අපනයන කර්මාන්තවලට අඛණ්ඩ සහය



ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තවලට අඛණ්ඩව සහය දැක්වීමට දරන ප්‍රයත්නයේ දී සහ පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ගෝලීය ආර්ථිකය සමඟ රට සම්බන්ධ කිරීමට, ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය පුළුල් බඳ සහිත මගී ගුවන් යානයක් විශේෂිත භාණ්ඩ ගුවන් යානයක් බවට පරිවර්තනය කර තිබේ.

මෙලෙස පූර්ණ වශයෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා එයාර්බස් A330 ගුවන් යානය ඈත පෙරදිග හා යුරෝපයේ ප්‍රධාන ගමනාන්ත වෙත ජුනි මස 25 වනදා සිට ක්‍රියාත්මක වීම ආරම්භ විණි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “අපගේ අපනයන කර්මාන්තවල පවතින අවශ්‍යතාවයන්ට ප්‍රධාන වශයෙන් සහය දැක්වීම සඳහා ගුවන් යානයේ පහළ තට්ටුවේ බඩු තොගයට අමතරව ඉහළ තට්ටුවේ භාණ්ඩ පැටවීමත් සමඟ උපරිම භාණ්ඩ ධාරිතාවයට ඉඩ දීම සඳහා අපි මෙම ගුවන් යානය සම්පූර්ණ වශයෙන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කළා. වර්තමාන ගෝලීය ගුවන් භාණ්ඩ හිඟය තුළ අපගේ ආනයන අංශය මෙන්ම ගුවන් ප්‍රවාහන කර්මාන්තය අර්බුදයක පවතින අවස්ථාවක ගුවන් සමාගමේ ආදායම් ප්‍රවාහය ශක්තිමත් කිරීමට මෙමගින් හැකියාව පවතිනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු කණ්ඩායම මෙම ගුවන් යානය භාණ්ඩ හුවමාරු කටයුතු සඳහා සූදානම් කිරීම වෙනුවෙන් පැය 24 පුරාම වැඩ කටයුතු කළ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්‍ තොටුපළේ පිහිටා ඇති ගුවන් යානා නඩත්තු යාත්‍රාංගනය තුළ එම කටයුතු සිදුකෙරෙනි. මෙම ගුවන් යානයේ නව මෙහෙයුම් ආකෘතිය ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සහතික කර ඇත.

ගුවන් යානයේ සමස්ත භාණ්ඩ පැටවිය හැකි ප්‍රමාණය ඝන මීටර 170 ක් වන අතර ඉහළ තට්ටුවේ ඝන මීටර 60 ක් සහ පහළ තට්ටුව ඝන මීටර 110 ක භාණ්ඩ ප්‍රවාහනය කරනු ඇත. ගුවන් යානයේ මුළු ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 45 කි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශ ප්‍රධානී චාමර රණසිංහ මහතා මෙසේ පැවසීය.  “මගී ගමන් සඳහා ඇති දුර්වල ඉල්ලුම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වෙළෙඳපොළ තුළ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව අඩුවීම හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන් සඳහා සැලකිය යුතු අඩුවක් ඉතිරි කර තියෙනවා. පසුගිය මාස කිහිපය තුළ අපගේ මගී ගුවන් යානා භාණ්ඩ ධාරිතාව සඳහා වූ ඉල්ලුම සපුරාලීම සඳහා විශේෂ ගුවන් මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කළා.  භාණ්ඩ ගෙන යාම සඳහා පරිවර්තනය කරන ලද මෙම ගුවන් යානය මගින් පාරිභෝගිකයින්ට එක් ගුවන් ගමන් සම්බන්ධතාවයකින් වැඩි ගුවන් භාණ්ඩ ධාරිතාවක් ලබා දීමට සුදුසුම වේලාව පැමිණ තිබේ. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ශ්‍රීලංකන් ගුවන් සේවය යුරෝපය, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඈත පෙරදිග කලාපවල ගමනාන්ත 20 ක් සඳහා විශේෂ භාණ්ඩ ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS