යළිත් දැනෙන කොරෝනා බිය



ශ්‍රී ලංකාවේ අපට අමතක වූ ‘කොරෝනා බිය’ දැන් යළිත් වරක් දැනෙන්න පටන්ගෙන තිබේ. ඒ,  මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් පොකුරක් නිර්මාණය වීමත් සමඟය. ඒ අනුව, ඉදිරි දින කීපය අප කාටත් තීරණාත්මකය. කොරෝනාට තිබූ බිය අපෙන් පහව ගියේ, පසුගිය මාස කිහිපයේ, රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එක්වෙමින්, සමාජයේ කොරෝනා ව්‍යාප්තිව වළක්වා ගැනීමට ගත් ක්‍රියා මාර්ග සර්ථක වූ බැවිනි. එම ක්‍රියාමාර්ග කොතරම් සාර්ථක ද කියනවා නම්, බොහෝ දෙනා සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ලබා දුන් උපදෙස් පවා නොසලකා හැරියේය.

‘ලංකාවේ දැන් කොරෝනා නෑ. කොරෝනා ඉවරයි’ යන මතය බොහේ දෙනා තුළ විය.එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු ආවරණය නිකටට පහත් විය. පොදු ස්ථානවල අත් සේදීමට සැකැසූ ටැප් සීදී ගියේය. රජයේ, පෞද්ගලික අංශයේ කාර්යාලවල පමණක් නොව ඇතැම් රෝහල්වල පවා උෂ්ණත්ව පරීක්ෂාව විහිළුවක් විය. දෛනික කටයුතු යළි සාමාන්‍ය තත්ත්වයට පත්වූවා පමණි, සියල්ල උඩු යටිකුරු කරමින්, පසුගිය තුන් වැනිදා සිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව, කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේය.

කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන එසේත් නැතිනම් ආසාදනය වන වයිරස විශේෂයකි. කොරෝනා වයිරස පවුලේ වයිරස විශේෂ බොහොමයකි. ඒ අතරට අලුතින්ම එක් වූයේ සාමාජිකයා වන්නේ ‘කොවිඩ් 19’ ය. වයිරසයේ සුලමුල පවා තවමත් හරිහැටි අනාවරණය වී නැත. නිසි ප්‍රතිකර්මයක් සොයාගෙන නැත. චීනයෙන් ආරම්භ වූ ‘කොවිඩ් 19’ වයිරසයට වයස් භේදයක් ද නැත. එය කොතරම් ඉක්මණින් පැතිරෙනවා ද යන්න ගැන අමුතුවෙන් කිව යුතු වන්නේ ද නැත. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා වයිරසය වී තිබෙනවා විය හැකිය.

‘කොවිඩ් 19’ වයිරසය අද හෙට ලොවෙන් තුරන් වී යන්නේ නැත. වයිරසය ආසාදනය වීම වැළැක්වීමට සාර්ථක එන්නතක් නිපදවූවත්, වයිරසය සමඟ අපට තවත් වසර කීපයක් ජීවත් වීමට සිදුවේවි. ජගත් විද්‍යාඥයන්ගේ අදහස මෙයයි. වයිරසය සමඟ ජීවත් වීමට නම්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම, මුහුණු ආවරණ පැලඳීම සහ අත් පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්ය. හේතුව ‘කොවිඩ් 19’ වයිරස විෂ බීජ සිරුරට රිංගන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලිනි. හැකි තරම් මීටරයේ දුර පවත්වාගෙන යෑම ඉතා වැදගත්ය. සමාජයේ සිටින ආසාදිතයන් හඳුනා ගැනීම ද ඒ හා සමානව වැදගත්ය. පීසීආර් පරීක්ෂණ සිදු කරන්නේ ඒ සඳහාය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වයිරසයට එරෙහි සටනේ දී වැදගත්ම අවිය වයිරස ආසාදිතයන් සොයා ගැනීමට සිදු කරන වෛද්‍ය පරීක්ෂණය. ‘ටෙස්ට්.ටෙස්ට්.ටෙස්ට්’ (පරීක්ෂණ, පරීක්ෂණ, පරීක්ෂණ) ලෝක සෞඛ්‍ය සංවිධානයේ පණිවුඩය එයයි.

කොරෝනා වයිරසය, මේ මොහොත වෙද්දී ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 214 ක් පුරා පැතිර ගොස් අවසන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ලෝකයේ සෑම 10 දෙනකුගෙන් එක් කෙනකු ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. ඔබ මේ ලිපිය කියවද්දී, ලෝකයේ සමස්ත කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 36,740,000 ඉක්මවා ගොසිනි. සමස්ත මරණ 1,066,500 ඉක්මවා ගොසිනි. පූර්ණ සුවය ලැබූ ගණන 27,640,175 කි. තවමත් ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 7,833,800 ක් වන අතර මරණ 2,15,000 පසු කර ඇත. ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වුවත්, ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ 1,49,034 කි. ආසාදිතයන් ගණන 5,029,539 කි. ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 6,990,000 පසු කර තිබේ. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 1,06,650 කි.

වයිරසය ආරම්භ වූ චීනය, වයිරසයට එරෙහිව සාර්ථක ලෙස සටන් කළේය. චීන රජය සහ සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත්තේ, මුළුමනින්ම වයිරසය පාලන කළ බවය. මේ වනවිට චීනයෙන් කිසිදු නව ආසාදිතයකු වාර්තා වන්නේ නැත. චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 85,500 න් නතර විය. චීනයේ වයිරස මරණ සංඛ්‍යාව 4,634 ක් වන අතර වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 84,666 ක් බව පැවැසෙයි. චීනයේ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්ව ඇති අතර, ආර්ථිකයේ ද වර්ධනයක් පෙන්නුම් කරයි. අද චීනය ලෝකයේ ආරක්ෂිතම රටවල් අතර ඉදිරියෙන් සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට නවසීලන්තය ද සාර්ථක කොරෝනා ව්‍යාප්තිය නවත්වාගෙන ඇත. දැඩි ජනතා ප්‍රසාදයක් දිනා සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් ලබන 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ද සූදානම් බව පවසා තිබේ. ඒ, සෞඛ්‍ය නිර්දේශවලට අනුවය. නවසීලන්තයේ දිගටම කොරෝනා ආසාදිතයන් සෙවීමේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුවෙමින් පවතී.

ඇමෙරිකාව, කොරෝනා වයිරස කේන්ද්‍රස්ථානය බවට පත් වීමට පෙර, යුරෝපා රටවල් වන ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ කොරෝනා ඉහවහා ගියේය. ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමෙන් පසු දැන් යළිත් ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වී ඇතැයි පැවැසෙයි. ස්පාඤ්ඤයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් ද ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඉදිරියේ දී එලැඹෙන ශීත කාලයත් සමඟ කොරෝනා ව්‍යාප්තියේ ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අනතුරු අගවා තිබේ. ඇමෙරිකා සම්බාධකවලින් බැට කන ඉරානයේ තෙවැනි කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇතැයි පැවැසෙයි. මැදපෙරදිග රටවල් අතරින් කොරෝනා වයිරසය දරුණුවට පැතිර යන රටක් වන්නේ ඉරානයයි. ඉරාන පාර්ලිමේන්තුවේ හරි අඩකට ද වයිරසය ආසාදනය විය.

විදෙස් මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS