සියයට 3 ක අඩුවීමක්



කාන්තාවන් රැකියා සඳහා විදේශ ගත වීම 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී සියයට දශම තුනකින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යංශය කියයි.

කාන්තාවන් 66971 දෙනෙකු 2018 වර්ෂයේදී රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, එම ප්‍රමාණය විදේශ ගතවූ මුළු ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් සියයට 31.7 ක් බවත් 2017 වර්ෂයේදී කාන්තාවන් 68319 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එහි ප්‍රතිශතය සියයට 32ක් බවත් කාර්යංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
කෙසේ වෙතත්  ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ රැකියා සදහා පිටත්ව යාම සියයට 13 කින් ඉහළ ගොස් ඇතැයි ද කාර්යංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

2018 වර්ෂයේදී ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවූ ශ්‍රමිකයින් ප්‍රමාණය 64965 ක් වන අතර 2017 වර්ෂයේදී ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 55884 ක් වෙයි.

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන බවත්, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම සියයට .24 කින් අඩු වී ඇති බවත් එම සංඛ්‍යා ලේඛන තව දුරටත් පෙන්වා දෙයි. 

2018 වර්ෂය තුළදී ශ්‍රමිකයින් 211502 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 144531කි. එම සංඛ්‍යාව විදේශ ගතවූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් සියයට 68.3 කි. 2017 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් 143673 දෙනෙකු විදේශ ගතවී ඇති තිබේ. එය සමස්ථ විදේශ ගතවීම්වලින් සියයට 68 කි.  ඒ අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම සියයට 0.3 න් වැඩිවී තිබේ.
2018 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින්ට වඩා පිරිමි ශ්‍රමිකයින් 77560 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබේ.
2018 වර්ෂය තුළ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇති රට වනුයේ කටාර් රාජ්‍යය යි. එම ප්‍රමාණය 50776 ක් වන අතර, 2017 වර්ෂයේදී කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 56637 දෙනෙකු රැකියා සදහා පිටත්ව ගොස් තිබේ.

පසුගිය වර්ෂයේදී කුවේට් රාජ්‍යයට විදේශ ගතවී ඇති ප්‍රමාණය 46946 ක් වන අතර, 2017දී ශ්‍රමිකයින් 37410 දෙනෙකු කුවේට් රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. 2018 වර්ෂයේදී සෞදි අරාබියට රැකියා සදහා විදේශ ගතවූ ප්‍රමාණය 35899 ක් වන අතර, 2017 වර්ෂයේදී එම ප්‍රමාණය 37745කි. පසුගිය වර්ෂයේදී  ශ්‍රමිකයින් 5410 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් තිබේ. එසේම 2017 වසර තුළ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ප්‍රමාණය 5807කි. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා සසදන කල පෙනීයන කරුණක් වනුයේ සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලට වඩා යුරෝපීය රටවල් සහ අනෙකුත් රටවල්වලට ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතින බවකි.

නිදසුනක් ලෙස ජපානය, මොරිෂස්, නවසීලන්තය, පෝලන්තය, රුමේනියාව, ස්විසර්ලන්තය වැනි රටවල රැකියා සදහා ශ්‍රමිකයින් යොමුවීමේ වර්ධනයක් දැකිය හැකිය. 2017 වර්ෂයේදී ජපන් රැකියා සදහා ශ්‍රමිකයින් 402 කු පිටත්ව ගොස් තිබෙන අතර, 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් 746 දෙනෙකු සදහා ජපානයේ රැකියා වරම් හිමිව තිබේ.

එසේම වෘත්තිය රැකියා සදහා ශ්‍රමිකයින් යොමුවීමත් ඉහළ ගොස් ඇති අතර, 2018 වසරේ ශ්‍රමිකයින් 7192ක් වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවී තිබේ. 2017 වසරේ 6379 දෙනෙකු වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවී තිබෙන අතර, ඒ අනුව වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවීම සියයට 11 කින් ඉහළ ගොස් ඇත.
එසේම මධ්‍ය මට්ටමේ රැකියා සදහා ශ්‍රමිකයින් 7763ක් විදේශ ගතවී ඇති අතර, 2017 වසරේ 7127දෙනෙකු වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවී තිබේ. ඒ අනුව වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවීම සියයට 8 කින් ඉහළ ගොස් තිබේ. ලිපිකරු හා ඒ හා සබැදි රැකියා සදහා ශ්‍රමිකයින් 10023 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, 2017 වසරේදී එය 9271 කි. ඒ අනුව ලිපිකරු හා ඒ හා සබැදි රැකියා සදහා ශ්‍රමිකයින් විදේශ ගතවීම පෙර වසරට සාපේක්ෂව සියයට 7.5න් ඉහළ ගොස් තිබේ.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS