36,000 කගේ සේවය අත්හිටුවයි



සේවකයන් 36,000කගේ සේවය අත්හිටුවීමට බ්‍රිතාන්‍යයේ ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවය පියවර ගෙන ඇත.

මේ සඳහා ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවයේ පරිපාලනයත් සේවක සංගමයත් අතර ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව ඇත.

අදාළ ගිවිසුමට අනුව ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවයේ ගුවන් යානා සේවක කාර්ය මණ්ඩලය, භූමි මෙහෙයුම් කාර්යමණ්ඩලය, ඉංජිනේරුවන්, ප්‍රධාන කාර්යාලයේ සේවකයන් යනාදී අයගෙන් සියයට 80කගේ සේවය අත්හිටු වනු ඇත. කෙසේ නමුත් සේවක පිරිස අඩු නොකරන බව ද ‘බ්‍රිටිෂ් ඒයාර්වේස්’ ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය රජය රැකියා සුරක්ෂිත කිරීමේ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර සේවය අත්හිටුවන පිරිසගේ වැටුප් එම ක්‍රමය ඔස්සේ ආවරණය වේ. මසකට ස්ටාර්ලිං පවුම් 2,500ක් උපයන ඕනෑම අයකුට රජයේ යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගේ වැටුපෙන් සියයට 80ක මුදලක් හිමි වේ.

ගුවන් සමාගමේ වියදමෙන් සියයට 40ක් සේවක කාර්යමණ්ඩලයේ වැටුප් සඳහා වැය වේ. කොරෝනා වයිරසයෙන් බලපෑමට පත්වූ සමාගම්වලට උපකාර කිරීමට ද බ්‍රිතාන්‍ය රජය යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව සමාගමේ වැටුප්වලින් සියයට 80ක් පමණ ආවරණය කරගැනීමට ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සමාගමට අවස්ථාව ලැබෙනු ඇතැයි පැවසේ.

කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම් සිය ගුවන් වාර සීමා කිරීමට පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට සතියකට වැඩි කාලයක් ගතව ගොස් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවයට අයත් ගුවන් යානා රැසක් ගුවන් තොටුපොළවල නවතා ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
බී.බී.සී. ඇසුරිනි 


RECOMMEND POSTS