සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයත් ඉහළට



සේවා අංශය අඛණ්ඩව සිවුවැනි මාසයටත් වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් මාර්තු මාසයේ දී ඒකක 62.1ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්ති සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල දක්නට ලැබුණු ඉහළ යෑම් ඊට හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරයි.

ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා සහ තොග හා සිල්ලර වෙළෙඳාම යන උප අංශවල දක්නට ලැබුණු වර්ධනයන් සමඟ සේවා අංශයේ නව ව්‍යාපාර 2021 මාර්තු මාසයේ දී ඉහළ ගිය බව ද මහ බැංකුව කියයි. .

සමස්තයක් ලෙස සෑම උප අංශයකම සිදු වූ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයත් සමඟ ඉකුත් මාර්තු මාසයේ දී සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව සිවුවැනි මාසයටත් ඉහළ ගිය බව ද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ප්‍රධාන වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රගතියට අනුකූලව මූල්‍ය සේවා උප අංශය මාර්තු මාසයේ දී තවදුරටත් වර්ධනයක් වාර්තා කර ඇති අතර උත්සව සමයත් සමඟ තොග සහ සිල්ලර වෙළෙඳාම සහ ප්‍රවාහන උප අංශ ද තවදුරටත් වර්ධනය වී ඇත.

මීට අමතරව අනෙකුත් පෞද්ගලික සේවා උප අංශ ද ඉකුත් මාසයේදී වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය සහ උසස් පෙළ විභාගවලින් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් සමඟ අධ්‍යාපන උප අංශයේ ද අඛණ්ඩ වර්ධනයක් වාර්තා වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වර්ධනය වන ව්‍යාපාර ක්‍රියාකාරකම් මධ්‍යයේ නව බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් අඛණ්ඩව මාස 13ක් පහත වැටීමෙන් පසු පළමු වරට සේවා නියුක්තිය ඉකුත් මාර්තු මාසයේ දී ඉහළ ගිය බව එම බැංකුව කියයි.

‘කොවිඩ්-19’ වසංගතය හා සම්බන්ධ සෞඛ්‍ය අවදානම හේතු කරගෙන අඩු මට්ටමක පැවැති සේවයට වාර්තා කිරීම් ඉහළ යෑමත් සමඟ නිම කිරීමට නියමිත කාර්ය ඉකුත් මාසයේ දී අඛණ්ඩව දෙවැනි මාසයටත් පහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.


RECOMMEND POSTS