ශ්‍රී ලංකා කැනඩා ඒකාබද්ධ ව්‍යාපෘතියක්



සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව වසර 02 ක කාලයක් මෙරට විශ්ව විද්‍යාලයක සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට අවසන් වසර 02 කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයකට ඇතුළත්ව උපාධිය සම්පුර්ණ කිරීමට හැකිවෙන පරිදි වැඩසටහනක් සැකසීම පිළිබදව අවධානය යොමුව ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්  මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක දි මේ පිළිබදව එකගතාවය පළ විය.

මෙරට තරුණ තරුණියන්ට කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයවලට ඇතුළත්ව සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උපාධි ලබා ගැනීමට හැකියාව සම්බන්ධයෙන් මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

කැනඩා විශ්ව විද්‍යාලවල සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයට අදාළ උපාධි පාඨමාලා හැදෑරීම සදහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට හැකි බව ද කැනේඩියානු  මහා කොමසාරිස්වරයා මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට දැනුම් දී ඇත.

සංචාරක අමාත්‍යාංශයට අයත් සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය මගින් දැනට පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සදහා කැනේඩියානු රජයේ සහාය ලබා දීමටද කැනේඩියානු මහා කොමසාරිස්වරයා මෙහිදී එකගතාවය පල කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද, මෙරට අභ්‍යන්තර ගුවන් සේවා වැඩි කිරිමට කටුනායක, මත්තල, යාපනය, ත්‍රීකුණාමලය අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමෙන්  ඒ හරහා සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සංචාරක අමාත්‍යවරයා මෙහිදී කැනඩා මහකොමසාරිස්වරයා වෙත පෙන්වා දී ඇත.

මෙම සාකච්ඡාව සදහා සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය හා කාර්මින අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්ම මහත්මීහු එක්ව  සිටියහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS