සෞදියේ ලාංකිකයෝ 28ක් කෙරෝනාට බිලි



සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුගිය මාස හතරක කාලය තුළදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ ලාංකිකයින් විසි අට දෙනාගෙන් , දෙදෙනෙකු එරට ගෘහසේවයේ නියුතු වූ කාන්තාවන්  වන අතර ඉතිරි සෙසු පිරිස පිරිමි පුද්ගලයින් යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිරස ආසාදනයෙන්  මියගිය මෙම ලාංකිකයින් සියලු දෙනාගෙන් බහුතරයක් දෙනා හෘදයාබාධ , පිළිකා රෝග හා  දියවැඩියාව යන බෝ නොවන රෝග වලින් පෙලුණු තැනැත්තන් බවට සෞදි සෞඛ්‍ය අංශ මඟින් අනාවරණය කර ගෙන ඇතැයිද  එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

ජීවිතක්ෂයට පත්වූ මෙම ලාංකිකයින්ගේ සිරුරු ජාත්‍යන්තර නිරෝධායන ක්‍රමවේදයන්ට අනුව එරටදීම ආදාහනය කොට අවසන් කටයුතු සිදු කළ බවද එම ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් පැවසේ.

මීට අමතරව සෞදියේ සේවය කරන තවත් ලාංකික ශ්‍රමිකයින් 70 දෙනෙකු පමණ පසුගිය මාස කිහිපයේදී  කොරෝනා වයිරසය ආසාදන වීමෙන් රෝගතුර වූ බවද සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS