විජය ඩිජිටල් මීඩියා සහ ඇඞ් ස්ටුඩියෝ අත්වැල් බැඳගනී



(වමේ සිට)  ඩිජිටල් එක්ස් අලෙවිකරණ උප සභාපති උමෙයා වොලිද්, ඩිජිටල් එක්ස් අධ්‍යක්ෂ ජනක රූපසිංහ, විජය ඩිජිටල් මීඩියා විධායක අධ්‍යක්ෂ උදේෂ් ගුණතුංග සහ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප්‍රධානී ලංකා ප්‍රදීප් යන මහත්වරු ඡායාරූපයේ සිටිති.

ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක පසුවන, විජය පුවත්පත් ආයතනයේ ‘ඩිජිටල් මීඩියා’ අංශය, පසුගිය දා ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගත්තේය. ඒ, ඩිජිටල් තාක්ෂණයෙන් පිරිපුන්, අන්තර් ජාලය කේන්ද්‍රකොටගත් දැන්වීම්කරණයේ නිම් වළලු පුළුල් කරමිනි.

‘විජය පුවත්පත් ආයතනයේ අප හැමවිටම අලුත් දේවල් ගැන උනන්දුයි. අලුත් තාක්ෂණයට අප සැමවිටම මුල් තැන දෙනවා. විශේෂයෙන්, අපගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යෑමේදී. ඒ සඳහා නව තාක්ෂණය අලුත් විදියට භාවිත කළ යුතුයි. මෙය අප වටහා ගත් දෙයක්. ඇඞ් ස්ටුඩියෝ වැනි අප රටේ ආයතනයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ඔවුන් අපට අලුත් යෝජනා රැසක් ඉදිරිපත් කළා. අප ඒ ගැන සෑහීමකට පත් වුණා. ඉදිරියේ දී අපගේ ඩිජිටල් මීඩියා සේවා භාවිත කරන සැමටම, අප දෙගොල්ලන්ගේ මෙම එකමුතුව වාසියක් වනු නිසැකයි. අප ඇඞ් ස්ටුඩියෝ ආයතනයේ පරිගණක කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සමඟ සම්බන්ධ කර ගැනීමටත් අපේක්ෂා කරනවා’ යැයි ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ ඇති කරගත් නව එකමුතුව සම්බන්ධයෙන් අදහස් දක්වන විජය ඩිජිටල් මීඩියා හි විධායක අධ්‍යක්ෂ උදේෂ් ගුණතුංග මහතා පැහැදිලි කර තිබේ.

‘ලංකාදීප’, ‘ඬේලිමිරර්’, ‘ඬේලිඑෆ්ටී’ සහ ‘ලයිෆ් ඔන්ලයින්’ වැනි අතිශය ජනප්‍රිය ජනතා ප්‍රසාදයට පත් වෙබ් අඩවි රැසක හිමිකරු වන්නේ විජය පුවත්පත් ආයතනයේ ‘විජය ඩිජිටල් මීඩියා’ ජාලයයි.

‘ඇඞ්ටෙක්’ සහ ‘මාර්ටෙක්’ වැනි නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ ලෝකයේ දැන්වීම්කරණයේ පෙරැළියක් සිදුවුණු බවත්, ඇඞ් ස්ටුඩියෝ ආයතනය පෙන්වා දෙයි. නවතම ‘ඇඞ්ටෙක්’ නිෂ්පාදන ශ්‍රී ලාංකික වෙළෙඳපොළට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ඇඞ් ස්ටුඩියෝ ආයතනයයි. තම සමාගම, ‘විජය ඩිජිටල් මීඩියා’ සමඟ අත්වැල් බැඳ ගැනීම හරහා ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරාවි යැයි තමන් විශ්වාස කරන බව ‘ඩිජිටප් එක්ස්’ අධ්‍යක්ෂ ජනක රූපසිංහ පෙන්වා දෙයි.

‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනයේ අලෙවිකරණ උප සභාපති ලෙස කටයුතු කරන්නේ උමෙයා වොලිද් මහතා පෙන්වා දී ඇත්තේ ද ‘විජය ඩිජිටල් මීඩියා’ සමඟ අත්වැල් බැඳ ගැනීම, ඔවුන්ගේ නිෂ්පාදන සාර්ථක අයුරින් ඉදිරියට ගෙන යෑමට ශක්තියක් බවය. වෙනත් රටවල දැන්වීම්කරණයේ දී, මෙම නව තාක්ෂණය බොහෝ සෙයින් භාවිතයට ගන්නා බවත්, අපේ වෙළෙඳ ක්ෂේත්‍රයට මෙය කැපී පෙනන අසමසම අත්දැකීමක් වනු ඇති බවත් වොලිද් මහතා පවසා ඇත.

‘නව තාක්ෂණය භාවිතයට ගැනීමෙන්, දැනට අප සිදු කරන කටයුතු නව මානයකට යොමු කිරීමට හැකිවෙනවා. විජය ඩිජිටල් මීඩියා සැමවිටම නව තාක්ෂණය ගැන උනන්දුවක් දක්වනවා. නව තාක්ෂණය භාවිත කරමින්, ඉදිරියට යෑමයි අපේ අරමුණ. ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් අපට ඩිජිටල් මීඩියා දැන්වීම්කරණයේ දී පියවර ගණනක් ඉදිරියට යෑමට හැකිවේවි. එය අපේ හවුල්කරුවන්ටත්, පාර්බෝගිකයන්ටත් පහසුවක් වේවි. ඒ සමඟ නව අවස්ථා රැසක් අපට උදාවේවි. ඒ වගේමයි මා ආඩම්බර වෙනවා මෙම සේවය අපේ යැයි කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ආයතනයකින් ලබා ගැනීමට අපට හැකිවීම ගැන.’ යැයි ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සම්බන්ධයෙන් විජය පුවත්පත් ආයතනයේ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප්‍රධානී ලංකා ප්‍රදීප් මහතා අදහස් දක්වා තිබේ.

 


RECOMMEND POSTS