සර්ව පාර්ශ්වීය වැඩපිළිවෙළක්



කොරෝනා උවදුර මැඬපැවැත්වීම සඳහා සර්ව පාක්ෂික නියෝජනයකින් සමන්විත ඒකාබද්ධ වැඩපිළිවෙළකට යොමු විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව රටක් ලෙස මේ මොහොතේ මුහුණ දී ඇති සැබෑ අභියෝගය නිවැරැදිව හඳුනාගෙන එකී අභියෝගය ජය ගැනීම උදෙසා සමස්ත ජාතියම සාමූහිකව, එක්සිත්ව පෙළගැසීම සෑම පුරවැසියකුගේම යුතුකම යැයි ද එම නිවේදනයේ දැක්වේ.

රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් සිදු නොවූ බරපතළ සෞඛ්‍ය අභියෝගයකට බවත් එය රටවැසි කිසිවකුගේ වරදකින් හෝ වුවමනාවකින් නිර්මාණය වූවක් නොවන බවත් එම ව්‍යාපාරය සඳහන් කරයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

ශ්‍රී ලංකාව රටක් ලෙස මේ මොහොතේ මුහුණ දී ඇති සැබෑ අභියෝගය නිවැරදිව හඳුනා ගනිමින් එකී අභියෝගය ජය ගැනීම උදෙසා සමස්ත ජාතියම සාමූහිකව, එක්සිත්ව පෙළගැසීම සෑම පුරවැසියකුගේම යුතුකම බව අපගේ හැඟීමයි.

අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් සිදු නොවූ බරපතළ සෞඛ්‍ය අභියෝගයකටය. එය රටවැසි කිසිවකුගේ වරදකින් හෝ වුවමනාවකින් නිර්මාණය වූවක් නොවේ. ගෝලීය වශයෙන් මුහුණ දෙමින් සිටින වසංගත රෝග තත්ත්වයකට එරෙහිව සටන් වැදීමට අපට ද සිදුව තිබේ. අවශ්‍ය ඕනෑම කැපකිරීමක් සිදුකර එම වසංගත රෝග තත්ත්වයෙන් රටේ සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට ද මේ වනවිටත් ඊට ගොදුරු වී සිටින සියල්ලම බරපතළ උපද්‍රවයකින් තොරව මුදා ගැනීම ද සමස්ත ජාතියේම වගකීම වී තිබේ.

එහිදී එකී අභියෝගයට මුහුණ දීමේ ක්‍රියාවලියට නායකත්වය දීමේ පළමු වගකීම රාජ්‍ය යාන්ත්‍රණයට පැවරී ඇතත් ඒ සඳහා රටේ සමස්ත ජනතාව සක්‍රිය ලෙස සහභාගි කරවා ගැනීම ඉතා වැදගත්ය. ඒ අනුව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මේ වනවිටත් නායකත්වය දෙමින් සිටින එකී ක්‍රියාවලිය සඳහා මේ රටේ සියලුම දේශපාලන නාකයත්වයන් ද සෑම ආගමික පාර්ශ්වයකටම අයත් පූජ්‍ය පක්ෂයේ ද එමෙන්ම සමස්ත සිවිල් සංවිධාන ජාලයේ ද සක්‍රිය දායකත්වය ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුව තිබේ. මක්නිසාද යත් රටේ සමස්ත ජනතාවටම ආමන්ත්‍රණය කරන සියලු ජන කොටස් ඒකාබද්ධ කරගන්නා වැඩපිළිවෙළකට තරම් හුදකලා හෝ ඒකපාර්ශවීය වැඩපිළිවෙළකට ජනතා විශ්වාසය හා එකඟත්වය දිනාගත නොහැකි බැවිනි. ඒ අනුව අප මේ මොහොතේ ඉතා ඕනෑකමින් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ රට මුහුණ දී ඇති කොරෝනා උවදුර මැඬපැවැත්වීම සඳහා සර්වපාක්ෂික නියෝජනයකින් යුත් ඒකාබද්ධ වැඩපිළිවෙළකට යොමුවන ලෙසටය.

එමෙන්ම මෙම අවස්ථාව බලය තහවුරු කරගන්නා කිසිදු ව්‍යාපෘතියක් දියත් කිරීමට කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවේ. රට හමුවේ මතුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය මැනවින් ශක්තිමත් බව අපගේ පරම විශ්වාසයයි. ලෝකයේ බිහිසුණුතම ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් අප සාර්ථක ලෙසින් ජය ගත්තේ 17 වන සංශෝධනයේ බල සහිතවය. ඉන්පසු ඇති වූ මහා ගංවතුර නාය යෑම් වැනි උවදුරුවලට මෙන්ම වර්තමාන රජය ආදර්ශමත් ලෙස කොවිඩ් උවදුරට මුහුණ දුන්නේත්, සාර්ථක ලෙස ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය විරෝධී සටන මෙහෙය වන්නේත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල පවත්වන අවස්ථාවකය. එහෙයින් රාජ්‍යකරණය සඳහා රටේ ගැටුම් ඇතිවන සංශෝධන නොව මුළු රටටම එකඟ විය හැකි පසුගිය මැතිවරණ ප්‍රකාශනයෙහි සඳහන් පරිදි නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම වඩා යෝග්‍ය වන බව අපගේ හැඟීමයි. 2000 වර්ෂයේ දී සියලුම පාර්ශ්ව පිළිගත් ව්‍යවස්ථාවක් බිහිකළ අතර පටු දේශපාලන මතවාදයක් නිසා එය බිඳ වැටීම රටේ අවාසනාවකි. 2000 වසරේ ව්‍යවස්ථාව සැකසීම සඳහා හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් 22 කට සහභගි වූ අයුරු අපට සිහිපත් වේ. එම ව්‍යවස්ථාව සැකසීමේ දී මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විශාල කැපවීමක් සිදුකළ බව සිහිපත් කළ යුතුය.

එම අත්දැකීම් හා පළපුරුද්ද නව ව්‍යවස්ථාවක් බිහි කිරීමේදී උපයෝගී කරගත හැකිය. කාගේත් උනන්දුව හා කැපවීම ඇත්නම් ධවල පත්‍රිකාවක් ද සහිතව ටික කලක දී නව ව්‍යවස්ථාවක් බිහිකිරීම අපහසු කාර්යයක් නොවනු ඇත.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ මොහොතේ දේශයේ නාමයෙන් ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ රටක් ලෙස තම ප්‍රථම අවධානය කොවිඩ් වසංගතයෙන් ජනතාව මුදවා ගැනීමට යොමු කරවන ලෙසටය. එමෙන්ම රටේ සියලු ආගමික නායකත්වයෙන් ද සිවිල් හා දේශපාලන නායකත්වයන්ගෙන් ද ඉතා ඕනෑකමින් යුතුව අප ඉල්ලා සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව සහ සුභ සිද්ධිය උදෙසා මේ අවස්ථාවේ දී සිදුකළ යුතු ප්‍රමුඛ හා වැදගත්ම කැපවීම ප්‍රදර්ශනය කරමින් රජය සාමූහික ප්‍රයත්නයකට එක්වී නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට ශක්තිය ලබාදීමයි.

මෙය දැඩි ජාත්‍යාලයෙන් යුතුව කරනු ලබන ඉල්ලීමකි.


RECOMMEND POSTS