අදටත් ආදර්ශයක් දෙන මහැදුරු මලලසේකර චරිතය



118 වැනි ජන්ම දිනය අදයි

‘ශ්‍රේෂ්ඨ දිවිපෙවෙතක් ගතකිරීමේ රහස නම්, අපට නිදහස, විමුක්තිය දෙන තොරතුරුවලින් අපගේ මනස හැඩ ගසා ගැනීමයි.’ 

චාල්ස් ආර්. සවුන්ඩර්ස් (1946) අෆ්‍රිකානු-ඇමෙරිකානු ලේඛක.

ශ්‍රේෂ්ඨයන්ගේ ජන්ම දිනය සමරන අවස්ථාවලදී, බොහෝදෙනා විසින් අනුගමනය කරනු ලබන, එක්තරා ක්‍රියාදාමයක් ඇත්තේය. ඒ සැමරීමට පාත්‍රවන මහා පුද්ගලයා, අතීතයට අයත් කෙනකු වශයෙන් ඉස්මතු කොට දැක්වීම එම ක්‍රියාරටාව වන්නේය. ඒ අයුරින් ඒ ‘සම්භාව්‍ය’ පුද්ගලයා ‘පුරාවස්තුවක්’ වශයෙන් පෙනෙන පරිද්දෙන් ජන්ම දිනය අනුස්මරණය කිරීම එතරම් සුදුසුයැයි නොසිතේ.


මහැදුරු ගුණපාල මලලසේකර මහතාණන්ගේ විශිෂ්ට චරිතය, මේ මොහොතේදීත් වැඩිමහළු, බාල තරුණ කාටත් සජීවීය.


එතුමාණෝ හැමවිටම නවීන චින්තන ධාරා දෙසට යොමු වූහ. මතු දවසට වැඩ ඇතිවන ව්‍යාපාරවල නිරන්තරයෙන්ම නියැළීම එතුමා සිය ජීවිතයේ මුඛ්‍ය ලක්ෂණයක් කොට ගත්තේය. එක් අන්තයකට පමණක් අයත් නීතිරීති සම්ප්‍රදායයට සීමා වූයේ නම්, ජීවිතයේ ප්‍රාණවත් බවට ඉන් හානියක් සිදුවිය හැකි බව එතුමාගේ අචල විශ්වාසය විය. ඒ නිසාම මිනිස් අවධානයට ලක්වන බහුවිධ ක්ෂේත්‍රවල පහසුවෙන් හැසිරීමේ වරය එතුමා විසින් ලබන ලදී.


කිසිදිනෙක වයසට නොයන, කවරවිටෙකවත් යල් පැන යන්නේ නැති සනාතන ගුණයක් විසින් මලලසේකර චරිතය බබුළුවනු ලැබුවේය. ඒ හැමදා නැවුම් නිධානය නම් මිනිස්කමයි.
අලුතින් දිවි පෙවෙත අරඹන දරු පිරිසටත්, තරුණ වියට එළඹෙන ජන කණ්ඩායමටත්, මැදිවයසේ සහ ජීවිතයේ සැඳෑසමයේ සිටින හැමදෙනාටත්, මලලසේකර චරිතය අදත් ජීවමානය.


දරුවන් කෙරේ මලලසේකර චරිතය බලපාන්නේ, පාසැල් යන කාලයේදී මලලසේකර දරුවා සතුව තිබුණු අධ්‍යාපන ලෝලීත්වය හේතුකොටගෙනයි.


මලලසේකර දරුවා, වෙද මුහන්දිරම් මලලගේ එම්.එස්. පීරිස් මහතාගේ පුත්‍ර රත්නයයි. ආයුර්වේද වෛද්‍යවරු බොහොම දෙනෙක්, සිය දරුවන් බටහිර සම්ප්‍රදායයේ වෛද්‍යවරු වනවාට කැමැත්ත දක්වති.


මලලසේකර දරුවාගේ ආයුර්වේදීය පියා තුළත් ඒ ආශාව පැවැත්තේය.


මලලසේකර දරුවා අධ්‍යාපනය කෙරේ දැක්වූ ඇල්මක්, උගෙන ගැනීමේ වතාවතට ළමා මලලසේකර තුළ පැවැති කැපවීමත්, නවීන යුගයේ බොහෝ දරුවන්ට පාඩමකි. අද වෙසෙසින්ම එසේය.


වරප්‍රසාද බහුල මේ සමයයෙහි විවිධ වයස් කණ්ඩායම්වල දරුවන් අධ්‍යාපනය නොරුස්සමින් සිය වාසනාවන්ත කාලය විනාශකොට දමන ආකාරය දන්නා කවරෙකුට වුවද පෙනෙන, එදා මලලසේකර ළමා චරිතය මේ යුගයේ දරුවන් නිසි මඟ යවන්නට උපයෝගී කොටගත හැකි ජීවමාන ආදර්ශයක් වැනිය.


මලලසේකර දරුවා උගෙන ගත් පාසැල පිහිටියේ ඔහුගේ පියාගේ පානදුරේ වෙද නිවසින්, සැතපුම් හතරක් පමණ ඔබ්බෙනි.


නිසි වේලාවට පාසැලේ සිටිය යුතුය යන ආවේගය, ඒ දරුවාගේ සන්තාන ගතව තිබිණි. ඒ නිසා මහ පාරට බැස පාවහන් ගලවා අතින් ගෙනා හැකි තරම්ම වේගයෙන් පාඨශාලාවට යෑම පුරුද්දක් කොට ගත්තේය. 


ළමා වයසේදී පාසැල් ළමයි ඔවුනොවුන්ට සිනා නම් දෙති. කුඩා මලලසේකරට පටබැඳුණු සුරතල් නාමය ‘අස්සයා’ (වේගයෙන් දිවෙන නිසාය)
අස්සයා, දස්සයා විය.


මලලසේකර ශිෂ්‍යයා එකැවර විද්‍යාවත්, කලාවත් හැදෑරුවේය.


 ඔහු බාහිර විද්‍යාර්ථයෙක් වශයෙන් ලන්ඩන් බී.ඒ. උපාධි විභාගයට පෙනී සිටියේය. දස්සයා, මහා දස්සයෙකු වී මලලසේකර දරුවා දහනව වන වියේදී පී.ඒ. සාමාර්ථය ප්‍රථම පන්තියෙන් ලබාගනිමින්, ආසියාවේ සියලුම අපේක්ෂකයන් අතුරින් පළමුවැන්නා වූයේය.


මෙය අද දරුවන්ට සජීවී පාඩමකි. ඔහු අචල ධෛර්යයෙන් විෂය දවසම හැදෑරුවේය. අද යුගයේ දරුවන්ට සැපයෙන පහසුකම්වලින් අල්පමාත්‍රයක්වත් හරිහැටියේ ලබාගන්නට මලලසේකර ශිෂ්‍යයාට එදා ඉඩහසරක් නොලැබිණි.


ඔහු සතුව තිබුණේ අප්‍රතිහත ධෛර්යයක්, අධ්‍යාපනය සතු ඉම්හිම් නැති අගය පිළිබඳ ස්ථාවර අවබෝධයකුත්ය. ඒනිසා, මලලසේකර දරුවාගේ ගති පැවතුම් අද දරුවන්ටත් සජීවීය.


ජීවිතයේ කටුක තැන් මතුව ආවිට, මලලසේකර යොවුන් විද්වතා, බුදුහිමියන්ගේ දහමෙහි පිහිට ලැබුවේය. අන් අය මතුරක් වශයෙන් පුන පුනා කියන දහම් පාඨ ඔහු ජීවිතයේ යතුර සේ ගත්තේය. සිය චරිතයේ බොහෝ යුගවලදී මලලසේකර විද්වතා තුළ කම්පා නොවන අධ්‍යාත්මයක් පිහිටා සිටියේ බුදු බණේ පිහිටෙනි.


නිසි තැන පිහිට වන කළණ මිතුරෝ ඔහුගේ ජීවන ගමන් මඟ හෙළිපෙහෙළි කළ ආලෝක ධාරා වූහ. අධ්‍යාපනවේදී පී. ද එස්. කුලරත්න හිතවතා, තමාගේ ආධිපත්‍යයේ පැවති අනඳ විදුහලේ ඇදුරු පදවියක් මලලසේකර විද්වතාට පිරිනැමුවේය. නාලන්දා විද්‍යාලය පිහිටුවාලූ විට, එහි ප්‍රථම විදුහල්පති පදවිය හිමිවූයේ ගුණපාල මලලසේකර විද්වතාටයි.
ජගත් ශාස්ත්‍රීය ජනපදයේ විද්‍යා මැදුරකට යෑමේ මඟ ඔහුට පාදාදෙන ලද්දේ ආචාර්ය පී. ද එස්. කුලරත්න අධ්‍යාපනඥයා ප්‍රමුඛ හිතාදර පිරිසක් විසිනි. ලන්ඩන්හි ප්‍රාචීන විද්‍යා පර්යේෂණ ආයතනය විසින් ඔහුට දර්ශනාචාර්ය උපාධිය පිරිනැමුයේය.


ඉන් පසු දිගටම, මලලසේකර චරිතයේ ප්‍රගතිය පිළිබඳ මුඛ්‍ය අංශ විවෘතවන්නට පටන් ගත්තේය. ඤාණය උදාවෙත්ම උසස් ප්‍රඥාවද උදාවිය. ඒ පසුපස අවුත් ප්‍රේමය ද උදාවූයේය. පදවි ලාභ උදාවූයේය.


ජගත් කීර්තියේ අරුණාලෝකය ද උදාවිය.


සතර හදාරමින් ලන්ඩන්හි වෙසෙන සමයයේදී, සුවිශිෂ්ට යෞවනයෙන් හෙබි මලලසේකර විද්වතාගේ හද බැඳගත් සංගීතලෝලී යුවතියක් මලලසේකර ජීවිතයට එළඹුණාය. ඒ බි්‍රතාන්‍ය යෞවනියක වූ මාගරට් රසල්ය.


ඒ මෙනෙවියගේ නෑදෑයෝ සිය මාගරට් මෙම යොවුන් ආසියාතිකයා හා සමඟ විවාහ සබඳතාවක් පවත්වා ගන්නට දරන ප්‍රයත්නයට විරෝධය පෑහ.


මලලසේකර යොවුන් විද්වතා, ප්‍රේමයෙන් මුහුකුරා යන ගමන්, ප්‍රඥාවෙන්ද නිසි සේ පෝෂිත වූයේය. ඒ යුගයේ දුර්ලභ ශාස්ත්‍රීය උපහාරයක් වන දර්ශනාචාර්ය (පීඑච්ඩී) නාමය දිනාගත් ආචාර්ය මලලසේකර, පෙරළා ලක්දිව සැපත් වූ හැටියේම එවකට ලංකාවේ පැවති උසස්ම විද්‍යායතනය වන ‘විශ්වවිද්‍යාල කොලීජියේ’ ඇදුරු මඩුල්ලට පත්කොට ගනු ලැබුවේය. එහි ප්‍රාචීන භාෂා අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් විසිහත්වන වියේදී විශ්වවිද්‍යාල ඇදුරු වෘත්තිය ඇරඹූ මහාචාර්ය මලලසේකර, සිංහල පාලි හා සංස්කෘත භාෂා ඥානය විද්‍යාර්ථීන්ට පෙව්වේය. ඒ සියල්ල අතරේ ඔහුගේ ආධ්‍යාත්මය පුරා රැව් පිළිරැව් දුන්නේ මාගරට් රසල් උදෙසා ඔහුගේ මනසේ ගැයෙන ප්‍රේම ගීතයමයි. පෙම්වතියගේ මව මේ සම්බන්ධය නවත්වා දෙන්නැයි, ලංකාණ්ඩුවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයටත් දන්වා එව්වේය. එහෙත් ඒ සත්පුරුෂයා මාගරට් මාතාවට කරුණු දැක්වූයේ මෙසේය. “ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් ජීවිතයට අත පෙවීමේ බලයක් මට පැවරී නැත. කෙසේ වෙතත්, ආචාර්ය මලලසේකර නැගීගෙන එන යෞවනයකු වශයෙන් සම්මාන පූර්වකව සලකනු ලබන්නෙකි.”


බාධා සියල්ල මැද්දේ ප්‍රේමය ජයගත්තේය. මාගරට් රසල් මනාලියත් ආචාර්ය ගුණපාල මලලසේකර මනාලයාත් ඔවුනොවුන් හා සමඟ යුගදිවියට එළඹුණේ, 1927 දෙසැම්බර් දහවනදායි. ඒ වනවිට මනාලියගේ වයස අවුරුදු 21යි දවස් හතයි.


විස්මයකට මෙන් ඒ මඟුල් දිනය මේ ලියන මගේ පස්වන ජන්ම දිනයෙන් දවස් හතක් පසු වූ දිනයයි.


මහාචාර්ය මලලසේකර විද්වතා විවාහ ජීවිතයට එළඹී අසහාය දේශීය හා ජාත්‍යන්තර කීර්තියකට හිමිකම් කීමේ මුහුකුරා ගිය යුගය පටන් ගත්තේ එදා පටන්ය.
ගුණපාල මලලසේකර මාගරට් රසල් විවාහයෙන් පහළ වූ එකම දරුවා, මහැදුරු මලලසේකර දූ පුතුන් අතර වැඩිමලා වූ චිත්‍රා මලලසේකරයි. ඒ කාන්තාව විසින් සිය සම්භාවනීය පියාණන්ගේ වතගතට නගා තිබෙන්නේ චිත්‍රා නාමයටම සුදුසු විචිත්‍රත්වයකිනි.


මහාචාර්ය ගුණපාල මලලසේකර මේ දේශයටත් ලෝකයටත් අයත්වූ දැවැන්ත පුද්ගලයකු වීමේ පුවත, අද මේ දේශයේ දරුවන් උදෙසා විශේෂයෙන්ම ග්‍රන්ථාරූඪ විය යුතුයි.
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු යුගයේදී මේ දේශයට අත්‍යවශ්‍ය වූ ප්‍රධානපෙළේ රාජකාරියක් වූයේ විවිධ රටවල් හා සමඟ අප සතු සම්බන්ධතා නිල වශයෙන් පිළිබිඹු කරන තානාපතිවරුන්, රාජදූතයන් පිරිසක් තෝරා ගැනීමයි.


එසේ තෝරාගනු ලැබූ පාලන තන්ත්‍රවේදීන් අතුරින් සුවිශිෂ්ටයකු වූයේ මහාචාර්ය ගුණපාල මලලසේකර ප්‍රාඥයායි. මේ සත්පුරුෂයා තුළ ස්වභාව සිද්ධ පාලන තන්ත්‍රවේදී ගති ලක්ෂණ තිබිණි.


විචිත්‍ර කථිකත්වය, ප්‍රසන්න ආචාරශීලී ශික්ෂණය, ළගන්නා සිත්ගන්නා පෙනුම, ඕනෑම ගැටලුවක් ක්ෂණයෙකින් අඳුනාගැනීමේ කුසලතාව සහ අන් හැමටම වඩා ඉස්මතුව පෙණුනු උච්ච මානව සම්බන්ධතා පැවැත්වීමේ ප්‍රතිභාව ඉන් කිහිපයෙකි. සෝවියට් රුසියාවේ තානාපති පදවිය ලද මහැදුරු ගුණපාල මලලසේකර ඒ රාජදූත නිලය හා සමගම පෝලන්ත, රුමේනියා සහ චෙකොස්ලෝවේකියා රාජ්‍යයන්හි ශ්‍රී ලංකා රාජ දූතයා ද විය. කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය ලද මහැදුරු මලලසේකර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි ස්ථාවර නියෝජිත පදවියෙන්ද පුද ලැබුවේය. වරක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය එතුමන්ට පිරිනැමිනි.
සිවු මසක් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිලය දැරූ මහාචාර්ය මලලසේකර, එහිලා ජනප්‍රියත්වයක් ද ලැබුවේය. වරක් බි්‍රතාන්‍ය රාජ මාලිගයේ සම්භාෂණයකට සහභාගි වී සිටි මහැදුරු මලලසේකර මහතාගේ දසුන වෙත වර්තමාන දෙවන එලිසබෙත් මහරැජිනගේ මවු බිසොව වන, එලිසබෙත් රැජින එළඹුණාය. මහාචාර්ය මලලසේකර රාජ දූතයා අමතමින්, ඒ මවු රැජින මෙසේ විමසුවාය.


“ඔබ ඉතා බුද්ධිමත් යැයි මට බොහෝවිට අසන්ට ලැබුණා. ඒ තරම් ප්‍රඥාවක් ඔබට ලැබුණේ කෙසේද?”


ගෞරව පූර්වකව පිළිතුරු දුන් මහාචාර්ය මලලසේකර මෙසේය “මහ රැජිණියෙනි. එසේ ප්‍රඥාව දියුණුවීමේ රහසක් තිබෙනවා. මා බොහෝ විට අලුත් මාළු අහරට ගන්නවා”
ඉන් වසර කිහිපයකට පසු, යළිත් ඒ මවු රැජිණට, මහැදුරු මලලසේකර මුණ ගැසුනේය. එතුමිය මෙසේ විමසුවාය. “මහැදුරුතුමණි, තාමත් පෙරසේම අලුත් මාළු වළඳිනවාද?” පෙර වතාවේ මතකය නිසා මවු රැජිණ ඒ පැනය නැගුවේය. ‘එසේය, මහරැජිණියනි’ යි මහැදුරුතුමා පිළිතුරු දුන්නේය.


අනාගතයට බොහෝ සේ බලපාන ශාස්ත්‍රීය කෘති කිහිපයක්ම එතුමා ශ්‍රී ලංකාවෙන් ලොවට ප්‍රදානය කළේය. “පාලි සංඥානාම ශබ්ද කෝෂය” ඒ ග්‍රන්ථ සම්භාරයෙන් එකකි. එසේම, මේ මොහොතේත් විද්‍යාර්ථිය වාසීන් භාවිත කරන “ඉංග්‍රීසි - සිංහල” ශබ්ද කෝෂය, සදාකාලිකවම සජීවීයය. මලලසේකර ශබ්ද කෝෂය නමින් දන්නා මේ අය බහුලව භාවිත කෙරෙන ශබ්ද කෝෂය ගුණසේන සමාගමේ ප්‍රකාශනයකි. 


මහාචාර්ය ගුණපාල මලලසේකර වියතාණන්ගේ කෘති පිළිබඳ සර්ව සම්පූර්ණ ලේඛනයක් පළ කළ යුතුම වෙයි. එසේ වුවද, එතුමාගේ ජනකාන්ත දේශන නම් කිසිකලෙක එකතු කළ හැකි නොවන්නේය. 


දේශීය සංස්කෘතිය රැක බලා ගන්නා පිණිස එතුමන් පසුගියදා ඉටුකෙරුණු මහා මෙහෙයද, කිසි තැනෙක හෝ පරිපූර්ණ ලෙස වාර්තා වී නැත.


ජාතික අවශ්‍යතාවයක් වන්නේ, එතුමන්ගේ 118 වන ජන්ම දිනයෙනි, දැඩි සාමූහික අධිෂ්ඨානයක් සඳහා යොමුවීමයි.


එතුමා ජන්ම දිනයට පෙරාතුව එතුමන්ගේ කෘති පිළිබඳවත් දිවිපෙවෙත පිළිබඳවත් වෙසෙසින්ම ඉංගිරිසියෙන් මහා කෘතියක් කළ යුතුවේ. සිංහලයෙත් එවැන්නක් තිබෙන හෙයිනි.
එසේම, එතුමන්ගේ ජීවිත කතාව අලලා එහි සනාතනික සජීවී බව අප දරු පෙළට දැනෙන පරිදි ළමා පොතක්, විචිත්‍ර රූ සටහන් සහිතව ඉතාම ඉක්මණින් සම්පාදනය විය යුතුය. මෙය අදට ඉතාම ඕනෑ කරන්නකි. මක් නිසාදයත්, අපගේ දරු කැල නොමග යවන බලවේග ශීඝ්‍ර වේගයෙන් අධික වන්නට පටන්ගෙන තිබෙන හෙයිනි.


මෙහිදී, මා ගැන විශේෂ යමක් කිව යුතුව තිබේ. ඒ, මගේ ආත්මය නිවාලනු පිණිස නොව මලලසේකර මහා චරිතය සපුරා දක්වනු පිණිසමය.


බෞද්ධ සාහිත්‍ය උත්සවයේ විශේෂාංගයක් වශයෙන් වර්ෂයක් පාසා ‘මහාචාර්ය ගුණපාල මලලසේකර සම්මානයක්” පිරිනැමීම ආරම්භ කෙරුණේය. එහි ප්‍රථම සම්මානය, උත්සවයේ ගරු සංවිධායකයන් විසින් මට පිරිනමන ලදී. ඒ, 2018 සැප්තැම්බර් 14 වැනිදාය.


මම දන්නා කාලයේ පටන්ම එතුමන් නොදැකම එතුමන්ට ගෞරවාදර පූර්වක වීමි. මා ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වාධීන විශ්ව විද්‍යාලයට බැඳෙන්නට සුදුසුකම් ලබ ප්‍රථමවරට ඒ විද්‍යායතනයට සෙසු විද්‍යාර්තීන් හා සමග පැමිණියෙමි. අපට ආශිර්වාද කරන්නට එහි සිටි මහා ශ්‍රේෂ්ඨයන් අතර, මහැදුරු මලලසේකර මහා ප්‍රාඥයා ද සිටියේය.
මා දැක එතුමා මෙසේ කීයේය. ්‍යැරු සි ් ටදදා ප්බ (හියර් ඉස් අ ගුඞ්මෑන්) “ආ මේ ඉන්නේ හොඳ මිනිහෙක්” ඉන් ඇඟුනේ කුමක්දැයි මම තාමත් නොදන්නෙමි. එහෙත්, ඒ ප්‍රකාශය ගලේ කෙටූ අකුරක් සේ මගේ සන්තානයේ තහවුරුව පවතී.


පසුව මම, එතුමාණන්ගේ සම්භාවනීය අනුග්‍රහය යටතේ පවත්නා විශ්ව විද්‍යාලයීය සංගමයක් වන “බුඩිස්ට් බ්‍රදර්හුඞ්” 


බෞද්ධ සහෝදර සංගමයේ සභාපතිනිය ලද්දෙමි.


ඒ නිසා එතුමාණන්, අද මේ රටේ බොහෝ දෙනා තුළ ජීවමානව සිටීදැයි යන්න පෞද්ගලිකවම තහවුරු කරනු පිණිස මේ සිද්ධිය ලේඛන ගත කළෙමි. මනිමාත්‍ර වූ හෝ ආත්මවාදී ගතියක් මෙහි නොමැති බව පුන පුනා පළ කළහ.


එතුමා දිවි හිමියෙන් ශ්‍රී ලංකා බෞද්ධ සංවිධාන සහ ජගත් බෞද්ධ ආයතන සවිමත් කළේය.


එහෙත්, ආත්මීය වශයෙන් ලද හැකි හෝ ලැබෙන ප්‍රතිලාභ ගැන එතුමා යන්තමින් හෝ සැලැකුවේ නොවේ.


එතුමන්, තැන්පත්ව, සන්සුන් ඒකාග්‍ර මනසින්, මෙළොව හැර ගියේය.


අවසන් වරටත් එතුමා මුමුනා සිටියේ මේ බුදු පදයයි.


“විපදි ධෛර්යං සම්පදි ක්‍ෂමා”


‘සිත ආපදා දියෙන් ආලෝලනය වනවිට දිරිමත් වන්න.


සම්පත්, ප්‍රතිලාභ ලබන කල්හි සහනදායී, මෙත් පෙරටු සිත් වඩන්න’.


මහැදුරු මලලසේකරයන්ගේ මෙවන් වදන් අදත් ජීවමානය.

 

 


ලෝකයේ දිගම සමුද්‍ර පාලම

 

ලෝකයේ දීර්ඝතම සමුද්‍ර පාලම නොබෝදා විවෘත විය. කිලෝමීටර් 55ක් දිගැති මේ මහා සමුද්‍ර පාලම තැනීම සඳහා වැය වූ මුළු මුදල ඇමෙරිකානු බිලියන විස්සකි. ගත වූ කාලය අවුරුදු නවයකි.


මේ පාලම හොංකොං, සුහායි සහ මැකෝ යන ස්ථානත්‍රය එකට යා කෙරේ. ගමනට ගතවන කාලය හුදෙක් විනාඩි 45කි. ඒ, ගමන් බලපත්‍ර පරීක්ෂණයට ගත වන කාලය අත්හළ විටයි. මෙහි ධාවනය වන විශේෂ බස්රිය ‘රන් බස් රිය’ වශයෙන් නම් කෙරේ. මෙයට හේතුව නිලධාරීන් රන්වන් ඇඳුම් පළඳින නිසාය. මේ බස් රිය පැය 24 පුරාම ගමන් ගනී. ගමනට වියදම ඩොලර් 8 ත් 10 ත් අතර ප්‍රමාණයකි.


විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රවේශපත්‍ර මිලයට ගත හැකි වන ක්‍රමයක් ද සකස් කෙරේ. මේ මහා සමුද්‍ර පාලම චීන නිර්මාණයකි.


විවෘත කළ දිනයෙහි, රථ වාහන 2305 ක් ඒ සමුද්‍ර පාලම භාවිත කෙරිණි.
මේ සමුද්‍ර පාලම භාවිත කරන සංචාරකයන්ට, සුනායිහිදී ලෝක ප්‍රසිද්ධ මත්ස්‍යාහාර ආපන ශාලාවලින් අවශ්‍ය ආහාර වර්ග ලබාගත හැකිවීම පාලමේ විශේෂ ආකර්ශනයකි. 

 


ලෝක විනාශය

නොබෝදා අභාවයට පත් වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකිං අවසාන වශයෙන් ඉදිරිපත් කළ ඇතැම් අනාවැකි මුළු මානව වංශයම කම්පා කරවන සුළුය.
ඔහු අවසාන අනාවැකියට මුල්කොට ගත්තේ ස්වභාවික වශයෙන් සිදුවන කාලගුණ විපරීතයන් අද මිනිසුන්ගේ පරිපාලන කටයුතුවල පවත්නා ස්වභාවයන්ය. හෝකිං විද්වතාගේ අනාවැකිය සැකෙවින් මෙසේය. ඔහු පවසන්නේ “දෙවන පරමාණු යුගයක්’ උදාවන බවයි. මෙය උදාවනු ඇත්තේ මීට පෙර අන් කිසි කලෙකත් සිදු නොවූ ආකාරයේ කාලගුණ විපරීත සමූහයක් සහිතවයි.


මෙසේ මානව සංහතියේ පරමාණු හේතුකොටගත් විනාශය පිළිබඳ අස්තරාය කියාදෙන විද්‍යාඥ හෝකිං මෙසේත් අවවාද කරන්නේය.


මේ එන්නට තිබෙන ලෝක විනාශය වළක්වාගත හැක්කේ මානව වර්ගයා විසින්ම පමණි.


මානව වර්ගයා ඔහුට ඇහුම්කන් දේද?

 


ලොව පැරැණි පොත-පත

ශාක්‍ය මුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

 

අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහ නායක මාහිමියන් වහන්සේ විසින් විරචිත මේ සම්භාවනීය ග්‍රන්ථය අද පරපුරට පෙනෙන්නේ තරමක් පැරැණි ග්‍රන්ථයක් වශයෙනි.
පරම්පරා කිහිපයක පාඨකයන් විසින් ආදර භක්ති පූර්වකව කියවා පින් පුරවාගෙන සිටින මේ ගරු ග්‍රන්ථය අදටත් ඉතාම ප්‍රයෝජනවත්ය.


පොත් - පත් විශාල සංඛ්‍යාවක් කියවා අවබෝධ කොටගත යුතුව තිබෙන තොරතුරු සම්භාරයක් මෙසේ එක්තැන්කොට පාඨකයන් අතට දීම ග්‍රන්ථ කාරක මහනා හිමියන් විසින් ඉටුකොට තිබෙන මහා සාමයික මෙහෙයෙහි ආලෝක අනාගත පරම්පරාවනටත් ගැලපෙයි. 


පාඨකයාට උපකාරීවන, විස්තරාත්මක විෂය සුචියක් මෙහි වෙයි.


ග්‍රන්ථය පරිච්ඡේද 51කින් සමන්විතයි.


පොත අග විශේෂ සටහන් කිහිපයකි. බුදු හිමියන් වස් විසූ තැන් එක් ලේඛනයකින් ප්‍රකාශ වේ.


සුවිසි මහ සමාගම් ද මෙහි දැක්වෙන්නේය.


අසූ මහා සිව්වන්ගේ නාම ලේඛනය ද මෙහි ප්‍රකාශ වෙයි.


ධානාන්තර ලද භික්ෂූන් වහන්සේගේ නාම ලේඛනයටත් මෙහි තැනක් ලැබේ.


මෙවැනි විවිධ තොරතුරු සැපයෙන අතර බෝසතාණන් වහන්සේගේ කේන්ද්‍රය ද මෙහි දැක්වෙන්නේය.


පොතෙහි එන ඇතැම් දේ පිළිබඳ විස්තර සැපයෙන අටුවා පාඨ 200 කි. අගට පදෝෂ්ක්‍රමණිකාවක් ද එක් කෙරේ.


මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයේ නව සංස්කරණයක් ප්‍රකාශ කිරීමට මේ සුදුසු කාලය බව ද පැවසීම සුදුසුය. අලුත්ම පාඨකයන්ගේ රුචිකතාවට ගැළපෙන පරිදි, මේ සම්භාවනීය ග්‍රන්ථය අලුත්ම මුහුණුවරකින් ඉදිරිපත් කිරීම අසහාය පින්කමක්මය. 

 

 

 


RECOMMEND POSTS

RELATED POSTS