සහනාධාර නැව් කොළඹට



ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන් තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා වියලි ආහාර වර්ග ඇතුළු සහනාධාර රැගත් ඉන්දිය නෞකා දෙකක් මේවන විට කොළඹ වරායට ළඟාවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ඉන්දීය සහනාධාර රැගත් අයි.එන්.එස් ජල්සහ්වා තෙවැනි  ඉන්දීය නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සලසන්නැයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා  ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව මේ වන විට සහනාධාර රැගෙන දිවයිනට පැමිණ ඇත්තේ අයි.එන්.එස් ශර්දුල් සහ අයි.එන්.එස් කිර්ච් නැමැති නෞකාවන් දෙකය.

අයි.එන්.එස් කිර්ච් නෞකාව කොළඹ වරායට ළගා වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා විසින් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම ආධාර නිල වශයෙන් ලංකා රජයට බාර දෙන ලදී.

මෙම නෞකාව සමග වියළි ආහාර ද්‍රව්‍ය ,තාවකාලි ටෙන්ට් ,කිමිදුම් කටයුතු වලට අවශ්‍ය උපකරණ ඇතුළු ආපදා සහසේවා සදහා සහාය වීමට ,හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායමක් සහ ආපදා සහන සේවා නිලධාරීන් 125කට අධික පිරිසක්ද පැමිණ ඇතැයි විදේශ අමාත්‍යාංශය කියයි.

දිවයිනට පැමිණි අයි.එන්.එස් ශර්දුල් නෞකාව මඟින් ජලගැලීම් සිදු ඇති ප්‍රෙද්ශ වල මුදා ගැනීමේ මෙහෙයුම් වලට වලට හා සහන සේවා කටයුතු වලට අවශ්‍ය ඩිංගි බෝට්ටු ඇතුළු වෙනත් උපකරණ ඉන්දීය රජය විසින් මෙරටට එවා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා සහය වෙන්නැයි අදාළ සියලු ආයතනයන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උපදෙස් දී වාර්තාවේ.

මේ අතර මෙරට සිදුවූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ලාංකික ජනතාවට පකිස්ථාන රජයේ සහ එරට ජනතාවගේ කණගාටුව පළ කරන බව ශ්‍රි ලංකාවේ පකිස්ථාන තානාපති කාර්යාලය කියා සිටී.

මෙරට  පකිස්ථාන වැඩබලන මහකොමසාරිස් ආචාර්ය සප්‍රාස් අහමඩ් මහතා සඳහන් කර ඇත්තේ මෙම ව්‍යවසනයේදී ශ්‍රී ලංකාව සමග පකිස්ථානය සහෝදරාත්මකව බැදී සිටින බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අවශ්‍ය  ආධාර ලබාදීම සඳහා පකිස්ථාන රජය අපේක්ෂාවෙන් සිටින බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ. 

 

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS