සෞදියේ පොදු සමාව දීර්ඝ කෙරේ



සෞදි අරාබියේ නීති විරෝධී ලෙස රැඳී සිටිමින් රැකියාවන් හි යෙදෙන විදේශිකයින්ට එරටින් පිටවීමට දි තිබු සහන කාලය මේ මස 23 දින දක්වා දීර්ථ කර ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මාර්තු මස 21 වැනිදා සිට ජුනි 25 දා දක්වා මාස තුනක කාලයක් සඳහා ලබා දී තිබු එම සමාකාලය මේ මස 23 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සවුදි රජය කටයුතු කොට ඇතැයි සවුදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා එවා ඇති බව කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොදු සමාව ලැබුණු මුල් මාස තුන තුළ එරට රැඳී සිටි ලාංකිකයින් 4500කට ආසන්න ප්‍රමාණයක් සඳහා ගමන් බලපත්‍ර නිකුත් කොට ඇතැයි තානාපති කාර්යාලයතව දුරටත් දන්වා ඇතැයි හෙතෙම සඳහන් කළේය.             

තවදුරටත් සෞදියේ නීතිවිරෝධීව රැඳී සිටින්නන් වෙනුවෙන් මෙම පොදු සමා කාලය දීර්ඝ තිබෙන අතර පෙර පරිදිම නිීති රීති අදාළ බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටින බවත් මෙම කාලසීමාව තුළ එරටින් පිට නොවී තවදුරටත් රැඳී සිටින්නේ නම්, එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දඩ මුදලකටද යටත් කර නැවත එරටට පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කිරීමට සවුදි රජය තිරණය කර ඇතැයි ද එම නිලධාරියා පැවැසිය.

සෞදි අරාබියේ සේවය කරන ලාංකිකයින්ගේ ඥාතීන්ගෙන් සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ තමන්ගේ ඥාතීන් නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටින්නේ නම්, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔවුන්ව දැනුවත් කරන ලෙසයි.
පොදු සමාකාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රමිකයින්ට නැවතත් සෞදි අරාබියට නීත්‍යානුකූල ලෙස පැමිණිය හැකි බව ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පපැවැසු බව ද එම නිලධාරියා  කීය.

විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS