ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළට



ඉන්දියාවේ ඉන්ධන මිල ගණන් අඛණ්ඩව දෙවැනි දිනටත් පසුගිය දා ඉහළ ගියේය. එරට රජයට අයත් තෙල් අලෙවිකරණ සමාගම් ඛනිජ නිෂ්පාදනවල මිල ගණන් නැවත වරක් ඉහළ දැමීමත් සමඟ ඉන්ධන මිල ගණන් එලෙස ඉහළ ගියේය.

මේ අනුව පෙට්‍රල් සහ ඩීසල්වල මිල ගණන් මෙතෙක් වාර්තා කළ ඉහළම මිල වාර්තා කර ඇත. පෙට්‍රල් සහ ඩීසල්වලට වැඩිම මිලක් ගෙවීමට සිදුව ඇත්තේ මුම්බායි වැසියන්ටය. මිල ඉහළ යෑම් අනුව මුම්බායි නුවර පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 87.39ක් ලෙසත් ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 76.51ක් ලෙසත් සටහන් වී තිබේ.

ඉන්දීය රජයට අයත් ඉන් අලෙවිකරණ සමාගම් නිකුත් කළ මිල ගණන්වලට අනුව දිල්ලියේ පෙට්‍රල් ලීරයක මිල 79.99ක් දක්වාත් ඩීසල් ලීටරයක මිල 72.07ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

කොල්කටාවේ පෙට්‍රල් ලීරයක මිල ඉන්දීය රුපියල් 82.88ක් ලෙසත් ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 74.92ක් ලෙසත් සටහන් වී ඇති අතර චෙන්නායි නුවර පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් 83.14කට මිලකටත් ඩීසල් ලීටරයක මිල 76.18ක මිලකටත් අලෙවි වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව ඉන්දීය රුපියල දිගින් දිගටම අව ප්‍රමාණය වෙමින් තිබෙන පසුගිය 7 වැනිදා නැවත වරක් වාර්තාගත ලෙස පහළ ගියේය. මේ අනුව ඉන්දීය රුපියල පසුගියදා මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර ඉන්දීය රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය 72.12ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාව තම බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 80ක් ආනයනය කරයි. ඉන්දීය රුපියල දිගින් දිගටම පහත වැටීම නිසා ආනයන වියදම් ඉහළ යනු ඇති නිසා ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් ඇති වී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
ද හින්දු


RECOMMEND POSTS