සමාජ මාධ්‍ය අවහිරයෙන් අපහසුතා !



ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය අවහිර කිරීම හේතුවෙන් ලක්ෂ තිහක් පමණ වන විදෙස්ගත ශ්‍රමිකයින් සහ ඔවුන්ගෙන් යැපෙන තවත් ලක්ෂ හැටක පමණ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය කියා සිටී.

මෙම සමාජ මාධ්‍ය ඔවුන්ගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය වන හෙයින් රජය ගත් මෙම ක්‍රියා මාර්ගය පිළිතුලෙන් යුතුව හෙළා දකින බවත් ද එම සංවිධානය කියයි.

රටේ ජාතික අවශ්‍යතාවයකදී ඕනෑම කැප කිරීමක් කිරීමට අප විදෙස්ගත ශ්‍රමිකයින් කැමැත්තෙන් සිටින අතර එය අවභාවිතා කරමින් විදෙස්ගත ශ්‍රමිකයින් ගේ සන්නිවේදන අයිතිය නැති කිරීමට හෝ බාධා කිරීමට දැඩි ලෙස විරැද්ධ යැයිද එම සංවිධානයේ ලේකම් සුභාෂණ සුභවික්‍රම මහතා කීය.

මෙම සමාජ මාධ්‍ය පහසුකම් දින 06 ක් තිස්සේ අවහිර වී ඇති බවත් , ඒවැ අවභාවිත කරන්නන් නීතියේ රැහැනට අසුකර ගැනීම රජයේ වගකීමක් වන අතර එය ඉටු නොකර ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සන්නිවේදන අවශ්‍යතා අවහිර කර ගැනීමට රජයේ දුර්වල කමක් බවද හෙතෙම පෙන්වා දේ.

ආණ්ඩුව මෙම බැරෑරැම් තත්ත්වය තේරැම් නොගත හොත් විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන් ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ලවීමට වැළැක්විය නොහැකි බවද ඔහු කියා සිටී.

එබැවින් රජය විසින් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වලට පනවා ඇති වාරණය වහාම ඉවත් නොකර ගතහොත් තම සංවිධානය විසින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේක්ම සුභාෂණ සුභවික්‍රම මහතා අවධාරණය කර සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS