සරල අඩු ආනයන බදු ප්‍රතිපත්තියක් ඕනෑ



අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගැනීමට නම් ශ්‍රී ලංකාව වඩාත් සරල සහ අඩු ආනයන බදු ප්‍රතිපත්තියකට ගමන් කළ යුතු බව මහාචාර්ය රොබට් ලෝරන්ස් පැවසීය.

ආනයන මත පනවන සෑම බද්දක් අපනයන මත පනවන බද්දක් යැයි ද ශ්‍රී ලංකාවේ බොහෝමයක් ආනයන බදුවලට කිසිදු තාර්කික පදනම් නැතැයි ද මහාචාර්යවරයා කීවේය. 

“සෞභාග්‍ය කරා ගමන් මාර්ගය : ආරක්ෂණවාදය ද ? නිදහස් වෙළෙඳාම ද” යන මැයෙන් දේශනයක් පවත්වමින් මහාචාර්ය රොබට් ලෝරන්ස් මහතා ඒ බව කීය.

ඇඞ්වෝකාටා ආයතනය සංවිධානය කළ මෙම දේශනය කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේදී 8 දා පස්වරුවේ පැවත්විණි.

ආනයන බදු පැනවීම ආදායම් ඉපැයීමේ වැරැදි ක්‍රමයක් බව කී මහාචාර්යවරයා ආදායම් බදු සහ දේපල මත පනවන බදු ආදී සෘජු බදු කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව ද එහිදි පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රොබට් ලෝරන්ස් මහතා මෙසේ කීය.

“වසර 2000ක් වනතෙක් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ අපනයන තරමක වේගයෙන් වර්ධනය වුණා. එහෙත් ඉන් පසු දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ අපනයන අඩු වුණා. එය සියයට 20කටත් වඩා අඩු වුණා. ආනයන මත බදු පැනවීම ඊට ප්‍රධානතම හේතුවයි.
චීනය 2001 වසරේදී ලෝක වෙළෙඳ සංවිධානයට එක්වුණා. ඉන් වසර පහකට පසු චීනයේ ආනයන සහ අපනයනවල වර්ධනයක් දක්නට ලැබුණා. චීනය ලෝක වෙළෙඳ සංවිධානයට එක් වූ අවස්ථාවේදී චීනයට ඉහළින් සිටි රටවල් චීනයට ඔවුන්ගේ වෙළෙඳපොළවල් විවෘත කළේ නැහැ. එහෙත් වෙනත් යමක් සිදු වූවා. චීනය ඔවුන්ගේ වෙළෙඳපොළ ආනයනවලට විවෘත කළා. ඔවුන්ගේ ආනයන වැඩිවුණා. අනෙක් අතට ඔවුන්ගේ අපනයනත් වැඩිවුණා.
ශ්‍රී ලංකාව දෙස බලන්න. ශ්‍රී ලංකාව ආරක්ෂණවාදය කරා ගමන් කළා. ආනයන බදු වැඩි කළා. බලන්න අනෙක් අතට මොකද වුණේ කියලා. ඔබේ අපනයන අඩුවුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට අපනයන වැඩි කිරීමට අවශ්‍ය නම් ආනයන බදු අඩු කළ යුතුයි. ආනයන බදු ප්‍රතිසංස්කරණ සිදු විය යුතුයි. සරල සහ අඩු ආනයන බදු පැනවිය යුතුයි. එය එක රාත්‍රියකින් කළ යුතුයි මා කියන්නේ නැහැ. ඒ වගේම ආනයන බදු සියයට සියයකින් අඩුවිය යුතු යැයි සරල විය යුතු යැයි ද මා කියන්නේ නැහැ. ආනයන බදු ප්‍රතිපත්ති සියයට 90ක් සරල සහ අඩු ආනයන බදු ප්‍රතිපත්තියක් විය යුතුය. ඉතිරි සියයට 10 ආරක්ෂණවාදී විය යුතුයි. එහෙත් එම සියයට 10 හොඳ තාර්කික පදනම් මත පැනවූ බදු විය යුතුයි.
ආනයන මත පනවන සෑම බද්දක්ම අපනයන පනවන බද්දක්. ආනයන බදු කියන්නේ ආදායම් ඉපැයීමේ වැරැදි ක්‍රමයක්. ආදායම් ඉපැයිය යුත්තේ බදුවලින්. විශේෂයෙන්ම ආදායම් බදු සහ දේපල බදු වැනි සෘජු බදුවලින් ආදායම් ඉපැයිය යුතුයි. අනෙක් අතට ශ්‍රී ලංකාවේ බොහෝ ආනයන බදුවලට කිසිදු තාර්කික පදනමක් නැහැ. එම බදු පැනවීමක් සිදු වී ඇත්තේ ආර්ථික උපායමාර්ග ලෙස නොව දේශපාලන බලපෑම් මත බව ද කිව යුතු” යැයි මහාචාර්යවරයා තවදුරටත් කීය.

මෙහිදි අදහස් දැක්වූ වරලත් මූල්‍ය විශ්ලේෂක ‘ජේ.බී සෙකි්‍යුරිටීස් ලිමිටඞ්’ හි ප්‍රධාන විධායක නිලධාරි මුර්තාසා ජෙෆර්ජි මහතා මෙසේ කීය. “වැඩියෙන් ආනයනය කරන රටවල් වැඩියෙන් අපනයනය කරනවා. වියට්නාමයේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට සියයක අගයක් ගන්නවා. ඔවුන්ගේ ආනයන සියයට 96ක ප්‍රතිශතයක් ගන්නවා” .

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS