හමාද් වරායේ සිට නව නැව් මාර්ග දෙකක්



චීනය, ඉන්දියාව, මැලේසියාව, තුර්කිය සහ ග්‍රීසිය ද ඇතුළු තවත් රටවල් රැසක ප්‍රධාන වෙළෙඳ වරායන් සමඟ සම්බන්ධ කෙරෙන නව නැව් මාර්ග දෙකක් හමාද් වරායේ සිට ආරම්භ කෙරෙන බව කටාර් බලධාරීහු කියති.

මෙම නව නැව් මාර්ග ආරම්භ වනු ඇත්තේ ලබන 17 වැනිදා සිටය. කටාර් වරාය කලමණාකාර සමාගම වන ම්වානී කටාර් පෙන්වා දී ඇත්තේ මෙම නව නැව් මාර්ග හරහා කටාරය සිය වෙළෙඳ ගනුදෙනු වැඩි දියුණු කර ගනු ඇතැයි කියාය.

මෙම නව නැව් මාර්ග දෙක භාවිතා කරනු ලබන්නේ මධ්‍යධරණී නැව් සමාගාම සහ යැංග් මිංග් නැව් සමාගම බව ද වාර්තා වේ. මධ්‍යධරණී නැව් සමාගාම ඔවුන් සතු නැව් හතරක් නව නැව් මාර්ගයට යොදවනු ඇතැයි ද පැවැසෙයි.

කන්ටේනර් 10,000 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යෑම ද සිදු වනු ඇත. මෙරිසිං, ඉස්තාන්බුල්, ටෙක්රිඩැග්, කනක්කාලී සහ ස්කෙන්ඩරන් යන වරාය සමඟ නැව් මාර්ග සම්බන්ධ වෙයි.

මැදපෙරදිග කලපයේ විශාලතම වරාය ලෙස සැළකෙන්නේ හමාද් වරායයි. සෞදිය ප්‍රමුඛ රටවල සම්බාධක හමුවේ වරායේ වැඩ කටයුතු නියමිත පරිදි පවත්වා ගෙන යෑමට කටාර් බලධාරීහු සමත් වී සිටිති.  දිනෙන් දින දියුණු වෙන හමාද් වරාය කටාර් ආර්ථිකය සමඟ සෘජුව සම්බන්ධ වන බවත්, එය ආර්ථිකයේ දියුණුවට බලපායි.

පසුගිය පස් වැනිදා හමාද් වරායේ උම් අල් හෝල් කලාපය නිල වශයෙන් විවෘත වීම සිදුවිය. ඒ, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානීගේ ප්‍රධානත්වයෙනි.

හමාද් වරායේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතින්නේ අදියර කිහිපයකිනි. සියලු අදියර අවසන් වීමෙන් පසු, වාර්ෂිකව ටොන් මිලියන 1.7 ක භාණ්ඩ අසුරා තබා ගැනීමට වරායට හැකියාව ලැබෙනු ඇතැයි වරාය පාලනාධිකාරිත්වය කියයි.

වෙරළාරක්ෂක නිලධාරීන් වෙනුවෙන් සහ ඔවුන්ගේ නැව් ඇතුළු නාවික යාත්‍රා වෙනුවෙන් ද වෙනම කලාපයක් හමාද් වරායට අයත් වෙයි.

සාගර ගවේෂණ කටයුතුවල යෙදෙන යාත්‍රා වෙනුවෙන් ද අංගනයක් වෙන් කර තිබේ. අති නවීන තාක්ෂණය හමාද් වරායේ මෙහෙයුම් සඳහා යොදා ගන්නා අතර, ඒ සියල්ල සිදුවන්නේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. රේගු දෙපාර්තමේන්තුව වෙනුවෙන් ද වෙනම පර්යන්තයක් වෙන් වී ඇත.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS