‘කරාතේ ශූරතාවලිය 2020’



ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සංවිධානය කළ ‘ජපාන තානාපති කරාතේ ශූරතාවලිය 2020’ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ඉකුත් දා (15) පැවැත්විණි.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පෙරියසාමි පිල්ලේ සෙල්වරාජ් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු අමුත්තෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

මේ වසරේ ගිම්හාන ඍතුවේදී ජපානයේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහ පැරා ඔලිම්පික් උලෙළට සමගාමීව මෙම ශූරතාවලිය පැවැත්වුණි.

ඉතිහාසයේ පළමු වරට කරාතේ ක්‍රීඩාව ඔලිම්පික් උලළේ නිල ක්‍රීඩාවක් ලෙස නම් කර තිබෙන අතර එය සැමරීම ද මෙම ශූරතාවලියේ එක් අරමුණක් විය.

දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩා සමාජවල කරාතේ ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 3,000කට වැඩි පිරිසක් පළමු වරට පැවැති මෙම “තානාපති කුසලාන” කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වූහ. ජයග්‍රාහී ක්‍රීඩා සමාජවලට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතාගේ අතින් ත්‍යාග හා සම්මාන ප්‍රදානය කෙරුණි.

මෙහිදි ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ සභාපති සිසිර කුමාර මහතාට “ජපාන විදේශ අමාත්‍යවරයාගේ පැසසුම” නිල ගෞරවාන්විත සම්මානය ප්‍රදානය කරන ලදි. ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එම සම්මානය හා සහතිකය සිසිර කුමරා මහතාට පිරිනැමීය.

කරාතේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් කිරීම සඳහා කරන ලද මෙහෙය අගය කිරීමක් ලෙස එම සම්මානය සිසිර කුමාර මහතා වෙත පිරිනැමිණි.


RECOMMEND POSTS