සාමයේ මාර්ගය තෝරා ගන්න



පටු වුවමනා හා එපාකම්, ආරවුල් හා වෙනස්කම් අමතක කර සාමයේ මාර්ගය තෝරා නොගන්නේ නම් දකුණු ආසියානු කලාපයට ඉදිරි ගමනක් නැතැයි ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ආචාර්ය ෂයිද් අහ්මද් හෂ්මත් පසුගිය දා පස්වරුවේ පැවැසීය.

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කරන ලද “දකුණු ආසියාවේ සාමයේ අරුණළු, ප්‍රගතිය සහ සෞභාග්‍යය” යන තේමාව යටතේ පැවැති සමුළුවේදී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා එම කරුණු කීවේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සමුළුව පැවැත්විණි. එහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා මෙසේ ද කීය.

“අපි අතරේ ප්‍රශ්න තියෙනවා. අපි අතරේ ආරවුල් තිබෙනවා. වෙනස්කම් තිබෙනවා. එහෙත් අපි පොදු වටිනාකම් අගනාකම් තිබෙනවා. දකුණු ආසියාවේ අපිට පොදු අනන්‍යතාවයක් තිබෙනවා. පොදු සංස්කෘතියක් තිබෙනවා. අපට ආවේණික දේවල් බොහෝමයක් තිබෙනවා.

ලෝකයේ අනෙක් කලාප සාමය ප්‍රතිඵල නෙලා ගෙන තිබෙනවා. එක්ව වැඩ කිරීමේ ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. අපි ඒ සාමයේ සහ සහයෝගීතාවයේ මාර්ගය තෝරාගත යුතුයි. හැම තැනම අර්බුද තිබෙනවා. එහෙත් සහයෝගීතාවයෙන් සහ සාමයෙන් ඒ ආරවුල් හා ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.

අපේ ඇතැම් අය අතර විශේෂයෙන්ම නායකයන් අතර විවිධ සංවිධාන අතර පටු වුවමනා එපාකම් තිබෙනවා. අපේ රටවල ජනතාවට ගැටුම් අවශ්‍ය නැහැ. දකුණු ආසියානු කලාපයේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, පාකිස්තානයේ , බංග්ලාදේශයේ මේ හැම රටකම මිනිස්සු එකට වැඩ කරනවා මං ඕන තරම් දැකලා තියෙනවා. මිනිස්සුන්ට යුද්ධ ඕනේ නැහැ. ගැටුම් ඕනේ නැහැ. එහෙත් එහෙම ඕන අය පිරිසක් ඉන්නවා. අපි ඒවා පරාජය කරන්න ඕනේ. සාමය ඇති කරන්න ඕනේ. අපේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. සාමය නොමැතිව අපට ගමනක් නැහැ. එහෙත් ඒ සඳහා දේශපාලන කැමැත්ත ඕනේ. දේශපාලන ස්ථාවරත්වය ඕනේ. විනාශයෙන්, යුද්ධයෙන් ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ නිසා අපි සාමයේ මාර්ගය තෝරාගත යුතුයි”.

“වාඩිවෙලා සාකච්ඡා කිරීම හැර අපට වෙන විකල්පයක් නැහැ. සාකච්ඡා කර ප්‍රශ්න විසඳා ගැනීම හැර අපිට වෙන කරන්න දෙයක් නැහැ” යැයි මෙහිදි අදහස් දැක්වූ ඉස්ලාමාබාද්හි ගෝලීය සහ ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සයිද් කලීඞ් අමීර් මහතා කීවේය.

කලාපීය සංවිධානයක් ලෙස ඉදිරියට යෑමට නම් සාර්ක් සංවිධානය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් සාර්ක් කලාපයේ රටවල ජනතාවගේ ජන ජීවිතය, ජීවිතවල ගුණාත්මක බව මෙන්ම කලාපයේ රටවල් දේශපාලන, සංස්කෘතික, සමාජයීය හා ආර්ථික වශයෙන් දියුණු කරන වැඩපිළිවෙළක් අවශ්‍ය බව සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමීන් ඉසඩීන් මහතා පැවැසීය.

එහිදි සහයෝගීතාව ප්‍රමුඛතම කරුණක් බව සමුළුව ඇමතූ ඉසඩීන් මහතා කීවේය.    

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS