‘බෝයිං’ වෙනුවට චීනය ‘එයාර් බස්’ මිලදී ගනී



ඇමෙරිකාවේ බෝයිං සමාගම ඔවුන්ගේ 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අවලංගු කිරීමත් සමඟ චීනය එම යානා වෙනුවට යුරෝපයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 300 ක් මිලදී ගැනීමට තීරණය කර ඇත.

චීන ජනාධිපති ෂී ජින් පින් මේ වනවිට යුරෝපයේ සංචාරයක නියැලෙමින් සිටින අතර, එයාර් බස් සමාගමෙන් ‘ඒ320’ වර්ගයේ ගුවන් යානා 290 ක් සහ ‘ඒ350’ වර්ගයේ ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේ ගිවිසුමට චීන ජනාධිපතිවරයා අත්සන් තැබුවේ ප්‍රංශයේ පැරිස් නුවරදීය. අත්සන් කළ එම ගිවිසුමේ වටිනාකම යූරෝ බිලියන 30 කට වැඩි යැයි ද පැවැසෙයි.

ඇමෙරිකාවේ බෝයිං සමාගම ඔවුන්ගේ 737 මැක්ස් ගුවන් යානා අවලංගු කිරීම කළේ, ඉතියෝපියා ගුවන් අනතුරින් පසුවය. ඉතියෝපියා ගුවන් සේවයට අයත් එම ගුවන් යානය කඩා වැටුණේ එහි සිටි 157 දෙනාට මරු කැඳවමිනි. යානයේ සිටි වැඩි දෙනා විදේශිකයෝ වූහ.

ඉකුත් වසරේ දෙසැම්බරයේ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී යානයක් ද මූදට කඩැ වැටුණි. එය ද 737 මැක්ස් වර්ගයේ යානයකි. මෙසම යානයත් ඉතියෝපියා යානයත් කඩා වැටුණේ යානයේ දෝෂයකින් බව සිදු කළ පරීක්ෂණවලින් තහවුරු විය. ඒ අනුව, බෝයිං සමාගම ඔවුන්ගේ 737 මැක්ස් යානා තහනම් කළ අතර එය බෝයිං සමාගමට විශාල අලාභයක් ද විය.

බීජීංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS