සැමට නව තර්ජනයක්



ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම අද වනවිට නව තර්ජනයකට මුහුණ දී ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටෙගොඩ පසුගිය දා පැහැදිලි කළේය.

යුද්ධය අවසන් වී වසර දහයක් ගෙවී වන මොහොතේදී ශ්‍රී ලංකාව හමුවේ නව තර්ජනයක් ඇතැයි ද එය ශ්‍රී ලංකාවට පමණක් සීමාවූවක් නොවන්නේ යැයි ද හෙතෙම කීවේය.

පාකිස්තාන ආරක්ෂක දිනය වෙනුවෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටෙගොඩ මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටෙගොඩ මහතා මෙසේ ද කීය.

“පාකිස්තානය අපට සෑම අවස්ථාවකදීම සහාය දීපු රටක්. යුද්ධය සමයේදී පාකිස්තානය අපට නොසෑහෙන්න උදව් උපකාර කළා. පාකිස්තානය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙන්ම වෙනත් අංශ රැසකින් සහයෝගය දුන්නා. පාකිස්තානයේ දේශපාලනිකව මෙන්ම හමුදාමය වශයෙන් ලැබුණු සහයෝගය කියලා නිම කරන්න බැහැ.
පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන සබඳතාව තවදුරටත් ශක්තිමත් වන බව කිව යුතුයි. ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමබඳතා තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.
යුද්ධය අවසන් වෙලා වසර දහයක් ගෙවී ගිහින්. ශ්‍රී ලංකාව හමුවේ අද නව තර්ජනයක් තිබෙනවා. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකය හමුවේ නව තර්ජනයක් තිබෙනවා. විශේෂයෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ දොරකට මේ නව තර්ජනය තිබෙනවා. ත්‍රස්තවාදය සහ අන්තවාදය විවිධ ස්වරූපවලින් පැමිණෙමින් තිබෙනවා. තනිව මේ අභියෝගයට මුහුණ දෙන්න බැහැ. එක් රටක් ලෙස තනිවම මේ තර්ජනය මර්දනය කරන්න බැහැ. බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.”  

හර්ෂණ තුෂාර සිල්වා
 

RECOMMEND POSTS