විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන්



මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

මේ වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවීමට තිබූ බවත් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් ගෙවා ඇති බවත් හෙතෙම කීය.

රටේ ආර්ථික තත්ත්වය සහ අභියෝග සම්බන්ධයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීමේදී හොඳ වාර්තාවක් පවත්වාගෙන පැමිණි බවත් නියමිත කලට අදාළ ණය ගෙවීම් කළ බවත් ඔහු කීය.

පසුගිය වසර අවසානයේදීත් මේ වසර මුලදීත් රට සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක සංචිතයක් තිබුණු බවත් දේශීය ණය ගෙවීම් සඳහා භාවිත වීමෙන් සංචිත තරමක් අඩු වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.

කෙසේ නමුත් පසුගිය වසරේ සිට කරන ලද සැලසුම් සහ ගත් ක්‍රියාමාර්ගත් හේතුවෙන් සංචිත නිසි ලෙස කළමනාකරණය කරගැනීමට හැකි වූ බවත් එබැවින් අප්‍රේල් මාසය අවසන් වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විදෙස් සංචිතයක් පවත්වා ගැනීමට හැකි වූ බවත් හෙතෙම කීය.

මේ නිසා ඉදිරියේදී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක විදේශ ණය ද නිසි පරිදි ගෙවීමට හැකි බව ඔහු කීය.

ඉදිරියේදී අවශ්‍ය වන මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ආණ්ඩුව සාකච්ඡා කරන බවත් මහ බැංකුව ඉන්දීය මහ බැංකුව ආදී පාර්ශව සමඟ සාකච්ඡා කරන බවත් ඔහු තවදුරටත් කීය. 

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS