමමයි. කොපමණ කීවත් ඔහු ඒ පරණ හිස්වැසුම අත් නොහරී.


වරක් ඔහුගේ උපන් දිනයේදී ඔහුගේ භාර්යාව, ඉතා ලස්සන, අලුත්ම අලුත් මෝස්තරයේ හිස්වැසුමක් ත්‍යාග කළාය.


 සැමියා, පැරණි දිරාපත් හිස්වැසුම පසෙක තබා පසුදා අලුත් හිස්වැසුම පැළඳගෙන කාර්යාලයට ගියේය.


 තමාගෙන් පිදුණු උපන්දින ත්‍යාගයට ගරු කිරීම ගැන භාර්යාව සතුටු වූවාය.


 එහෙත් ඉන් පසුවදා ඒ පුරුෂයා අලුත්ම අලුත් හිස්වැසුමට “ඇස්වැසුමක් දී නැවත පැරණි පුරුදු හිස්වැසුම පැළඳගෙන ගියේය. දිගටම ඔහු පළැන්දේ පරණ හුරු ඒ දිරාපත් හිස්වැසුමයි.


 භාර්යාවට කුමක් සිතෙන්ට ඇද්ද?

 


ලෝකයේ පැරණි පොත්

ගිරා සංදේශය

 

සිංහල සාහිත්‍යයෙහි එන සංදේශ කාව්‍ය අතර දීර්ඝතම නිර්මාණය මේ ගිරා සංදේශයයි. එහි ගද්‍ය පද්‍ය අංශ 254 කි. මෙය සවන පැරකුම්බා නරපතීන් සමයෙහි විරචිතය.


 මෙහි අරමුණ, ගිරවෙකු ලවා විජයබා විරුවන් හි නායක තොටගමුවේ සිරි රහල් නාහිමියන්ට සංදේශයක් පිළිගැන්වීමයි. ඒ සන්දේශයෙන් තොටගමුවේ මා හිමියන්ගෙන් අයැද සිටින්නේ සවන පැරකුම්බා නර නිදුන් ආරක්ෂා කොට දෙන සේ නාථ දෙවියනට ආයාචනා කරන්නටයි.


 මේ ගිරා සංදේශයේ කතුවරයාණන් පිළිබඳ කවර හෝ සටහනක් ඒ කෘත්‍රියේ නොඑයි. එසේ වුවද කතුවරයාණන් තොටගමුවේ යතිඳුන් කෙරේ දැක්වූ අසීමිත ගෞරවාදර භක්තිය කෘතියෙන් ඉතා ව්‍යක්ත ලෙස පළවේ. මේ ගිරා සංදේශයේ අතිඋච්ච අංශයක් අන්තර්ගත වේ. ඒ නිර්මාණ ප්‍රදේශය නම් “අම්බලමේ කතා” නම් අංශයයි. විවේක ස්ථානයකට එකතු වූ  විවිධ තරා තිරමේ පිරිස් අතර ඇතිවන කතාබහ ශ්‍රී ලංකාවේ වෙන අන් කිසිම කෘතියක වාර්තා නොවේ. ඒ නිසා මේ අංශය අතිශයින්ම ළගන්නා, රචනා පෙදෙසකි. එදිනෙදා ප්‍රවෘත්ති ද එහි පද්‍යමය වාර්තා බවට පරිවර්තනය වේ. නිදසුනක් “මෙනර් පවරායා/ හළ නැව් වඩු පුරායා/ අතර උදුරායා/ ගතැයි රායන් වලවරයා”
ගිරා සංදේශය, සාහිත්‍යකාමීන් විසින් අලුතින්  රසාස්වාදයට ලක්කළ යුතු ගුණ බහුල ප්‍රශස්ත කෘතියකි.

 


RECOMMEND POSTS

RELATED POSTS