කුමරු ගැන වාර්තාව බොරු



සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ‘මැන්චෙස්ටර් යුනයිටඞ්’ පාපන්දු ක්‍රීඩා සමාජය මිලදී ගැනීමට සූදානම් වන බවට පළ වූ වාර්තා අසත්‍ය යැයි එරට මාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පැවැතියේ අනුග්‍රහයක් සම්බන්ධයෙන් සෞදි ධන අරමුදල සමඟ සාකච්ඡාවක් පමණක් බවත් ‘මැන්චෙස්ටර් යුනයිටඞ්’ පාපන්දු කණ්ඩායම මිලදී ගැනීමක් ගැන හෝ ඒ සම්බන්ධ කිසිවක් ගැන හෝ එහිදි සාකච්ඡා නොවුණු බවත් සෞදි අරාබියේ මාධ්‍ය අමාත්‍ය ටර්කි අල් ෂබානාහ් ට්විටර් සටහනක් තබමින් පැවැසීය.

“මොහොමද් බින් සල්මාන් ‘මැන්චෙස්ටර් යුනයිටඞ්’ පාපන්දු කණ්ඩායම මිලදී ගන්නා බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය” යැයි හෙතෙම සඳහන් කළේය.

ඔටුන්න හිමි සල්මාන් කුමරු ‘මැන්චෙස්ටර් යුනයිටඞ්’ පාපන්දු කණ්ඩායම හිමි ග්ලේසර් පවුලෙන් එම කණ්ඩායමේ පාලනය ඉල්ලා ඇතැයි පුවත් පළවිණි.

අනුග්‍රාහක අවස්ථාවක් සම්බන්ධයෙන් ‘මැන්චෙස්ටර් යුනයිටඞ්’ පාපන්දු කණ්ඩායමේ නියෝජිතයන් සෞදි අරාබියේ රාජ්‍ය ආයෝජන අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදි කිසිදු ගිවිසුමක් ඇති කර නොගත් බවත් මාධ්‍ය අමාත්‍ය ටර්කි සඳහන් කළේය.

මැන්චෙස්ටර් යුනයිටඞ් යනු පාපන්දු ලෝකයේ වඩාත් ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩා සමාජයකි. සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු එම ක්‍රීඩා සමාජය මිලදී ගැනීම සඳහා යූරෝ බිලියන 3.8ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.9) ලංසුවක් තබා ඇතැයි බි්‍රතාන්‍යයේ සන් පුවත්පත ඉරිදා වාර්තා කර තිබිණි.

අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදී වුවත් මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනය සමඟ කල්ගොස් ඇතැයි එම පුවත්පත වාර්තා කර තිබිණි. තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඝාතනය කළේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ අණ කිරීමකට යැයි පැවසේ.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි

 


RECOMMEND POSTS