තීරුබදු දෙගුණ කිරීමට පියවර



ඇමෙරිකා එක්සත් ජනපද ආනයන මත පනවා ඇති තීරුබදු දෙගුණ කිරීමට තුර්කිය පියවර ගෙන ඇත.

මෝටර් රථ, මත්ද්‍රව්‍ය සහ දුම්කොළ මත පනවන තීරුබදු එලෙස දෙගුණ කිරීමට තුර්කිය පියවර ගෙන ඇති අතර ඒ අනුව තීරුබදු වැඩි කරමින් තුර්කි ජනාධිපති තායිප් රෙජෙබ් ඇර්දොවාන් ගැසට් පත්‍රයකට ද අත්සන් තබා තිබේ.

මෝටර් රථ මත පනවන තීරුබදු සියයට 120ක් දක්වාත්, මත්පැන් මත පනවන බදු සියයට 140ක් දක්වාත් දුම්කොළ මත පනවන බදු සියයට 60ක් දක්වාත් වැඩි කිරීමට තුර්කි ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

තුර්කි ආර්ථිකයට ඇමෙරිකාව හිතාමතා කරන පහරදීම්වලට ප්‍රතිචාරයක් මෙලෙස ඇමෙරිකා එක්සත් ජනපද ආනයන මත පනවන තීරුබදු දෙගුණ කරන බව තුර්කි උප ජනාධිපතිවරයා කීවේය.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) සාමාජික රටවල් දෙකක් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ තුර්කිය අතර අර්බුදය මේ වනවිට උග්‍ර වී තිබෙන අතර එය දරුණු රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.

විලවුන්, ඇලුමීනියම් හා වානේ යන ඇමෙරිකා එක්සත් ජනපද ආනයන මත පනවන තීරුබදු දෙගුණ කිරීමට ද තුර්කිය පියවර ගෙන ඇත.

හර්ෂණ තුෂාර

(රොයිටර්)


RECOMMEND POSTS