අවි රහිතව මහ අධිරාජ්‍ය මෙල්ල කළ අහිංසා වීරයා



 

“මහත්මා ගාන්ධි සාමාන්‍ය වර්ගයේ නායකයෙක් නොවේ. එතුමන්ට දේව ආභාසය ලැබිනැයි ඇතැම්මු විශ්වාස කරති. ඒ විශ්වාසය සමග එක් නොවී සිටීම අපහසුය. හිරෝෂිමා නාගසාකි විපත්තිය අප මත පුපුරා ගිය සමයෙක අහිංසා වාදය ගැන උපදෙස් දෙන්නට තරම් එතුමා අභීත විය. විද්‍යා තාක්ෂණික සහ ධණවාදී ව්‍යාපාර විසින් ආචාර් ධර්ම හා සුචරිත චර්යා නිරර්ථක දේ බවට පත්කොට සිටි සමයෙක ආචාර ධර්මානුකූල වෙන්නැයි සුචරිතවාදයට ගරු කරන්නැයි එතුමෝ උපදෙස් දුන්හ. ආත්මාර්ථය තැකීම වෙනුවට සමූහයක සුබසෙත ගැන සැළකීමට එතුමා මුල්තැන දුන්නේය. එහෙත් එතුමා පුද්ගලයාගේ අගය අඩු කළේ නොවේ.”
දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා (1918-2013)

 

සෑමදාම සැමවිටම මානවයාගේ චින්තනය කෙරේ බලපාන මහත්මා ගාන්ධි වැනි ඉසිවරයකු ගැන වර්ෂයකට වරක් හෝ දෙකක් පමණක් සිත් යොමු කිරීම කිසිසේත් සුදුසු නොවේ. මක්නිසාදයත් මිනිස් හද ගැස්ම මෙන්ම එතුමාගේ සාමකාමී අහිංසා වාදයත් හැම විටම මානව සන්තානය කෙරේ බලපාන හෙයිනි.


සංස්කෘතියට දිගු ඉතිහාසයක් ඇත්තේය. ඒ ඉතිහාසය මුළුල්ලේ ඉන්දියානු අර්ධ මහාද්වීපය විසින් ආධ්‍යාත්මික වීරයන් බොහෝ දෙනෙක්ම මිනිස් සමාජයට තිළිණ කරන ලදී. ඔවුහු සනාතනිකයහ. එමෙන්ම ඒ මහාවීරයෝ මුළු මානව වර්ගයාටම අයත් වෙති.


මිනිස් සමාජයෙහි මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ටතම පුද්ගලයා වශයෙන් ජගත් සම්මානිත සම්මාසම්බුදු හිමියෝ පූජනීය වෙති.


ඉන් පසුව සමයයන්හි දඹදිව පහළ වූ ඇතැම් ආධ්‍යාත්මික නායකයන් තුළත් ඒ සම්මා සම්බුදු ලක්ෂණ තරමකට හෝ තැනපත්ව තිබිණ. ඒ මහා ගුණ සම්භාරය, හින්දු සම්ප්‍රදායයෙන් දඹදිව සංස්කෘතියට එක්වූ ගුණ මහිමයි. 
අභිනිෂ්ක්‍රමණය, තපෝවෘත, අත්තකිලමතානු යෝග ක්‍රම සහ දැඩි ආධ්‍යාත්මක ශික්ෂණයක් එවැනි චර්යාවලින් කිහිපයකි.


මෑත යුගයේදී ඉන්දියාවේ පහළ වූ ස්වාමි විවේකානන්ද, රවීන්ද්‍රනාත් තාගෝර් වැනි ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ චරිතවලින්ද ඒ ආධා්‍යාත්මික ගුණ තරමකට හෝ ප්‍රකාශ වූයේය. රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ළමා කාලයත් තරමකට සිදුහත් කුමරුගේ බාල සමයට සමානය. තාගෝර් දරුවා වැඩුණෙත් අතිශයින්ම ආරක්ෂිතවයි.


ගාන්ධි තුමාගේ චරිතයටද මෙවැනි ඇතැම් ගුණ සාධාරණය. ළමා සමයයෙහි පටන්ම එතුමා ආත්ම ත්‍යාගයෙන් සේවයේ යෙදුණේය. තමන්ගේ චරිතයේ විභූතිය ප්‍රදර්ශනය කිරීමේ ගතිය එතුමා සිතාමතාම ප්‍රතික්ෂේප කළේය. එතුමාගේ මුත්තනුවන් දක්වා පරම්පරා තුනක් මුළුල්ලේ එතුමාගේ මුතුන් මිත්තෝ කකියවාල් ප්‍රාන්තයේ රාජ්‍ය කිහිපයක අගමැතිකම කළහ.


මෙසේ ළමා ගාන්ධි පැවත ආයේ වරප්‍රසාද සහිත පවුල් පසුබිමකිනි. එහෙත් මහත්මා ගාන්ධි මුල සිටම කියා සිටියේ ඔහුගේ පරම ජීවන අරමුණ නම් “මෝක්ෂය” ලබාගැනීම බවයි. මහත්මා ගාන්ධිගේ පියා වූයේ කරම්චාන්ද් ගාන්ධිය. කබා ගාන්ධි වශයෙන්ද ඔහු හැඳින්විනි. ගාන්ධි තුමාගේ පියාවන කබා ගාන්ධි වරක් පෝර්බන්ඩාර්හි අගමැති පදිවියේද සිටියේය.


මහත්මා ගාන්ධිගේ පියා සිව් වතාවක් විවාහ වූ අයෙකි. මත්මායා ගාන්ධි සිය පියාගේ සිව්වන භාර්යාවගේ බාලම දරුවායි. පසු කලෙක සිය පියාගේ විවාහයන් ගැන තැන්පත් සන්සුන් ප්‍රකාශයක් කරමින් ගාන්ධිතුමා මෙසේ පැවැසුවේය. “තරමකට ඔහු (සිය පියා) මෛථූන ආශා සපුරා ගන්නට කැමැත්ත දැක්වූයේ විය හැකිය.”


මහත්මා ගාන්ධි උපන්නේ 1869 ඔක්තෝබර් මස දෙවනදායි. උපතේදී ලද නම මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි.


වයස 13 දී ඔහුට දැඩි හින්දු සමයාගත සම්ප්‍රදායට අනුගතවෙමින් විවාහ ප්‍රාප්ත වන්නට සිදුවිය. ඔහුගේ භාර්යාව වූයේ 14 වියේ කස්තුරිඛායි දැරියයි.


පාසල් ශිෂ්‍යයකු වශයෙන් ගාන්ධි දරුවා විශිෂ්ට දක්ෂතා පෑවේය. ඔහු විවිධ ත්‍යාග හිමිකොට ගත්තේ එතරම් වෙහෙසක් දරන්නේ නැතිවමය.


පවුලේ කැමැත්තට හිස නමා යොවුන් ගාන්ධි නීතිය හදාරණු පිණිස එංගලන්තය බලා යාත්‍රා කළේය. විස්මයකට මෙන් ගාන්ධි තුමාගේ ආධ්‍යාත්මික ප්‍රගතියටද ලන්ඩන් සංචාරය අතිශයින් ප්‍රයෝජනවත් විය. සර් එඞ්වින් ආනල්ඞ් විද්වතා විසින් කරන ලද “භගවත්ගීතාවේ” අනුවාදය මහත්මා ගාන්ධි කියවා ගත්තේ ලන්ඩන්හිදීය.


ඉංගිරිසි අනුවාදයේ නම සෝං සෙලේෂල් එපමණක් නොවේ. සර් එඞ්වින් ආනල්ඞ් විසින් විරචිත ලයිට් ඔෆ් ඒෂියා (ආසියා ආලෝකය) නම් වූ බුද්ධ චරිත මහා කාව්‍යයද මහත්මා ගාන්ධි කියවා ගත්තේ ලන්ඩන් හිදීය. තමා “ආසියා ආලෝක” මහා කාව්‍යය කියවා ගත්තේ සර් එඞ්වින්ගේ “භගවන් ගීතා” අනුවාදය කියවීමට දැක්වූ උද්‍යොගයටත් අධික ආශාවකින් යැයි මහත්මා ගාන්ධි විසින් ලියා ඇත්තේය. මේ සියල්ලේම ප්‍රතිඵලය වූයේ ලන්ඩන් නගරයේදී මහත්මා ගාන්ධි තුළ අපූරු සාමයික ප්‍රබෝධයක් උද්ගතවීමයි.


ලන්ඩන්හිදී ලද මුහුකුරා ගිය බුද්ධියත් නීති විශාරදත්වයත් සහිතව ගාන්ධි තුමා පෙරළා සිය රටට ආයේය. එහෙත් සිය දේශයේ පරිසරය නිසා ගාන්ධිතුමා ප්‍රබල ලෙස බලාපොරොත්තු කඩවීමකට මූණපෑයේය. එයට හේතු වූ කරුණු කිහිපයක් විය. ඔහු ආපසු එනවිට දෙමාපියන් අභාවයට පත්ව ගොස්ය. එසේම සිය දේශයේ රැකී රක්ෂා අවස්ථාද එතරම් බහුල නොමැති බව එතුමා වටහා ගත්තේය. මෙහි ප්‍රථිඵලය වූයේ ලද ආරාධනාවයක් පිළිගෙන මහත්මා ගාන්ධි දකුණු අප්‍රිකාවට යෑමයි.


දකුණු අප්‍රිකාව විසින් මහත්මා ගාන්ධි චරිතය සහමුලින්ම වෙනස් කෙරුණේය. එහි පැවති “අපාටයිට්” (වර්ණ භේද වාදය) නම් වූ කෲර, මානව අසාධාරණ ව්‍යාපාරය නිසා ඔහු දැඩි ලෙස කම්පාවට පත්විය. අචල ආත්මත්‍යාගී මානව හිතවාදී දර්ශනයකට ඔහු දැඩි ලෙස සිය ජීවිතය කැප කරන්නට ඉටා ගත්තේ දකුණු අප්‍රිකාවේදීය. අසරණ වරප්‍රසාද විරහිත දිළිඳුකමින් බැටකන වහලුන් සේ තාඩන පීඩනයට ලක්වූ දුක්ඛිත මිනිසුන් වෙනුවෙන් සටන් කරන්නට ගාන්ධි සැරසී ගත්තේ එහිදීය.


ගාන්ධිතුමාගේ ඒ ආධ්‍යාත්මික විකාශනය ශ්‍රේෂ්ඨ දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා නම් මානව හිතවතා විසින් වාර්තා කෙරෙන්නේ මෙසේය.


“ඉන්දියාව ගාන්ධි තුමාගේ ජන්ම භූමියයි. එහෙත් දකුණු අප්‍රිකාව එතුමා හදාවඩාගත් දේශයයි. ඉන්දියාවේ මෙන්ම දකුණු අප්‍රිකාවේත් පුරවැසියකු වූ ගාන්ධි තුමාගේ බුද්ධ ප්‍රතාපයට මෙන්ම එතුමාගේ ආචාර ධර්ම ගරුක භාවයටත් මේ දෙරට විසින්ම පසුබිම සකස් කෙරුණේය. එතුමා මේ යටත් විජිත රාජ්‍ය දෙකේම විමුක්ති ව්‍යාපාර හැඩ ගැස්වූයේය. ගාන්ධි තුමා වයස විසි තුනේදී 1893  දකුණු අප්‍රිකාවට ගියේය. වර්ණය හේතුකොටගෙන මිනිසුන්ට පමුණුවන වධ හිංසා දැකීමෙන් ගාන්ධිතුමා අත්‍යයන්තයෙන්ම කම්පාවට පත්වුවද එතුමා දකුණු අප්‍රිකාව අත්හැර දමා ගියේ නැත. ඔහු රැඳී සිටියේ මිනිසුන් තුළ යළිත් මිනිස්කම රෝපණය කරනු පිණිසය. මහත්මා ගාන්ධි අවුරුදු 21ක් දකුණු අප්‍රිකාවේ සිටියේය.


ඔහු සිය දේශයේ විමුක්ති අරගලය සංවිධානය කරන්නට කැපවී පෙරළා ඉන්දියාවට ගියෝ උපවාසය සත්‍යග්‍රහ අහිංසා යන අනභිබවනීය “අවි” රැගෙනයි. ඒවා “මහත්මා” කෙනෙකුට ඉතාම උචිත ආයුධයි.


ඉන්දියාවේ විමුක්ති සටනෙහි දිවි නොතකා නිමග්න වූ මහත්මා ගාන්ධිට උපවාස, බන්ධනාගාර ආදිය සාමාන්‍ය දේ බවට පත්විය. මහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට පටහැනි සටනේදී මහත්මා ගාන්ධි විසින් සංවිධානය කරන ලද ප්‍රබලතම විරෝධතා ව්‍යාපාරය වූයේ අහමද්බාද්හි සිට අරාබි මුහුද දක්වා කළ “ලුණු” පා ගමනයි. මහත්මා ගාන්ධි මේ සැතපුම් 200  පා ගමන දින විසිහතරකදී නිමා කළේය. ගමන් අතරමග නතර කළ හැම තැනකදීම එතුමා ජනතාව ඇමතුවේය. ගමනට එක්වන්නට ඔවුන්ට ආරාධනා කළේය. ආරම්භයේදී එයට සහභාගි වූයේ අතළොස්සක් දෙනෙකි. අන්තිමේදී මේ “ලුණු” සංචාරය කිලෝමීටර් තුනක් දිග “පෙරහැරක්” බවට පත්විය. “ලුණු සංචාරය” නමින් ඉතිහාසය දන්නා මේ පා ගමන මෑත ඉතිහාසයේ දිගම ජන පේලිය සහිත චාරිකාව විය හැකිය. එදා එක් බි්‍රතාන්‍ය පාලනවේදීයෙක් මේ ගමන ගැන සිය අදහස පළ කළේ මෙසේය. “මෙය මානව ඉතිහාසයේ ඉතාම දිගු අත්හදා බැලීම විය හැකිය”.


මෙහි මහාම විස්මය නම් මේසා දැවැන්ත මහා අධිරාජයයකට විරෝධි සටනේ ප්‍රධානියා වූ පුද්ගලයායි. ඒ නිදහස් අරගලය “හදවත” වූ පුරුෂයා දුබල පුද්ගලයෙක් විය. ඔහුගේ ජීවින චර්යාව අති සරළය. ඔහුගේ ශික්ෂණය අති ප්‍රබලය. හැම සඳුදාම ඔහුට “නිශ්ශබ්ද” දිනයක් විය. ඔහුගේ ආහාර පාන නිර්මාංශය. ඔහු හැමදාම සුළු වේලාවක් සිය චර්කාවෙන් නූල් තැනුවේය. ඔහුගේ හිතවතුන් හා ශිෂ්‍යයන් විසින් ඔහුගේ ලිඛිත වචන හා කතා කළ වචනත් එක්රැස් කරන ලදී. ඒවා එක්රැස් කළ විට ඒ සියල්ලට කාණ්ඩ නවයක් අවශ්‍ය විය. නිශ්ශබ්ද දිනයේදී හැරෙන්නට අන්දිනවල ඕනෑම වේලාවක නාන කාමරයේදී පවා ඔහු ඕනෑම කෙනෙකුගේ බසට සවන් දුන්නේය. බොහෝවිට ඔහුගේ උඩුකය ආවරණය නොවීය. සාමාන්‍යයෙන් ඔහු ඇන්දේ රළු රෙද්දෙන් කළ ධෝතියකි. ඔහුගේ උතුරු සළුවද ඒ රළු රෙද්දෙන්ම කරන ලද්දේ විය.


ඔහු සතුව තිබුණු ලෞකික වස්තු සංඛ්‍යාව අතළොස්සකි. ඔහු පැළඳ සිටියේ ලී සෙරෙප්පු කුට්ටමකි. තරමක් දිග සැරයටියක් ඔහු සතුව තිබිණි. ඔහුගේ පසුම්බියේ තිබුණේ කුඩා ඔරලෝසුවකුත් පුංචි කැටයමකුත්ය. ඒ කැටයමෙන් දැක්වූයේ වඳුරන් තුන් දෙනෙකි. ඉන් එකෙක් දෑතින් ඇස් වසාගෙන සිටී. ඊට යටින් මෙසේ ලියවී ඇත්තේය. “කිසිම නපුරු දෙයක් නොදකිමි” දෙවන වඳුරා අත්දෙකෙන් කන්දෙක වසා සිටී. “නපුරු කිසිවක් නොඅසමි”යි ඒ යට වැකියෙන් කියවේ. තුන්වැන්නා දෑතින් කටවසාගෙන සිටී. “නපුරු කිසිවක් නොකියමි”.


ඔහු සතු අනික් ලෞකික වස්තුව වූයේ චර්කාවයි. කපු කටින රෝදයයි. 


ගාන්ධිගේ වඳුරන් තිදෙනා අද ලොව හැමෝටම සුදුසුයැයි මට සිතේ.


මහත්මා සිය සටන කරගෙන ගියේ ලෝක ඉතිහාසයේ පහළ වූ මහාම අධිරාජ්‍යයට පටහැනිවයි. ඒ බි්‍රතාන්‍ය අධිරාජ්‍යය හඳුන්වන ලැබුවේ “ඉර නොබසින අධිරාජ්‍යය” යන ප්‍රශංසාත්මක යෙදුමෙනි.


මේ “දුබල” අහිංසාවාදී පුද්ගලයාගේ සටන සාර්ථක විය. බි්‍රතාන්‍ය පාලකයෝ සිය ඉන්දියාව අත්හැර යන්නට සැරසුනහ.


එහෙත් ඒ සා ජයග්‍රහණයක ප්‍රබල වේගය වූ මහත්මා ගාන්ධි ඉන්දියාවේ නිදහස් මොහොතෙහි සිටියේ අත්‍යන්ත ශෝකයෙනි. එදා කෝටි හතළිහකගෙන් සැදුණු ඓතිහාසික ඉන්දියාව කොටස් තුනකට බෙදුනේය. නැගෙනහිර පාකිස්තානය, ඉන්දියාව හා බටහිර පාකිස්තානය වශයෙනි.


ඉන්දියාවේ අවසාන ප්‍රතිරාජයා වූ මවුන්ට් බැට්න් සාමි විසින් ගෙන්වන ලද සිරිල් රැඞ්කලිෆ් නම් බි්‍රතාන්‍ය සිවිල් නිලධාරියා රට තුනට බෙදුවේ ඉතා අදිසියෙනි. එහි ප්‍රතිඵලය වූයේ ඇතැම් තැනකදී ගොවියාගේ නිවස ඉන්දියාවට අයත් විය. ඔහුගේ ඉඩම කඩම පාකිස්තානයට අයත් වනසේ බෙදීම සිදුවී තිබිණ. ඉන්දියාවට නිදහස ලැබුනේ අගෝස්තු 14 වනදා මධ්‍යම රාත්‍රියේදි අගෝස්තු 15 වන උදාවෙද්දීය. රට බෙදු සිරිල් රැඞ්කලිෆ් නිලධාරියා අගෝස්තු 15 වනදාම රටේන් බැහැර වූයේය. ඉන්පසු කිසි දිනෙක ඔහු ඉන්දියාවට හෝ බංග්ලාදේශයට හෝ බටහිර පාකිස්තානයට හෝ ආයේ නැත. මේ බෙදීම සඳහා ඔහුට ගෙවන ලෙද රන්පවුම් 2000ද ඔහු ආපසු රජයට බාර දුන්නේය.


එසේ වුවද මහත්මා ගාන්ධි ඒ බෙදීමේ මහා ශෝකයෙන් අත්‍යයන්තයෙන්ම කම්පාවට පත්විය. බෙදීමේ අරගලයෙන් පන් ලක්ෂයකගේ පමණ ජීවිත විනාශ විය. කෝටියක් පමණ දෙනා සරණාගතයෝ වූහ.


එහෙත් එවැනි අවසානයකින් තොරව ඉන්දියාව, මහා බි්‍රතාන්‍යය හා සමග සටන් කළේ නම් ඉන් සිදුවිය හැකිව තිබුණු ඝාතන ප්‍රවාහයේ තරම කිසිවකුටත් සිතාගත නොහෙන තරම්ය.


එතුමාගේ අහිංසා අවිය අදටත් මිනිසාගේ නාශක අවිවලට වඩා බලවත්ය. මහත්මාගේ 150 වන ජන්ම දිනය සමරන ලෝකය විසින් කරනු ලබන්නේ සුහද සහජීවනය සපයන මාර්ගයක් වශයෙන් එතුමාගේ අහිංසා අවිය සතු බලගතු බවට උපහාර පිදීමකි.


එතුමාගේ ජන්ම දිනය සිහිපත් කරන ලෝකයට එතුමන්ගේ අවසාන කැපවීම ගැන කම්පාවට පත් නොවී සිටිය නොහේ. නිදහස් සිහිනය සැබෑ වූ දිනය දෙස සිත් යොමු කරමු. 


1947 අගෝස්තු 15 වනදා නායකයෝ නවදිල්ලියේ රැස්ව සුවිශේෂී සංග්‍රහ මැද්දේ නිදහස් උළෙලෙහි සතුට භූක්ති වින්දහ.


එහෙත් ඒ සඳහා සිය ජීවිතය කැපකළ මහත්මා ගාන්ධි එදා රෑ සිටියේ කල්කටාවේ පැරණි ගොඩනැගිල්ලකය. නිදහස නිසා හටගන්නා ගිනිමැලයේ ප්‍රධානම ස්ථානය වන්නට තිබුණේ ඒ පෙදෙසයි. මහත්මා ගාන්ධි ඒ භායනක ස්ථානයේ ඒ රැය එහි ගත කළේ තමා එහි සිටින බව දැනගැනීමෙන් අන්තගාමීන්ගේ කෝපාගතිය තරමකට හෝ සිසිල් වන බව දන්නා හෙයිනි.


මේ සිද්ධිය සලකා බලනවිට අපට ඉතාම ප්‍රත්‍යක්ෂ ලෙස පැහැදිලි වන්නේ අප මේ ජන්ම දින උපහාර පුදන්නේ මානව ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මහත්මයකුට බවයි.


අප විසින් එතුමන්ට පිරිනැමිය හැකි ප්‍රශස්තතම පූජාවනම් මේ දරණුකම් රළු පරළුගති ඉහවහා යන යුගයකදී එතුමාගේ අහිංසා ධර්මයේ සහ සුහද සහජීවනයේත් අගය ඇති සැටියේ අවබෝධකොට ගන්නට ප්‍රයත්න දැරීමයි. ඒ උදාර ධර්ම අපේ ළමා පරපුරෙහි සිඟිති සන්තානවලට ඇතුළු කිරීමයි.


එතුමා තමා සතු සියල්ල ලොවට දුන්නේය. එතුමාගේ අවසාන මොහොත පිළිබඳ සමකාලීන වාර්තාවක් දෙසට යොමු වෙමු.


දිනය 1948 පෙබරවාරි 03


සිය මිනිපිරියන් වන ඒවා සහ මනු යන යුවතියන්ගේ කරවටා දෑත් පිහිටුවාගෙන ඒ දුඹුරු පැහැති පුද්ගලයා රතුගල් ඇල්ලූ බිම් පෙදෙස දිගේ බිර්ලා මන්දිරයේ සිට ගමන් ගනී. වැල්වලින් වැසුණු ආරුක්කුවක් පසුකොට ඔහු සිය යාඥා ශාලාවට එළඹේ. ඔහු එහි පඩි තුන නැග ගනී. දුඹුරු පැහැති කලිසමක්ද නිල් ස්වෙටරයක්ද කාකි පැහැති සෆාරි කබායක්ද ඇඟලාගත් තරබාරු මිටි මහත තරුණයෙක් ඉදිරියට වුත් නැමී ගාන්ධිතුමාට නමක්කාර කරන්නේය. ඒ නතු රාම් විනායක් ගොඞ්සේය. ඔහු අන්තවාදී මත සහිත “හින්දු රාෂ්ට්‍ර” නම් සඟරාවේ කර්තෘය. මුස්ලිම්වරු සතුටු කරන්නට යෑම ගැන ඔහු ගාන්ධිතුමා හෙළා දකින්නෙකි. “ඔබ අද යාංඥා සඳහා ආයේ පමාවෙලා යැ”යි ඔහු ගාන්ධි තුමාට කියයි. “ඔව් මා පරක්කුයි” ගාන්ධිතුමා පිළිතුරු දේ. අදිසියේම ඒ මිනිසා කුඩා වෙරෙට්ටා පිස්තෝලයක් ඇද ගනී. ඔහු තෙවරක් වෙඩි තබයි. එක් උණ්ඩයක් ගාන්ධි තුමාගේ පපුව පසාකොටගෙන යයි. ගාන්ධි තුමා නමක්කාර ශෛලියෙන් දෑත් එක් කරයි. උණ්ඩ දෙකක් උදරයට වදියි. ගාන්ධිතුමා “හේ රාමා, හේ රාමා” යන වචන පවසමින් පිටුපසට ඇද වැටේ.


අපි ගාන්ධිතුමාගේ උදාර අහිංසාවාදී ජීවිතයට උපන්දිනයේදී නමස්කාර කරමු. අහිංසා මන්ත්‍ර්‍ය ජප කරමු. අප වටා එක්වන කෲර රළු පරුෂ දේ වළක්වන්නට එතුමාගේ දහම පිහිට කොට ගනිමු. මානව වර්ගයා දිනපතාම අහිංසාව මෛත්‍රය කරුණාව පුහුණු කරනවිට අපි නියත වශයෙන්ම මහත්මා ගාන්ධි ජන්ම දිනය පවත්වන්නේ වෙමු.

 

 


 

යොවුන් ආශා පර්යේෂණයක ප්‍රතිඵල

අපි යෞවනයන්ගේ ආශා කවරේදැයි දන්නෙමුද? යන්තම් ඉඟිමතිත් අවබෝධයක් තිබෙතත් නියම වශයෙන්ම තරුණ බලාපොරොත්තු සොයා ගැනීම අපහසුය. ඒ නිසා ඉප්සෝස් නම් ආයතනයක් විසින් රටවල් 15ක පමණ තරුණ තරුණියන් දහස් ගණනකගේ අදහස් විමසන ලදී. මේ තරුණ පරපුර ලොව දකින්නේ කෙසේද? ඔවුන්ගේ අදහස්වලින් කිහිපයක් මෙසේය.


● රැකී රක්ෂා - කෙන්යා දේශයේ යොවුන් පරපුරේ අයගෙන් හතරෙන් පංඟුවක් පමණ කැමැත්තේ, තමන්ට ලැබෙන ඕනෑම රැකියාවක් වෛද්‍ය වෘත්තිය වැනි ලබාගන්නටයි. නයිජීරියාවේත් එසේය. එහෙත් බි්‍රතාන්‍යයේ තරුණ පරපුරේ සීයට පහක්ම කැමැත්තේ “සොකර්” (පාපන්දු) ක්‍රීඩකයෙක් වන්නටයි.


● තාක්ෂණය:- ලොව පුරා තරුණ පරපුරේ සීයට 63ක්ම කැමැති තාක්ෂණය “ස්මාර්ට්” ෆෝන් එකයි. (බුද්ධිමත් ජංගම දුරකතනය වශයෙන් දන්නා තාක්ෂණයයි) රුසියාවේ තරුණ අයගෙන් සියට 94ක්ම කැමැත්තේ ස්මාර්ට් ෆෝන් එකටයි. සාමාන්‍ය ජංගම දුරකතනයට කැමැත්තේ සීයට 15ක් පමණි. (තරුණ රුසියානුන්ගෙන් සමහරු දෙකටම කැමැතියි).


● අනාගතය - කෙන්යාවේ, මෙක්සිකෝවේ, චීනයේ, නයිජීරියාවේ සහ ඉන්දියාවේ තරුණ පිරිසෙන් දහයෙන් නවයකටත් වඩා අනාගතය ගැන සුබවාදීය. ඒත් අනාගතය ගැන ඉතාම අසුබවාදී තරුණ පිරිස සිටින්නේ ප්‍රංශයේ (සීයට 69) සහ ස්වීඩනයේයි. (සීයට 65යි).


ශ්‍රී ලංකාවේ අපිත් මේ රටේ යොවුන් අයගේ ආශා සෙවිය යුතුවෙමු.

 

 


සුර්ය ග්‍රහ මණ්ඩලයට අඟුටුමිට්ටෙක් 

 

අලුත්ම ආරංචිය මෙසේය.


සෞරග්‍රහ මණ්ඩලයෙහි මෙතෙක් නුදුටු ග්‍රහයෙක් නොබෝදා සොයා ගන්නා ලදී.


මෙය අඟුටුමිටි ග්‍රහයෙකු සේ හැඳින්වේ.


මෙතෙක් මේ “අඟුටුමිට්ටා” සැඟවී සිටියේ ප්ලූටෝට කිට්ටුවෙනි.


අලුතින්ම (ඔක්තෝබර් දෙවනදා) සොයා ගන්නාලද මේ “අඟුටුමිට්ටාගේ” නිල නාමය “ගොබ්ලින්”ය.


ඒ නම එතරම් යහපත් සේ නොපෙනේ. මේ වචනයෙන් සාමාන්‍යයෙන් ඇඟනේනේ “දඟකාරයා” යන අරුතයි. එසේම “කුරු” මිනිසුන්ට සහ ඇතැම් අමනුෂ්‍යයන්ටත් මේ නම ලැබේ.


මේ අඟුටුමිටි ග්‍රහයාගේ බලපෑම ගැන අපේ දෛවඥයෝ කුමක් කියයිද?


තාම ඒ ගැන අපේ අයගේ අදහස් පැවසී නැත.

 


ටී.එස්.එලියට්ගේ ‘පාළුබිම’

පැරැණි පොතපත

ටී.එස්. එලියට් මහා කවියා උපතින් ඇමෙරිකානු ජාතිකයෙකි. එහෙත් ඔහු සිය මහා නිර්මාණය වන “ද වේස්ට් ලෑන්ඞ්” (පාළු බිම) නම් මහා කාව්‍යයෙන් ඉංගිරිසි සාහිත්‍යයේත් ලෝක සාහිත්‍යයේත් ප්‍රබල විපල්වයකට මුල පිරුවේය.


බොහෝ විට කවි සමයේදී වර්ණනාවට ලක්වූයේ සෞන්දර්යට තුඩු දෙන වස්තු සහ සංකල්පයි. එසේ වුවද ටී.එස්. එලියට් සිය මහා කාව්‍යයෙන් ඒ සම්මුතිය ඉවත්කොට සමකාලීන නාගරික සංස්කෘතියේ පාළු බව හා හිස්බව තේමාව වශයෙන් ගත්තේය. 1922 දෙසැම්බර් මස ප්‍රකාශයට පත්වූ මේ කාව්‍ය පද්‍ය පේලී 434කින් සමන්විතයි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව නාගරික සංස්කෘතියෙහි හටගත් හරසුන් බව ඔහු ඉතා ව්‍යක්ත පද්‍ය නිර්මාණයක ප්‍රශ්තුතය වශයෙන් ගන්නේය. මේ කාව්‍ය කොටස් පහකට බෙදෙයි. “මළවුන් වැළලීම, චෙස් ක්‍රීඩාවක්, අග්නි සූත්‍රය, දියෙන් සිදුවූ මරණය සහ අසනීය විසින් ප්‍රකාශිත දේ” වශයෙන්. ලෝකය මුළුල්ලේම ඔහුගේ නව ශෛලිය පැතිරිනි. ශ්‍රී ලංකාවේ පවා “නිදහස් පද්‍ය” ආරට ආභාසය බොහෝවිට සැපයුනේ ටී.එස්. එළියට්ගේ “පාළුබිම” කාව්‍යයෙනි.

 


RECOMMEND POSTS

RELATED POSTS