අදටත් ගැළපෙන චීන දර්ශනවාදියා ලෝත්සු



ගෞතම බුද්ධ මහා ශාස්තෘවරයාණන් වහන්සේ ලොව පහළ වූ කාලය ආශ්‍රිතව විවිධ දේශයන්හි මහා දර්ශනවාදීහු වැජඹුනහ. එවැනි රාජ්‍ය අතුරින් විශේෂයෙන්ම ඉස්මතුව පෙනෙන්නේ පැරණි චීන දේශයයි. ජග ත් සංස්කෘතියට උසස් දර්ශනවාදී චින්තන ධාරා රැසක් එක් කළ චීන ලෝ කොන්ෆියුසියස් සහ ලෝත්සු ඒ සමයයට අයත්වෙති. මේ දෙදෙනා අතුරින් කොන්ෆියුසියස්ගේ උගැන්වීම් බොහොසේ ප්‍රචලිතය. ඒ දර්ශන වාදියාගේ චීන නාමය කුන්ෆුට්සේය. ඒ චින්තකයා පිළිබඳ සුවිශේෂී කරුණක් වන්නේ වාර්තා සහිත ලෝකයේ ඉතාම පැරණි පවුල් පෙළපතට කොන්ෆියුසියස් අයත් වීමයි.

ඒ චින්තකයාගේ සමකාලීන ලෝත්සු දර්ශනවාදියාගේ උගැන්වීම්, වර්තමාන යුගයේ ජනතාව අතරද ඉතා බහුල ලෙස පැතිරෙන්නට පටන්ගෙන ඇත්තේය. ඒ නිසා ලෝත්සු පඬිවරයාගේ අදහස් උදහස්වල ස්වාභාවය විමසා බැලීම කාලෝචිතය. දර්ශනවාදී ලෝ - තිසුගේ, චින්තනය ලියැවී තිබෙන ග්‍රන්ථය නම් කෙරෙන්නේ “තෝ කේ චිං” යනුවෙනි මෙහි අරුත නම් මාර්ගය දක්වන ග්‍රන්ථය” යන්නයි. ලෝත්සු දර්ශනවාදියාට සිය චින්තනය අඩංගු ඒ පොත ලිවීමට හේතුකාරක වූ ඉතිහාසය අතිශයින් සිත් ගන්නා සුළුය. ලෝ-ත්සු යන පදයෙන් ඇඟෙන්නේ “මහළු පණ්ඩිතයා” යන අදහසයි. ඔහු උපත ලැබුවේ හෝනාන් ප්‍රාන්තයේ ගොවිපොළකයි. ඔහුගේ උගත්කම නිසා ඔහුට චීනයේ පැරණි අගනුවර වන ලූඕයාං නුවර අධිරාජ්‍යගේ පැරණි ලිපි ලේඛන ආගාරයේ භාරකාර පදවිය පිරි නැමුණේය. ඔහු රජයේ නිලධාරින්ට උපදේශ දෙමින් ඔවුන්ට උගැන්වීමේ කාර්යයෙහිත් යෙදුනේය. විවිධ පාලන ප්‍රදේශ අතර අඛණ්ඩව සිදුවී ගෙන යන දිර්ඝ කලකෝලාහල ගැන ලෝත්සු කළකිරීමට පත්විය.

මේ කර්කශ පරිසරයෙන් මිදී සිතේ සතුටක් ආධ්‍යාත්මික තෘප්තියත් සොයා රටින් පිටවී යන්නට ඔහු අධිෂ්ඨාන කොට ගත්තේය. යුද්ධ ඝාතන ආදියෙන් බේරි “මහළු දර්ශනවාදියා” චීනයෙන් බැහැර වී බටහිර කාන්තාර පෙදෙසට යන්නට තීරණය කළේ ජීවිතයේ සහනය සොයා ගෙනයි. ඔහු සේවය කළ ඡව් පාලන පරපුරේ අධිරාජයාගෙන් සහ බොහෝ දෙනෙකුගෙ න් කීර්ති ප්‍රශංසා බහුලව ලැබුණද මහළු දර්ශනවාදියා ඒ සියල්ල අතැර ගොස් ටික කලක් “භවනාවේ” යෙදුනේය. චීනය සහමුලින්ම හැර දමා යන්නට ඔහු සිතුවේ ඉන්පසුවයි. ඔහු සතුව තිබුණු එකම “වස්තුව” නම් කළු ගොන් දෙන්නෙක් බැඳි රියකි. එහි නැග ගත් මහළු දර්ශනවාදියා කෙමෙන් චීන දේශසීමාවට ආයේය. ඉන් ඔබ්බෙහි බටහිර තිබුණේ කාන්තාර පෙදෙසයි. එහෙත් මහළු දර්ශනවාදියාට ඔහු සිතු තරම් පහසුවෙන් දේශ සීමාව පසුකළ හැකි නොවීය. දේශ සීමාවේ මුර පොළ භාරව සිටියේ යින් හ්සි නමැති තරුණ භටයෙකි. ඔහු මේ මහළු දර්ශනවාදියා ගැන කල් ඇතිවම දැන සිටි තැනැත්තෙකි. ඔහු “මහළු දර්ශනවාදියා” පිළිගත්තේ ඉමහත් හරසරිනි. “පඬිතුමනි ඔබ යන්නේ කෙහේද? ” “බටහිරට” යැයි මහළු දර්ශනවාදියා පිළිතුරු දුන්නේය. “ආපසු එන්නේ කවද්ද?”යි මුර භටයා විමසීය. “මා නැවත එන්නේ නෑ”යි පිළිතුරු ලැබිණ. භටයා කම්පා විය. “ ඔබ රාජ සභාවේ කළේ කුමක්ද?” “ඉගැන්නුවා” යැයි පඬිවරයා කීය. “ඉතින් පඬිතුමනි කෝ ඔබේ උගැන්වීමෙන් උපයාගත් ධනය” භටයා විමසීය. “ඔබ දන්නවානේ ගුරුවරු හැමදාම දිළිඳු බව” පඬිතුමාගේ පිළිතුර එය විය. “එසේ නම් ඔබ උගැන්වූයේ කුමක්ද” “මා උගැන්වූයේ බලය ගැනනියම බලය ගැන” යැයි දර්ශනවාදියා කීයේය. මුර භටයාගේ මුහුණ සොම්නසින් පිරිනි. “අනේ පඬිතුමා මටත් ඒ නියම බලය උගන්වන්නකෝ.” පඬිතුමා සානුකම්පිතව ඒ මුර භටයා දෙස බැලුවේය. ඔහුගේ ඇඳුම දිරාපත්ය. හිස අවුල්ය. මුහුණ වියළී ගොස් තිබුණේය. පඬිතුමා මෙසේ කල්පනා කළේය. ඉතා ඈත දේශ සීමාවක් මුරකරන මේ දිරාපත් භටයාට පවා ඕනෑ කරන්නේ බලයයි. මේ අතර මුර භටයා ඇවිටිලි කළේය. “ පඬිතුමත් මගේ මුරපොළේ නැවතී මට ඒ බලය ගැන ලියා දෙන්න. ඒ ලියන කාලයේදී ඔබට අවශ්‍ය ආහාර පාන සාත්තු සප්පායම් මා දෙනවා. අනේ ලියන්න කෝ.” මහළු පඬිවරයා සුසුමක් හෙළා “හොඳයි. හොඳයි මම ලියන්නම්. ඔබටත් ඕනැ බලය නේ” යැයි කීය. එදා මුරභටයාගේ ඇරයුම පිළිගෙන ඔහුගේ කුටියේ නවාතැන් ලබා මහළු දර්ශනවාදියා චීනාක්ෂර 5000ක ග්‍රන්ථයක් කළේය. එය නම් කෙරෙන්නේ “තෝ චේ චිං” (ඕධ ඔෑ ක්‍්‍යෂභඨ) යනුවෙනි. අරුත “මාර්ගය දක්වන ග්‍රන්ථය.” අදත් ලෝත්සු දර්ශනවාදියාගේ චින්තනය නම් කෙරෙන්නේ “ධර්ම මාර්ගය” (ඕධ) වශයෙනි. ඔහුගේ දහම “ධර්ම මාර්ග වාදය” නම් (ඕධෂීඵ) එදා මහළු දර්ශනවාදියා ඒ පොත මුර භටයාට ලියාදී චීන දේශයට බටහිරින් පිහිටි කාන්තාර පෙදෙසෙහි අතුරුදන්ව ගියේය. එහෙත් අද පවා ඒ මහළු දර්ශනවාදියාගේ “ ධර්ම මාර්ග” ග්‍රන්ථය අතිශයින්ම ව්‍යාප්තය. ලෝකයේ ධර්ම ග්‍රන්ථවලින් බයිබලය හැරුණු විට විශාලතම භාෂා සංඛ්‍යාවකට අනුවාදය වූ දර්ශනවාදී පුස්තකයක් වන්නේ මෙයයි. ඒ විචාරක මත ලෝත්සේගේ “ධර්ම මාර්ගය” පිළිබඳව උගැන්වීම් විකාශනය වීමේදී බෞද්ධ දර්ශනයත් ඒ හා සමග සම්මිශ්‍රණය වූයේය. ලෝත්සේගේ උගැන්වීම් එදිනෙදා දිවිපෙවෙත ගත කිරීම පිළිබඳව හෙයින් එය ඕනෑම කෙනෙකුට සුදුසුය. අප අසහාය මහා ශාස්තෘවරයාණන් වහන්සේ වන සම්මා සම්බුදු හිමියන්ගේ අකාලික දහම අනුගමනය කරන ගමන්ම නොයෙක් ආකාරයේ චින්තකයන්ගේ අදහස් උදහස්වලටද අපි ඇහුම්කන් දෙන්නෙමු. ඒ නිසා ලෝත්සේගේ “ධර්ම මාර්ගය” හැදෑරීම අපට හැමතින්ම සුදුසුය. “ධර්ම මාර්ගය” ගැන කතා බහේ යෙදෙන්නට පෙර අපගේ අවධානය යොමු විය යුතු පැත්තක් ඇත්තේය. ලෝකයේ භාෂා සමූහයකට අනුවාදිත මේ පොතේ සිංහල පරිවර්තනයක් ප්‍රකාශ නොවුයේ මක්නිසාද? ලෝත්සේගේ (මහළු දර්ශනවාදියාගේ) “ධර්ම මාර්ගය” නම් ග්‍රන්ථය සකස් වන්නේ පාඨකයා පාඨ 81කිනි. මේ එක් එක් පාඨය මුල් පොතේ හැඳින්වෙන්නේ පද්‍යයක් වශයෙනි. මුර භටයාගේ ආරාධනයෙන් සකස් කෙරුණු මේ “බණපොත” අද යුගයේ වවිධ ආතතිවලින් පෙළෙන ඕනෑම කෙනෙකුට සහනය සපයන සුළුය.

මේ “පාඨ” වලට අපි අපට පුරුදු පරිදි ගාථා යැයි කියමු. මෙහි ප්‍රථම ගාථාව මෙසේය. “වචනයට නැගිය හැකි” “ධර්ම හරය” නොවන්නේය. අපට බාහිර වශයෙන් යමකට දිය හැකි නාමය සදාකාලික නාමය නොවන්නේය. අපට බාහිර වශයෙන් යමකට දිය හැකි නාමය සදාකාලික නාමය නොවන්නේය. නියම හරයට නමක් ඇත්තේය. එමෙන්ම එයට නමක් ඇත්තේත් නොවේ. එයට නැති බලයක් වශයෙන් සළකන කල්හි එය හැම දෙයකම ප්‍රභවයයි. නම් වශයෙන් හැඳින්වුවහොත් එය දස දහසකගේ මාතාවයි. හැම විටම තණ්හාවෙන් තොරවූ කෙනෙකුට ශුඪාර්ථය දැකිය හැකිවේ. (රහස අවබෝධ කොටගත හැකිවේ). තණ්හාව ඇති අයකුට දැකිය හැකි වන්නේ බාහිර ලක්ෂණ පමණි. එසේම හැම දෙයක්ම අවබෝධකොටගෙන ගන්නා පිණිස අප විසින් ඇතුළු විය යුත්තේද ගුඪාර්ථය පිළිබඳ දොරටුවෙනි. මේ සියලු දේකම යථාර්ථය අවබෝධ කොට ගැනීම සඳහා සැපයෙන යතුර ගූඨාර්ථයයි. මේ ධර්මපාඨවලින් කරනු ලබන්නේ අපට සම්මත පුරුද්දෙන් ඔබ්බට ගොස් ලෝකය බලන්නට පුරුදු කිරීමයි. ප්‍රථම “ධර්ම පාඨයෙන්” (ගාථාවෙන්) කියනු ලබන්නේ මෙයයි. “බාහිර නාමයෙන්ගෙන් සහ ලේබලවලින් ඔබ්බට යන්න. එවිට ඔබට යමක (ලෝකයේ) ඇති තතු දැකිය හැකිවේ.” මෙවැනි පාඨ (ගාථා) 81කින් සැදුනු මේ “ෆෝ චේචිං” (ධර්ම හරය දක්වන ග්‍රන්ථය) අද ලොව බොහෝ විද්වතුන්ගේ අවධානයට ඉතා තියුණු ලෙස ලක්වන්නේය. මෙයට හේතුව නම් මේ “ගාථා” වල අරුත් විමසා බලන්නට පුරුදු වූ විට අපට අද ලෝකයෙහි බහුලව පවත්නා මතුපිට දේ පමණක් දැකීමේ ගතියෙන් මිදිය හැකිවන හෙයිනි. මේ චීන දර්ශනවාදියාගේ ඕධෂීඵ (මාර්ගය දැක්වීමේ න්‍යාය) ඉතා ගැඹුරට අවබෝධකොටගනු පිණිස බටහිර ලෝකයේ ඇතැම් ප්‍රඥාවන්ත විශිෂ්ටයන් විසින් දැඩි ප්‍රයත්නයක් දරන ලද බව ඔවුන්ගේ ලිපි ලේඛනවලින් අනාවරණය වේ.

අපි මේ ග්‍රන්ථයේ 81 වන (අවසාන) ගාථාව විමසා බලමු. ඒ ගාථාව මෙසේය. “සත්‍යවචන අලංකාර නැත අලංකාර වචන සත්‍යය නොවේ යහපත් මිනිස්සු වාද නොකරති වාද විවාදවල යෙදෙන්නේ යහපත් අය නොවේ සත් ගුණ යුතු පුද්ගලයෝ අනුන්ගේ අඩුපාඩු නොසොයති. අන් අයගේ අඩුපාඩු සොයන අය හොඳ මිනිස්සු නොවෙති. ඉසිවරු කිසිවක් එක් රැස්කොට නොගනිති ඔවුහු සියල්ල අන් අයට දෙති. වැඩිපුර දෙන්ට දෙන්ටම ඔවුහු වැඩිපුර ලබති. දෙවිවරු හැමෝටම සෙත සලසති. කිසිවෙකුට වරදක් නොකරති. ඉසිවරු ඔවුන් අනුකරණය කරති. ඔවුහු සියල්ලන්ටම සෙත පිණිස ක්‍රියාකරති. එවැන්නෝ කිසිවෙකුටවත් විරුද්ධ නොවෙති.” ලෝත්සු මහළු දර්ශනවාදියාගේ ඒ ඉහත සඳහන් අදහස සළකා බලන්න. එහි අන්තර්ගත වන්නේ කවර ජන කණ්ඩායමක හෝ වෙසෙන්නන්ට සෙත සැලසෙන උගැන්වීමකි. ලෝත්සුගේ (මහළු දර්ශනවාදියාගේ) විශිෂ්ට කෘතියෙහි ප්‍රධාන ලක්ෂණය නම් එහි සරල බවයි. මේ විශ්ව සාහිත්‍ය කෘතියෙහි අඩංගු ජීවන උපදේශ මාලාව ආප්තෝපදේශ, ප්‍රස්තාව පිරුලු ආදිය තරම් සරලය. සම්මා සම්බුදු හිමියන්ගේ දහම අපට ලෞකික ලෝකෝත්සර ප්‍රශ්න නිරාකරණය කොට ගන්නට පිහිටවන සනාතනික ධර්ම පිළිබඳ නිදන් ගබඩාවයි. ලෝත්සුගේ මහා ධර්ම ග්‍රන්ථය (තෝ චේ චිං) අප විසින් සිංහලයට නගාලිය යුත්තේ ජගත් සාහිත්‍යයෙහි ප්‍රධාන කෘති සිංහලයට නැගීම මගින්. අපගේ සංස්කෘතිය තව තවත් සරු සාර කරනු පිණිසයි. මහළු දර්ශනවාදියා විසින් දේශ සීමාවේ මුර භටයා උදෙසා ලියාලු චීනාක්ෂර 5000හේ කෘතිය “බලය” සොයා යන අයට ඉතා වටිනා අත්පොතක් වෙයි. නියම බලය එහි විවරණයවන හෙයිනි. මේ සම්භාවනීය විශ්ව දර්ශනවාදී කෘතිය ලියන්නට ඇවිටිලි කළ ඒ මුරභටයා මෙවැනි විශ්ව කෘතියක් සිය ඇරයුම නිසා පහළවේ යැයි කිසිසේත් සිතා ගන්නට නැත.

 


සුනඛයාගේ සත්ව කරුණාව

 

කැනඩාවේ නගරයක පාරක් අයිනේ ඉතාම අධික ශීතල රැයෙක ලැග උන් සුනඛයකු යන එන්නන්ට පෙනුණේය. සුනඛයාගේ පිට හිමවලින් වැස තිබුණද ඌ නොසෙල්ලි එතැනම සිටියේය. මිනිස්සු පරීක්ෂාකාරී වූහ. ඔවුන්ට පෙණුනේ මේ සුනඛයා ශීතලට අසුවී ගෙන අලුත උපන් බළල් පැටව් කිප දෙනෙක් ශීත ලෙස බේරාගෙන සිටි අකාරයයි. සුනඛයාත් බලල් පැටව් කිහිප දෙනාත් නිසි තැනකට ගෙන ගොස් ශීතලෙන් බේරා ගන්නා ලදී. සුනඛයා එසේ බළල් පැටව් රැකගෙන නොසිටියේ නම් උන් මැරීයන්ට ඉඩ තිබිනැයි පරීක්ෂක නිලධාරිහු පැැවසූහ.

 

 


 

පැරණි පතපොත

ජෝජ් බර්නාඞ් ෂෝගේ නාට්‍ය 


ඉංගිරිසි සාහිත්‍යයෙහි ඉතාම ප්‍රසිද්ධ නාට්‍යවේදියා විලියම් ෂේක්ස්පියර්ය. ඊට පසුව ඉංගිරිසි බසින් විශාලතම නාට්‍ය සංඛ්‍යාව කරන ලද්දේ ජෝජ් බර්නාඞ් ෂෝ විසිනි. ජෝජ් බර්නාඞ් ෂෝ (1856-1950) උපත ලද්දේ අයර්ලන්තයෙනි. විසිවන වියේදී ඔහු එංගලන්තයට සංක්‍රමණය වූයේය. ලේඛන කලා ජීවිතයේ ආරම්භයේදී ඔහු සංගීතයයි හා නාට්‍ය කලා විචාරකයෙක් වූයේය. ඔහු ප්‍රථම වරට දෘශ්‍යකාව්‍ය (නාට්‍ය) ලිවීම ආරම්භ කළේ 1885 යේදීය.

මුල් කාලයේදී ඔහු විසින් ලියන ලද නාට්‍ය අතුරින් සාර්ථක වූ කිහිපයක් නම් “ ආම්ස් ඇන්ඞ් ද මෑන් (මිනිසා සහ අවි), කැන්ඩීඩා සහ “ඩෙවල්ස් ඩිසයිපල්” (යක්ෂයාගේ ශ්‍රාවකයා) නම් කෘතියයි. අනුක්‍රමයෙන් බර්නාඞ් ෂෝ විවිධ තේමා අඩංගු නාට්‍ය රැසක්ම එළිදැක්වූයේය. බර්නාඞ් ෂෝගේ “පිග්මේලියන්” නම් නාට්‍යය “මයි ෆෙයාර් ලේඩි” (මගෙ සුදු සොඳුරි) නමින් සිනමාවටද නැගුණේය. ජෝජ් බර්නාඞ් ෂෝ අපුරූ නිර්මාණ ශක්තියකින් මෙන්ම විස්මය උපදවන සුළු කායික ශක්තියකින්ද යුක්ත විය. අනු වන වියට පා තැබු පසුත් ඔහු සිය නිර්මාණකාර්යයන්හි යෙදුණේය. ෂෝ විසින් විරචිත නාට්‍ය සංඛ්‍යාව 40කටත් අධිකය. ඒ අතර බර්නාඞ් ෂෝ ඉංගිරිසි හෝඩිය නවීකරණය කිරීමේ ව්‍යාපාරයක යෙදුණේය.

ඔහු සිය අන්තිම කැමැති පත්‍රයෙහි ඉංගිරිසි හෝඩිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුදල් වෙන් කළේය. ඔශුට 1935දී නොබෙල් සාහිත්‍යය ත්‍යාගය හිමි වූයේය. ජෝජ් බර්නාඞ් ෂෝ ගැන විචිත්‍ර කථා ඇත්තේය. ඔහු බොහෝ විට ලෝ වටා සංචාරයේ යෙදුණේය. “ඔබ ලොව වටා යන්නේ ඇයිදැයි කෙනෙක් විමසීය. ෂොගේ පිළිතුර “මා ලොව වටා යන්නේ ලෝකය මා වටා නොයන නිසා”. වරක් ජින්ජර් රොජර්ස් නම් සුරූපි නිළිය ෂෝට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළාය. නිළිය මෙසේ කීවාය. “බර්නාඞ් ෂෝ ඔබයි මායි විවාහ වෙමු. එවිට අපේ දරුවාට ඔබගේ මහා බුද්ධියත් මගේ අධික සුරූපි බවත් හිමිවේවි” බර්නාඞ් ෂෝ මෙසේ කීය. “වැරදිලාවත් අපේ දරුවාට මගේ රූපයත් ඔබගේ බුද්ධියත් ලැබුණොත් කරන්නේ කුමක්ද?”

 


 

රජුගේ පණ්ඩිතයන් තිදෙනා

පැරණි රජෙකුට උපදේශක පණ්ඩිතයන් තිදෙනෙක් සිටියහ. ඒ තුන් දෙනාගෙන් දෙදෙනෙක් හැමදාම රාජ සභාවට ආහ. උදේ එන ඔවුහු සවස්වන තෙක්ම එහි සිටිති. එහෙත් තුන්වන පණ්ඩිතයා රාජසභාවට එන්නේ ඉඳිහිටයි. ආවත් වැඩි වේලාවක් රැඳී නොසිටී. එසේ වුවද රජතුමා වැඩියක් සැලකුවේ තුන්වන පණ්ඩිතයාටයි. රජු වරින්වර ඔහුට බොහෝ වටිනා තෑගි බෝගත් දුන්නේය. මේ සිද්ධියෙන් අනික් පණ්ඩිතයන් දෙදෙනා තරමක් නොසතුටු වූහ. “බලන්න අප දෙදෙනා කොපමණ මහන්සි වුණත් රජතුමා සලකන්නේ අර ඉඳහිට රාජ සභාවට එන තුන්වන පණ්ඩිතයාට මේක අසාධාරණයි.” මේ කථාව රජුට ආරංචි විය. දවසක්දා රජතුමා ඒ තිදෙනාම තමන් වෙතට ගෙන්වූයේය. රජතුමා මෙසේ පැවසීය. “පණ්ඩිතයෙනි, ඔබ තිදෙනාට රාජකාරියක් පැවරෙනවා.

මම ඔය තුන්දෙනාටම එක වගේ රන් කරඬු තුනක් දෙනවා. පළමුවැනි අසවල් රජුගේ රාජ සභාවට ගොස් රජු සිහසුනේ ඉන්නා විට මේ කරඬුව රජුට පිළිගන්වන්න ඕනෑ. දෙවන පණ්ඩිතයාත් එසේම කළ යුතුයි. ඔහු යන්නේ වෙන රාජ සභාවකට. තුන්වැන්නාවත් තවත් රාජ සභාවකට යා යුතුයි. කළ යුත්තේ මේ රන් කරඬුව තමන් යන රජ වාසලේ රජුට පිරිනැමීමයි.” මෙසේ කියූ රජතුමා තවත් දෙයක් පැවැසීය. “හැබැයි ඔය තුන්දෙනාටම ඒ කරඬුව අතර මගදී ඇරලා බැලීම තහනම්. නියමිත රජු කරඬුව අරිනකම් ඉන්න ඕනෑ.” පණ්ඩිතවරු අණ පරිදි ගියහ. පළමුවන පණ්ඩිතයා තමාට නියමිත රජුට රන් කරඬුව පිරිනැමුවේය.

රජු මුළු රාජ සභාව මැද කරඬුව විවෘතකොට බැලුවේය. එහි තිබුනේ “අළුය” “මේ මෙනවාදැයි රජු විමසීය. පළමුවන පණ්ඩිතයාට උත්තර නැත. රජු උදහස් වී ඒ එවු රජුට විරුද්ධව හමුදා යවන්නැයි නියම කොට ඒ පණ්ඩිතයා සමග යුද හමුදා යැවූහ. දෙවැන්නාට සිදුවුණේත් එයමය. තුන්වන පණ්ඩිතයා - රන්කරඬුව ගෙනගොස් තමාට පැවරූ රජුට පිළිගන්වා ලූයේය. එහි තිබුණේත අළුය. “ මේ මෙනවාදැයි රජු විමසීය. තුන්වන පණ්ඩිතයා මෙසේ කීයේය. මහ රජ තුමනී, අපගේ රජතුමා හය මාසයක් තිස්සේ අශ්වමේධ නමින් මහා යාගයක් කළා. ඒ යාගයෙන් ඉතිරි වූ ශුද්ධ අළු දෙන්නට සුදුසු මේ මුළු මහත් දඹදිවම ඉතාම ශ්‍රේෂ්ඨ නිරිඳුතුමා කවරේදැයි කියා පරික්ෂා කළා. ඉන් පසුව එතුමාට අවබෝධ වුණා මේ මහා පරිශුද්ධ තිළිණිය පිරිනැමිය යුතු ශ්‍රේෂ්ටතම මහරජතුමා ඔබය කියා. ඒ රන් කරඬුවේ බහා ඔබට පිරිනැමෙන්නේ යාගයේ අළුයි.” ඒ රජු ඉතාමත් සතුටු විය. තුන්වන පණ්ඩිතයාට බොහෝසේ තෑගි බෝග දී ඔහුගේ ආරක්ෂාවට මහ යුද සෙනඟක්ද සකස්කොට සහපිරිවරින් ඔහු සියරට යැව්වේය. ඔහු හා සමග ආ මහසෙනග විසින් අනිත් පණ්ඩිතයන් දෙදෙනා සමග පැමිණි ආක්‍රමණික හමුදා පරදා රටත් රජුත් ආරක්ෂා කළේය. රජු නැවත පඬිවරුන් රැස් කළේය. රැස්කොට මෙසේ කීවේය. “ඔබ දෙදෙනා මට රහසේ දොස් පැවරුවා. මා තුන්වන පණ්ඩිතයාට වැඩිපුර සලකනවාය කියා. “දැන් දුටුවානේ මාත් මේ රාජ්‍යයත් ඔබ දෙදෙනාත් ගැලවුණේ ඒ තුන්වන පණ්ඩිතයාගේ මහා ප්‍රඥාව නිසායි. රාජ සභාවට ආවේ නැතුවාට ඔහු රාජ තන්ත්‍රය ක්‍රියාවේ යෙදෙව්වා.”

 


 

 


RECOMMEND POSTS

RELATED POSTS