කොරෝනාගෙන් බේරෙන්න සෞඛ්‍ය පුරුදු ඕනෑ



මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් පොකුරක් නිර්මාණය වූයේ, ලෝකයේ සෑම 10 දෙනකුගෙන් එක් අයකු කොරෝනා ආසාදිතයකු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරද්දීය.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම, මුහුණු ආවරණ පැලඳීම සහ දෑත් පිරිසුදුව තබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් උපදෙස් ලබා දුන්නත්, ‘දැන් කොරෝනා නෑ. කොරෝනා ඉවරයි. කොරෝනා හැඳුනට මැරෙන්නේ නෑ’ යැයි කියමින්, අප රටේ බොහෝ දෙනා සෞඛ්‍ය පුරුදු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. එසේ වුවත් වයිරසය කුමන අවස්ථාවක යළි සමාජයෙන් මතුවේවි යන බිය සෞඛ්‍ය බලධාරීන් තුළ වෛද්‍යවරුන් තුළ පැවැතිණි. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අනතුරු ඇඟවිණි. එහෙත්, ඒ ගැන බොහෝ දෙනාගේ අවදානය ගිලිහී යද්දී, මුහුණු ආවරණය නිකටට පහත්විය. පොදු ස්ථානවල අත් සේදීමට සවි කළ ටැප් සීදී ගියේය. උෂ්ණත්ව පරීක්ෂාව සෙල්ලමක් විය. ඇඟලුම් කම්හල ආශ්‍රිතව කොරෝනා පොකුරක් මතුවූයේ එවැනි අවස්ථාවකය.

චීනයෙන් ආරම්භ වූ කොරෝනා නමැති වයිරස පවුලට අයත්, ‘කොවිඩ් 19’ වයිරසයට වයස් භේදයක් නැත. එය කොතරම් ඉක්මණින් පැතිරෙනවා ද යන්න ගැන අමුතුවෙන් කිව යුතු නැත. එපමණක් නොවෙයි, මේ වයිරසයේ බිහිසුණු බව නම්, කිසිදු රෝග ලක්ෂණයක් කිසිවක් නොපෙන්වා වයිරසය ආසාදනය වී තිබීමය. ‘කොවිඩ් 19’ වයිරසය අද හෙට ලොවෙන් තුරන් වී යන්නේ ද නැත. වයිරසය ආසාදනය වීම වැළැක්වීමට සාර්ථක එන්නතක් නිපදවූවත්, අපට වයිරසය සමඟ තවත් වසර ගණනක් ජීවත් වීමට සිදුවනු ඇත. එහෙයින් අප කළ යුත්තේ වයිරසය සමඟ ජීවත් වීමට අනුගත වීමය. එසේ කීරීමට නම්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම, මුහුණු ආවරණ පැලඳීම සහ අත් පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්ය හේතුව ‘කොවිඩ් 19’ වයිරස විෂ බීජ සිරුරට රිංගන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලිනි. මීටරයේ දුර පවත්වාගෙන යෑම ඉතා වැදගත්ය. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ට අනුව නම්, එය මීටර් දෙකක් විය යුතුය.

මීට පෙර අප රටින් හමුවුණු ආසාදිතයන් මෙන් නොව, ඇඟලුම් කම්හල ආශ්‍රිතව හඳුනා ගත් ආසාදිතයන්ට ආසාදනය වූ කොරෝනා වයිරසයේ සාන්ද්‍රණය වැඩි බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැහැදිලි කර දී තිබේ. කොවිඩ් 19 කොරෝනා වයිරසයේ බිහිසුණු ස්වරූප රැසකි. කොරෝනා වයිරසය රට රටවල පැතිර යද්දී එය විකෘති වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. මේ වනවිටත් ආසියානු රටවල් කීපයකින් සහ යුරෝපා රටවල් කීපයකින් එසේ විකෘතිකරණයට ලක් වුණු කොරෝනා වයිරස විෂබීජ හමුවී ඇතැයි පැවසෙයි.

ලෝකයේ සෑම 10 දෙනකුගෙන් එක් කෙනකු කොරෝනා ආසාදිතයකු යැයි පැවැසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි මෙහෙයුම් ප්‍රධානී මයික් රයන් ය. ඒ, පසුගිය 5 වැනිදා ජීනිවා නුවර, ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත් වූ මාධ්‍ය හමුවට එක් වෙමිනි. අද වනවිට ලෝකයේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 36 පසු කර අවසන්ය. ලොව පුරා කොරෝනා මරණ 1,055,000 පසු කර තිබේ. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 27,193,475 කි.

තවමත් ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 7,800,000 ක් වන අතර මරණ 2,15,000 පසු කර ඇත. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වුවත්, දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ 1,47,000 කි. ආසාදිතයන් ගණන 7,970,000 කි. ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයවන් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 6,770,000 කි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ 1,04,650 පසු කර තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් බිය පළ කරන්නේ, මෙම වසර අවසන් වීමට පෙර, ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ඇමෙරිකාව පසු කරනු ඇති බවය.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් පසුගිය දා නිල වශයෙන් කියා සිටියේ දෙවැනි වරටත් නවසීලන්තයට කොරෝනා වයිරසය පරාජය කිරීමට හැකිවුණු බවය. නවසීලන්තයෙන් දෙවැනි වයිරස රැල්ලක් නිර්මාණය වූයේ ඕක්ලන්ඩ් නුවරින් ආසාදිතයන් වාර්තා වෙද්දීය‍. කෙසේ නමුත් නිරෝධායන නීති දැඩි කරමින්, එම රැල්ල පලානය කඩිනමින් කර ගැනීමට නවසීලන්ත සෞඛ්‍ය අංශ සමත් වී ඇත. ඒ අනුව නවසීලන්ත මහ මැතිවරණය සෞඛ්‍ය උපදෙස් මත ලබන 17 වැනිදා පැවැත්වීමට කටයුතු යොදන බව ද අගමැතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය. කොරෝනා මර්දනය සාර්ථකව කළ බැවින් අගමැතිනි ජැසෙන්ඩාට ඉහළ ජනවරමක් හිමිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

කොරෝනා වයිරසය වළැක්වීමේ අරමුණින් නිපදවන එන්නත්වල ප්‍රගතිය කෙරෙහි බොහෝ දෙනාගේ අවදානය යොමු වී ඇත. එන්නත් සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින්නේ රුසියාව සහ චීනයයි. රුසියාවේ කොරෝනා වළක්වන එන්න ‘ස්පුට්නික් 5’ වන අතර මෙය රුසියානුවන්ට ලබා දීම දිගටම සිදුවෙයි. ඒ, තෙවැනි අදියරේ සායනික පර්යේෂණ සිදු කරද්දීය. රුසියන් සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එන්නත සාර්ථකය. ලොව පළමුවෙන් ලියා පදිංචි කළ කොරෝනා මර්දන එන්නත වන්නේ ද ‘ස්පුට්නික් 5’ ය.

වයිරසයේ ආරම්භය සනිටුහන් වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. චීන විද්‍යාඥයන් ද එරට රජයේත් අනුග්‍රහය යටතේ එන්නතක්  නිපදවා ඇති අතර, එය ද අවසන් සායනික අත්හදා බැලීම් සිදු කරද්දී, චීන වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ. ඊට අමතරව, ඇමෙරිකාවේ ෆයිසර්, මොඩර්නා, ජර්මනියේ බියෝටෙක්, එක්සත් රාජධානියේ ඇස්ට්‍රා සෙන්කා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල ද සාර්ථක එන්නත් නිපදවීමේ අවසන් අදියරේ පසුවන බව පැවැසෙයි. මේ එන්නත් ලබා දීම සිදු කරනු ඇත්තේ සියලු සායනික අත්හදා බැලීම් අවසන් කර, එ්වායේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එසේ වනු ඇත්තේ ලබන 2021 වසරේදීය. මේ සියලු එන්නත් නිපදවීම සිදු කරන්නේ කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. වයිරසය ආසාදනය වූ අයකුට මෙම එන්නත්වලින් ඵලක් නොමැත.

ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී, රොයිටර් ඇසුරිනි

RECOMMEND POSTS