සෞදියෙන් කටාරයට පැසසුම්



පවතින එදිරිවාදිකම් හමුවේ, කටාරයට ප‍්‍රශංසා කිරීමට, සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු පියවර ගත් බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

සල්මාන් කුමරු මේ අයුරින් කටාරයට ප‍්‍රශංසා කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මවිතය පළ කර ඇත.
ඔටුන්න හිමි කුමරු කටාර් රාජ්‍යයට ප‍්‍රශංසා කර ඇත්තේ, එරට ආර්ථිකය සම්බන්ධයෙනි. ඒ, රියාද් නුවර තෙදිනක් පුරා පැවැත්වුණු ජාත්‍යන්තර ආයෝජන සමුළුව ඇමැතූ අවස්ථාවේදීය.

පසුගිය වසරේ ජූනි මාසයේ සිට සෞදිය සහ අසල්වැසි කටාරය අතර නොහොඳ නෝක්කඩු පවතී. ඒ, කටාර් රාජ්‍යය අන්තවාදයට ඔඩගෙඩි දෙන බවටත්, ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දෙන බවටත් චෝදනා කරමිණි.

මෙම චෝදනා මුල්කොට ගනිමින් සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, කටාරය හුදෙකලා කරමින් සම්බාධක පනවා ඇත. එම සම්බාධක හමුවේ කටාරය දැඩි අර්බුද රැුසකට මුහුණ දී සිටියත්, කටාර් ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට කටාර් එමීර් අල් තානී ප‍්‍රමුඛ රජය කටයුතු කර ඇත. ඒ, සෙසු තුර්කිය, ඉරානය සස මැදපෙරදිග රටවල සහ බටහිර රටවල සහාය නිසාය.

කටාරය හුදෙකලා කරමින් මුහුදින් ගුවනින් සහ ගොඩබිමෙන් සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පුරෝගාමියා වන්නේ ද සල්මාන් කුමරුන් යැයි පැවැසෙයි. සෞදිය සහ සෞදියට හිතවත් රටවල් තමන්ට එල්ල කරන චෝදනා තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව කටාර් රාජ්‍යය කියා සිටී.

‘කටාරය සහ අපි අතරේ මත ගැටුම් තිබෙනවා. අපි අතරේ වෙනස්කම් තියෙනවා. ඒත් කටාරය ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සමත් වී අවසන්. ඉදිරි පස් වසරේ ඔවුන් තවත් ඉදිරියට යාවි. තවත් ආර්ථිකය ශක්තිමත් කර ගනීවි’ යැයි සෞදි කුමරු කියා සිිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS