හරිත ටීවී විකාශනය අරඹයි



කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාව විසින් නිර්මාණය කළ ‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී ඊයේ (31) සිදුකෙරිණි.

කෘෂි, වාරි හා ධීවර ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් දියුණුව කරා ගෙනයාමේ අරමුණ ඇතිව මෙම නාලිකාව ආරම්භ කර ඇත.

මෙහිදී සෙත් පිරිත් සඡ්ජායනය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් මෙම රූපවාහිනී මංගල විකාශය ආරම්භ විය.

හරිත ටී.වී නාලිකාවේ වෙබ් අඩවිය වන අඅඅගය්රසඑය්එඩගජදප සහ නාලිකාවේ තේමා ගීතය එළිදැක්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසකට අනුව කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි උදාකරමින් පෙරදිග ධාන්‍යාගාරය මෙරට තුළ යළි ගොඩනැගීමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට මෙම නාලිකාව දියත් කෙරේ.

ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මග පෙන්වීම නාලිකාවේ අරමුණක් වී ඇති අතර “හෙළවත්, හරවත්, හිතවත්” යන්න එහි තේමාවයි.

ඩයලොග් ටීවී නාලිකා අංක 16, පියෝ ටීවී නාලිකා අංක 9 ඔස්සේ හරිත ටීවී රූපවාහිනී නාලිකාව නැරඹීය හැක.

කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, නව කෘෂි තාක්ෂණවේදීය ක්‍රම සහ පුරාතනයේ පැවති උසස් කෘෂි තාක්ෂණික විධි නැවත ස්ථාපනය කිරීම, පාරිසරික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම, වාරි හා ධීවර කර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයන්ගෙන්ම ජනතාව දැනුමින් පෝෂණය කිරීම හරිත ටීවී හි මූලික සංකල්ප වේ.

මෙහිදී කෘෂිකර්මාන්තය වෙනුවෙන් පැළ බෙදාදීමක්ද සිදුකෙරුණු අතර එම අවස්ථාන සංකේතවත් කරමින් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පැළයක් ද පිරිනැමූහ.

මෙහිදී අදහස් දක්වමින් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේ පැවසූහ.

“මෙය අපේ නායක හිමියන්ගේ අදහසක් මල්පළ ගැන්වීමක්. දකුණු පළාතේ ලොකුම පැළ තවාන තිබුණේ අකුරැස්ස ඌරුමුත්තවත්තේ. අක්කර 850ක් පමණ වන එහි අදත් මහෝගනී ගස් ලක්‍ෂ තුනකට වඩා, තේක්ක ගස් 70,000ක් පමණ මෙන්ම අගාවුඩ් ගස් ලක්‍ෂයක් තිබෙනවා. ඒ බොහෝ ගස් අපේ විහාරස්ථානයේ දායක පවුල්වලට සම්බන්ධ කර ආරක්‍ෂා කරගැනීම සිදුකරනවා. ඒවා අපේ නායක හිමියන් බොහෝ දුරදිග සිතා බලා කළ වැඩ.

අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයක්, කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. කෘෂිකර්මය නගා සිටුවීමට එදා මෙදා තුර විශාල පරිශ්‍රමයක් දරා තිබෙනවා. නමුත් අපේ රටත් සමඟ එකට ආ තායිලන්තය, වියට්නාමය, මැලේසියාව,  බුරුමය වැනි රටවල් දෙස බලන විට ඒ රටවල් තම දේශීය ආදායමට වාර්ෂිකව එකතු කරන ප්‍රතිශතය කෘෂිකර්මයෙන් එක්වෙන්නේ නැහැ. තාමත් අපේ එළවළු පළතුරු අපනයනය කළ හැකි ප්‍රමිතියට සකස් වෙන්නේ නැහැ. රජයට මේ වෙනුවෙන් දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙනෙන නිසා අපේ දායකත්වය දැක්විය යුත්තේ කෙසේ දැයි සිතුවා. අපි අපිත් සමඟ සිටින ගොවි පවුල් වෙත අඩු කාලයක් තුළ වැඩි පලදාවක් දෙන භෝග මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

අපිට මේ නාලිකාව සමඟ උතුරු නැගෙනහිරත් මේ කටයුතු කරන්න පුළුවන්. මෙහි ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂිකර්මාන්තයක් කරායාම අරමුණු කරගත් නාලිකාවක්. මම පරිප්පු බීජ කිලෝ 100ක් ගෙනත් අපේ ආදර්ශ ගොවිපල 5ක අත්හදාබැලීම් කර අක්කර 6ක් වගාකර තිබෙනවා. කාදිනල්තුමාත් තමා පුත්තලම පැත්තේ කරන වගාවක් ගැන මට පවසා තිබෙනවා. නිල්වන් ගොයමයි රන්වන් සිවුරයි අපේ උප සංස්කෘතියක්. මෙය ගංගාරාමේ නාලිකාවක් නෙවෙයි. දැයේ නාලිකාවක් විදියටයි ගෙනියන්නේ.”

වරකාගොඩ ඥානරතන අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහ නා හිමියෝ මෙහිදී රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටවූහ.

දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමියන්, මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්, ගංතුනේ අස්සජි අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහ නා හිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS