මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකරයි



බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස් වූ අතර එහිදි මෙම තීරණය ගෙන තිබේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතියේ මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර එමඟින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මුල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත.

අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමේ ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

මුදල් මණ්ඩලය ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධන අඛණ්ඩව සුපරීක්ෂණය කරන අතර ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වයේ තිරසර නඟසිටුවීමකට සහාව වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


RECOMMEND POSTS