ණය අවදානමක්



චීනයේ ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ ව්‍යාපෘතිය ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඒකාබද්ධ ව්‍යාපෘතිවලට සම්බන්ධ වී සිටින හවුල්කාර රටවලට ණය අවදානමක් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඞ් පවසයි.

‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ ව්‍යාපෘතිය නිසි පිරිදි ක්‍රියාත්මක වීම එක් අභියෝගයක් බව පැවැසූ ඇය දෙවැනි අභියෝගය ශක්තිමත් අයවැය ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීම යැයි ද කීවාය.

චීනයේ බීජිං නුවර ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඞ් එම අදහස් ප්‍රකාශ කළාය.

‘බෙල්ට් ඇනඞ් රෝඞ්’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන්නේ චීනය ක්‍රියාත්මක කර තිබෙන ‘වන් බෙල්ට් වන් රෝඞ්’ එසේත් නැතිනම් ‘එක් තීරයක් එක් මාවතක්’ යන ව්‍යාපෘතියයි. මෙය 21 වැනි සියවසේ සේද මාවත සහ සාගර සේද මාවත යනුවෙන් ද හැඳින්වෙයි.

‘වාසනාවකට චීන නායකත්වය ඇතිවිය හැකි මේ අවදානම් සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටින බව අපි දන්නවා. ඒ වගේම ඒ සඳහා උපායමාර්ග පවා ඉදිරිපත් කර තිබෙනවා” ලගාඞ් කීවාය.

‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ ව්‍යාපෘතිය ඉදිරිපත් වූයේ 2013 වසරේදීය. ඒ චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ සංකල්පයකට අනුවය. මෙම ව්‍යාපෘතිය හරහා අග්නිදිග ආසියාව, මධ්‍යස ආසියාව, මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකාව චීනයට මුහුදින් සහ ගොඩබිමින් සම්බන්ධ වෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා චීනය එක්සත් ජනපද ඩොලර් බිලියන 126ක මුදලක් වෙන් කරන බව ප්‍රකාශයට පත් කර තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS