තිරසර සංවර්ධනයට නව මාර්ගයක්



‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු ගෝලීය ආර්ථිකය, එම වසංගතයට පෙර තිබූ තත්ත්වයට පත් නොවනු ඇතැයි බොහෝ කීර්තිමත් ආර්ථික විද්වත්හු මත පළ කරති. එබැවින් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොවූ අයුරින් ආර්ථිකයට කළ විනාශය හේතුවෙන් ආර්ථික සංවර්ධනය සඳහා ‘නව මොඩලයක්’ අවශ්‍ය යැයි ඔවුහු තර්ක කරති. එබැවින් වඩාත් තිරසර ආර්ථික වර්ධන මොඩලයක් කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.

‘පාත්ෆයින්ඩර්’ පදනම

‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට කරන ලද බලපෑමත් ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරි ගමන සඳහා යෝජනා මොනවාදැයි සොයාබැලීම අධ්‍යයන කිරීම සඳහාත් පාත්ෆයින්ඩර් පදනම කණ්ඩායමක් පත් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එහි මුලසන හෙබවීය.

‘‘පශ්චාත් කොවිඩ්-19 ශ්‍රී ලංකාවක් සඳහා නව ආර්ථික දැක්මක්’’ යනුවෙන් එම වාර්තාව නම් කර තිබූ අතර එහි පිටපතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පිරිනැමීය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ විද්වත් ප්‍රජාවගේ, පර්යේෂණ ආයතනවල, වෘත්තිකයන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් විමසා බැලිණි.

ප්‍රායෝගික ප්‍රතිපත්ති

යථාර්ථවාදී සහ ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බව පාත්ෆයින්ඩර් වාර්තාවෙන් වැදගත් කොට පෙන්වාදෙන ලදි. ‘‘ශෝධිත උපායමාර්ගය ප්‍රායෝගික සහ ස්වභාවයෙන්ම මතවාදී නොවිය යුතු’’ යැයි එම අධ්‍යයන වාර්තාවේ දැක්විණි. අඩු ආර්ථික වර්ධනය, නොලැබුණු ආයෝජන, ඉහළ විරැකියා අනුපාතය සහ 1970-77 කාලයේදී බාහිර ලෝකය දෙස නොබැලූ අභ්‍යන්තර දෙස පමණක් අවධානය යොමු කළ ප්‍රතිපත්ති සහ ඊට සම්බන්ධ කළු කඩ මිල ගණන් යනාදියෙන් ද පාඩම් ඉගෙන ගත යුතු ය.

ආර්ථික ලිබරල්කරණය

වසර 1977න් පසු ආර්ථික ලිබරල්කරණය හේතුවෙන් ඇති වූ දුර්වලතා සම්බන්ධයෙන් විමසිල්ලෙන් පරෙස්සමෙන් යුතුව අවධානය යොමු කළ යුතු යැයි ද පාත්ෆයින්ඩර් ආයතනය පෙන්වා දී ඇත. බාහිර ආර්ථික පීඩන, දේශගුණික අවදානම්, විෂමතා (අසමානකම්) ඉහළ යෑම, සමාජ ආරක්ෂණය අඩුවීම සහ 1977 වසරේදී ආර්ථිකය විවෘත කිරීමෙන් පසු මුහුණ දීමට සිදු වූ වසංගත යනාදිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

ශෝධිත උපායමාර්ගය

නව උපායමාර්ග එසේත් නොමැතිනම් සංශෝධිත උපායමාර්ග අනුගමනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉඩම්, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය යන සියල්ල සම්පූර්ණයෙන් භාවිතයට ගත යුතු අතර රටේ ජනතාවගේ කුසලතා මෙන්ම උපායමාර්ගික භූගෝලීය පිහිටීමේ වාසිය ද භාවිතයට ගත යුතුය. එමෙන්ම සියලු දෙනාට මිත්‍රශීලී නොබැඳි විදෙස් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු එය රටවල් සහ ජාත්‍යන්තර ආයතන රැසකට ව්‍යාප්ත විය යුතුය.

රාජ්‍යයේ කාර්යභාරය

ආර්ථිකයට රාජ්‍ය කරන මැදිහත්වීම සීමා කළ යුතු යැයි පසුගිය දශක කිහිපයක කාලයේදී බලවත් පාර්ශව කිහිපයක් ම හඬ නැඟූ බව පාත්ෆයින්ඩර් අධ්‍යයනයෙන් පෙන්වා දී ඇ. කෙසේ නමුත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය වැනි සමාජ මෙන්ම රටවල් වශයෙන් මුහුණ දෙන විශාල අභියෝගවලදී පලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇත්තේ රාජ්‍යයට පමණක් බව පැහැදිලිව පෙනී ගොස් ඇත.

‘‘දේශගුණික විපර්යාස හා ඊට සම්බන්ධ ස්වභාවික ව්‍යවසන, ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය වැනි සෞඛ්‍ය අර්බුද නිරන්තයෙන් සිදුවන සහ ඒවා තීව්‍ර හා තදබල අයුරින් සිදුවන ලෝකයක ජාතික, කලාපීය සහ බහුපාර්ශ්වීය වශයෙන්හා මට්ටම්වලින් ක්‍රියාමාර්ග ගත යුතුය. එබැවින් මෙවැනි හදිසි සහ අනපේක්ෂිත තර්ජන හා අභියෝගවලට මුහුණ දීම සඳහා ආයතනවල ධාරිතාව සහ මූල්‍ය යාන්ත්‍රණ නිර්මාණය කළ යුතුය’’.

සමාජ සහ ආර්ථික යටිතල පහසුකම්

ආණ්ඩුව රාජ්‍ය සෞඛ්‍ය සේවා, වැඩිහිටියන් රැකබලාගැනීමේ ආයතනික හැකියාව, දුප්පත් ජනතාවට ආදායම් මාර්ග සැපයීම, ප්‍රාථමික/ද්විතීයික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය සහ විද්‍යා පර්යේෂණ සංවර්ධනය කිරීම, මාර්ග, පාලම් සංවර්ධනය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම කළ යුතුය.

ව්‍යාපාර පවත්වාගෙන යෑම

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂාව යනාදි සමාජ සහ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදීත් වැඩිදියුණු කිරීමේදීත් රාජ්‍යයට වැදගත් භූමිකාවක් රඟ දැක්වීමට තිබෙන අතර ඒ අතරවාරයේදීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදීත් රාජ්‍යයට විශාල බරක් පැටවේ. මෙරට තිබෙන පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය හේතුවෙන් ආර්ථික වර්ධනය සහ සමාජ සුබසාධනය වේගවත් කිරීමේ රාජ්‍යයේ හැකියාවට/ධාරිතාවට විශාල බාධාවකි. එබැවින් රාජ්‍ය අත්‍යවශ්‍ය නොවන සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුතුය. මෙම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය අත්‍යවශ්‍ය ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනයට තිබෙන ආණ්ඩුවේ මුදල් ද ගිලගනී.

පැහැදිලි නිර්වචනයක්

රාජ්‍යයේ භූමිකාව කුමක්දැයි සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක් සහ අර්ථ විග්‍රහයක් අත්‍යවශ්‍ය වේ. එය පැහැදිලිව තේරුම්ගත යුතුය. රාජ්‍යයේ කාර්යභාරය කුමක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ පැහැදිලි අදහසක් නොමැති වීම නිසා රටට අතිවිශාල විදෙස් සහ දේශීය ආයෝජන රැසක් අහිමි වී තිබේ.

සෘජු විදෙස් ආයෝජන

රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉහළ පරිමාණයකින් සෘජු විදෙස් ආයෝජන බවට දේශපාලන බෙදීමකින් තොරව පොදු එකඟතාවක් ඇති වී තිබේ. කෙසේ නමුත් සෘජු විදේශ ආයෝජන ලැබී ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. එම ප්‍රමාණය මෑතකාලයේදී බංග්ලාදේශය සහ වියට්නාමය වැනි අනෙකුත් රටවලට ලැබී ඇතී විදෙස් ආයෝජනවල ප්‍රමාණයට ද වඩා අඩු ය.

බොඳ වූ සිහිනය

‘කොවිඩ්-19’ තුරන් කිරීමෙන් පසුව රටට විශාල වශයෙන් විදෙස් ආයෝජන ගලා එනු ඇතැයි අපේක්ෂා කිරීම සැබෑ නොවන සිහිනයකි. කටුක යථාර්ථය නම් කොවිඩ්-19 න් පසු අපේක්ෂා කරන පරිදි විදෙස් ආයෝජන නොලැබෙන බවය. එසේ විදෙස් ආයෝජන ලැබෙන්නේ ලෝක ආර්ථික සංවර්ධනය නියම මාර්ගයට පිවිසිය පසු ය. ගෝලීය ආර්ථික වර්ධන වේගය පිබිදීමක් ඇති වූ පසුව ය.

ආයෝජන පරිරසය

ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම විදෙස් ආයෝජන ආකර්ශනය කරගැනීමට අවශ්‍ය යැයි පාත්ෆයින්ඩර් වාර්තාව පෙන්වාදෙයි. එබැවින් ආණ්ඩුව සෘජු විදෙස් ආයෝජන ආකර්ශනය කර ගත හැකි තත්ත්ව පෝෂණය කළ යුතු ය . ඒ අනුව පෞද්ගලික අංශයට ඔවුන්ගේ ව්‍යාපාර නැවත ව්‍යුහගත කර නව අවස්ථා උදාකරගනිමින් රැකියා නිර්මාණය කිරීමට අවස්ථාව උදා වේ.

රාජ්‍ය මූල්‍ය අපගමන (ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීම)

ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය තීරණය කරන ප්‍රධානම සාධකය වනුයේ අයවැය හිඟය සීමා කිරීම යි. ඉහළ රාජ්‍ය ණය, ඉහළ ණය සේවා පිරිවැය, රාජ්‍ය වියදම් වෙනස් වීමට (විකෘත වීමට), උද්ධමනයට සහ රුපියලේ අගය අවප්‍රමාණය වීමට ඉතා විශාල අයවැය හිඟ හේතුවක් වේ.

ආදායම් ඉහළ දමන රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාවලියක් 2016 වසරේදී ආරම්භ වූ නමුත් එය වෙනත් මගක ගියේය. කොටින්ම පීලි පැන්නේය. එබැවින් 2019 වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.3ක අගයක් දක්වා ඉහළ ගියේය. දැනට අයවැය හිඟය සියයට 9.3ක් වන අතර ඇතැම් විට 10 ද ඉක්මවා යනු ඇත. එම නිසා අනාගත රාජ්‍ය ආයෝජන සහ ආර්ථික සහ සමාජ සංවර්ධන කටයුතු සඳාහා කෙරෙන වියදම් සීමා වනු ඇති අතර ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත.

එම නිසා අයවැය හිඟය සීමා කළ යුතු යැයි පාත්ෆයින්ඩර් පදනම කළ අධ්‍යයනයෙන් අවධාරණය කර පෙන්වාදෙයි. ‘‘අයවැය තුළින් ප්‍රමාණවත් ඉඩක් නොමැති වීම ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමට තිබෙන හැකියාව සීමා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් දේශීය මූල්‍ය ආයතවලින් මේ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය’’.

ණයගැනීම්

අයවැය තුළින් ප්‍රමාණවත් ඉඩක් නොමැති වීම නිසාත් ආර්ථිකය බේරාගැනීමටත් මානුෂීය අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය නිසාත් ණය ගැනීමට සිදු වේ. පාත්ෆයින්ඩර් ආයතනය සකස් කළ වාර්තාව ද එම අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. රටේ ආර්ථිකය උපද්‍රව සහිත තත්ත්වයකට පත්ව ඇත. එබැවින් දේශීයව (ශ්‍රී ලංකා මහ බැංකුව ද ඇතුළුව) සහ අනෙකුත් නිල සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් ණය ගත යුතුව ඇත. කෙසේ නමුත් එලෙස ගන්නා ණය සමාජ ආරක්ෂණයටත් පලදායී ආයෝජන සඳහා යෙදවිය යුතු අතර එය අත්‍යවශයෙන්ම සහ දැඩිව කළ යුතුය.

බාහිර මූල්‍ය

ගෝලීය ඉල්ලුම කඩා වැටීමත් සමඟ එයින් රටේ අපනයන සඳහා තිබෙන ඉල්ලුම ද කඩා වැටෙමින් තිබේ. එමෙන්ම ප්‍රාග්ධන ගලාඑම්, ප්‍රේෂණ (විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ද ඇතුළුව), සංචාරක කර්මාන්තය නැවතීම සහ ව්‍යාපාර විශ්වාසය කඩා වැටීමත් එමෙන්ම ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට ඇති අති විශාල විදෙස් ණයත් නිසා රටේ බාහිර මූල්‍ය අංශය ඇත්තේ සංකීර්ණ තත්ත්වයක ය. මේ තත්ත්වය හේතුවෙන් රටේ සංචිත ප්‍රමාණය ද අඩුවෙමින් පවතී.

සංචිත

අයවැය සහ බාහිර සංචිත ආරක්ෂා කරගැනීම ස්වාරක්ෂක අවරෝධක යෙදිය යුතුය. ආර්ථිකය ඉදිරියට ගමන් කිරීම අවදානමේ නොදමන අයුරින් රටේ අයවැයත් බාහිර සංචිතත් ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය. අයවැය හිඟය සහ ගෙවුම් ශේෂයේ හිඟයක් ඇති කුඩා විවෘත ආර්ථිකයක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාවට බාහිරින් එල්ල වන පීඩනවලින් දැඩි බලපෑමක් එල්ල විය හැක.

ක්‍රියාවට නැංවීම/ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාවේ ආර්ථික අඩු එසේත් නොමැතිනම් අපේක්ෂා කරන පරිදි කාර්යසාධනයක්/ක්‍රියාකාරීත්වයක් නොපෙන්වීමට ප්‍රධානම හේතුව පලදායී ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම ය. මෙම දුර්වලතාව හඳුනාගෙන ඇති පාත්ෆයින්ඩර් පදනම එම දුර්වලතාම මඟහරවා ගැනීම සඳහා ආයතනික යාන්ත්‍රණයක් යෝජනා කර ඇත.

ජනාධිපතිවරයාට ඇති බලතල භාවිත කරමින් ජනාධිපතිවරයාගේ කාර්යාලය භාවිත කරමින් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු යැයි පාත්ෆයින්ඩර් වාර්තාවෙන් යෝජනා කර ඇත. එම කාර්ය සාධක බලකාය මඟින් ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට කළ බලපෑම අගය/තක්සේරු කළ හැකිය. ඉන් අනතුරුව පාත්ෆයින්ඩර් වාර්තාවේ අදහස් සහ යෝජනා ද ඇතුළත් කරමින් ක්‍රියාවට නැංවිය හැකි ජාතික ආර්ථික උපයාමාර්ගයක් සංවර්ධනය කළ හැකිය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්, වෘත්තිකයන් සහ විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක කණ්ඩායමක් පත් කර අදාළ කාර්ය සාධක බලකායට අවශ්‍ය තාක්ෂණික සහාය මෙන්ම උපදෙස් ලබාදිය හැකි අතර ප්‍රතිඵල ද නිරීක්ෂණය කළ හැකිය. ඊට අමතරව ජනාධිපති ලේකම්වරයාගෙන් සමන්විත සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කරන්නැයි ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත. එමඟින් ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවත් ඒවා සම්බන්ධයෙන් අනාවැකි/පුරෝකථනය කළ හැකි බවත් වර්ධනය කළ යුතුය. එමෙන්ම ප්‍රමුඛතාව දිය යුත්තේ මොනවාද මෙන්ම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් එම කමිටුව තුළින් සම්බන්ධීකරණය ද කළ හැකි ය.

අවසාන වශයෙන්

ප්‍රතිපත්ති සම්පාදකයන් පාත්ෆයින්ඩර් ආයතනය දුන් අධ්‍යයන වාර්තාව මෙන්ම ප්‍රතිපත්ති සැකසීම සම්බන්ධයෙන් වන අනෙකුත් වාර්තා ද අධ්‍යයනය කළ යුතු ය. උදාහරණයක් ලෙස මෙරට කෘෂිකාර්මික පීඨ නවයේ පීඨාධිපතිවරුන් දුන් වාර්තාව ඊට උදාහරණය කි. ඒවා තුළින් ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ඒ තුළින් ආර්ථිකය නැවත උද්‍යෝගීමත්/ප්‍රාණවත් කළ හැකිය.

ආචාර්ය නිමල් සඳරත්න විසිනි
සන්ඩේ ටයිම්ස් පුවත්පතට සැපයු ලිපිය
සිංහලට පරිවර්තනය කළේ හර්ෂණ තුෂාර සිල්වා විසිනි

RECOMMEND POSTS

RELATED POSTS