ඉරාන තෙල් නැව අත්අඩංගුවට ගත් හැටි



යුරෝපීය සංගමයේ සම්බාධක නොතකමින් සිරියාවට තෙල් ගෙන යෑමට උත්සාහ කළ ඉරානයට අයත් විශාල නෞකාවක් බි‍්‍රතාන්‍යයේ රාජකීය මරීන් හමුදාව ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

බි‍්‍රතාන්‍යය එලෙස ඉරානයට අයත් නෞකාවක් අල්ලා ගැනීම ඉරානයේ දැඩි කෝපයට හේතු වී තිබෙන අතර මේ සිදුවීමත් සමඟ ඉරානයත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අතරත් තිබෙන නොසන්සුන් තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇතැයි පැවසේ.

ස්පාඤ්ඤයට අයත් මුහුදු සීමාවේ දකුණු කෙළවරේදී මෙම නෞකාව බි‍්‍රතාන්‍යයේ රාජකීය මරීන් භටයන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. බි්‍රතාන්‍යයට අයත් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන මෙම නෞකාව ‘ග්‍රේස් 1’ නමින් හැඳින්වෙන අතර දකුණු අප්‍රිකාව වටා යාත්‍රා කරමින් මධ්‍යධරණී මුහුදට පැමිණෙමින් තිබියදී මෙලෙස බි‍්‍රතාන්‍යය රාජකීය මරීන් හමුදාවේ ග්‍රහණයට පත්ව තිබේ. මෙම මාර්ගය මැද පෙරදිග සිට මධ්‍යධරණී මුහුද දෙසට තිබෙන දීර්ඝතම මුහුදු මාර්ගවලින් එකකි.

ඉරාන විදේශ අමාත්‍යාංශය එරට සිටින බි‍්‍රතාන්‍ය තානාපතිවරයා කැඳවා ඔවුන්ගේ විරෝධය ද පළ කර තිබේ. “මෙය නීතිවිරෝධියි. පිළිගන්න බැහැ” යැයි ඉරාන විදේශ අමාත්‍යාංශය එරට සිටින බි‍්‍රතාන්‍ය තානාපතිවරයාට ඔවුන්ගේ දැඩි විරෝධය පළ කරමින් ප්‍රකාශ කර ඇත.

ඉරානයේ එම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයත් සමඟ එම නෞකාව ඉරානයට අයත් බව තහවුරු වී තිබේ. කෙසේ නමුත් නෞකාව යාත්‍රා කර ඇත්තේ පැනමා ධජය ඇතිව වන අතර සිංගප්පූරුවේ තිබෙන සමාගමකින් කළමනාකරණය වන බවට ලැයිස්තු ගත කර තිබේ.

ඉරානය අදාළ නෞකාව තමන්ගේ යැයි පිළිගැනීමෙන් එහි තිබූ භාණ්ඩ තොගය ද ඉරානයට අයත් වීමේ වැඩි ඉඩකඩක් තිබේ.

ඉරානය තෙල් අපනයනය කරන රටවල් අතර ප්‍රධාන රටක් වන අතර ඉරානයේ ගෝලීය බොරතෙල් අලෙවිය නැවැත්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ දරමින් සිටී. එය නීතිවිරෝධී “ආර්ථික යුද්ධයක්” යැයි ඉරානය චෝදනා කරයි.

ඇමෙරිකාවත් ඉරානයත් අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ පසුගිය සමයේදී යුරෝපීය රටවල් මධ්‍යස්ථ ස්ථාවරයක් දැරීය. එක් අවස්ථාවකදී  ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දැරූ අතර විශේෂයෙන්ම යුරෝපීය රටවල් දරණ මධ්‍යස්ථ ස්ථාවරය නිසා අවසාන මොහොතේදී ඇමෙරිකාව එම සැලසුම් අත්හැර දැමීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව ප්‍රබල රටවල් හයක් සහ යුරෝපා සංගමය 2015 වසරේදී ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹුණි. ඉරානය එම න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය වසරේදී ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කරගත්තේය.
ඉරානය එම ගිවිසුමේ එකඟවූ ප්‍රමාණය ඉක්මවා යුරේනියම් භාවිත කර ඇතැයි පසුගිය දා අනාවරණය වූ අතර තවදුරටත් යුරේනියම් භාවිත කරන්නේ යැයි ඉරානය ඉන් පසුව ප්‍රකාශ කළේය.

ග්‍රේස් 1 නෞකාව සිරියාවේ බැනියාස් හි පිහිටි පිරිපහදුව වෙත බොරතෙල් රැගෙන යමින් සිටි බව විශ්වාස කිරීමට තමන්ට සාධාරණ සැකයක් සහ තොරතුරු ඇතැයි මෙම සිදුවීමෙන් පසුව ජිබ්රාල්ටා රජය ප්‍රකාශ කළේය.

“සිරියාවේ එම පිරිපහදුව යුරෝපීය සංගමයේ සම්බාධකවලට යටත්” යැයි ජිබ්රාල්ටාවේ ප්‍රධාන අමාත්‍ය ෆැබියන් පිකාඩෝ පැවැසීය.

“මගේ අනුමැතිය ඇතිව, අපේ වරාය සහ අනෙකත් අංශ මෙම මෙහෙයුම සඳහා රාජකීය මරීන් සෙබළුන්ගේ සහාය පැතුවා” යැයි ද හෙතෙම කීය.

ජිබ්රාල්ටාව ගත් ක්‍රියාමාර්ගය අගය කරන බව බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙනුවෙන් ඇයගේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ජිබ්රාල්ටාව සම්බන්ධයෙන් ද අර්බුදයක් තිබේ. ස්පාඤ්ඤයට අයත් මුහුදට ඔබ්බෙන් තිබෙන ජිබ්රාල්ටාව බි‍්‍රතාන්‍යයට අයත් භූමි ප්‍රදේශයකි. කෙසේ නමුත් බි‍්‍රතාන්‍යය ඊට අයිතිවාසිකම් කීම ස්පාඤ්ඤය ප්‍රශ්න කරයි. 
බි‍්‍රතාන්‍යය අදාළ නෞකාව ඔවුන්ගේ භාරයට ගත්තේ ඇමෙරිකාවේ ඉල්ලීම පරිදි යැයි ද බි‍්‍රතාන්‍යය එම නෞකාව අල්ලාගෙන ඇත්තේ තමන්ට අයත් මුහුදු සීමාවේදී යැයි ද ස්පාඤ්ඤය ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලබාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.

රොයිටර් ඇසුරිනි 


RECOMMEND POSTS