සංචාරකයෝ ලක්ෂ දෙක පැනලා



මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් දෙලක්ෂ හතලිස් හයදහස් නමසිය හැත්තෑ දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය ඉකුත් වසරේ ජනවාරි මාසයේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 12.6 ක ඉහළ යෑමක් යැයි එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.ගිය වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 219,306 කි.

2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඉකුත් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 43,643 කි. මෙය ගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර චීන ජාතකයින් 24,819 ක් පැමිණ ඇති අතර එම පැමිණීම පසුගිය ජනවාරි මාසයේදී සියයට 22 කින් පහළ ගොස් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.

ජනවාරි මාසයේදී තෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එලෙස පැමිණි සංඛ්‍යාව 14,985 කි. එය 2017 ජනවාරි මාසයේදී පැමිණි ජර්මන් සංචාරකයින්ගේ සංඛ්‍යාවට වඩා සියයට 20 ක වැඩිවීමකි.

මීට අමතරව ප්‍රංශ සංචාරකයින් 12,209 ක් ද, රුසියානු සංචාරකයන් 11,634 ක් ද, ඕස්ටේ්‍රලියාවෙන් 9948 ක් ද , ඇමෙරිකාවෙන් 7277 ක් ද, යුක්රේනයෙන් 6544 ක්ද, මාලදිවයිනෙන් 6194 ක් ලෙසින් සංචාරකයින් ඉකුත් ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබේ.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS