ෂාඔලින් කුන්ෆු



ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පළමුවරට සංවිධානය කරන ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ මාලාවක් මෙරටදී පැවැත්වේ.

කොළඹ චීන තානාපති කාර්යාලයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ මෙම වසරට වසර 60 ක් සැපිරීමට සමගාමීව මේ වසරේදී චීන ශ්‍රී ලංකා සංස්කෘතිකාංග රැසක් පැවැත්වුණු අතර මෙම ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ පැවැත්වෙන්නේ ද ඊට සමගාමීවය.

කොළඹ චීන තානාපති කාර්යාලය, චීන සංස්කෘතික අමාත්‍යාංශය සහ චීනයේ හැනන් පළාත් ආණ්ඩුවේ අනුග්‍රහාය ඇතිව චීන ශ්‍රී ලංකා සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානය, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංවිධානය, ශ්‍රී ලංකා චීන සමාජය සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව මෙම ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ මාලාව සංවිධානය කරයි.

ඉකුත් දා විවෘත කරන ලද මහනුවර පළාත් ගෘහස්ත ක්‍රීඩාංගනයෙන් ලබන 12 වැනිදා සවස 5.30 ට පළමු සංදර්ශනය ද, 13 වැනිදා සවස 5ට පොළොන්නරුව පුලතිසි බෞද්ධ මණ්ඩපයේදී දෙවැනි සංදර්ශනය ද පැවැත්වේ. ලබන 15 වැනිදා තෙවැනි සංදර්ශනය හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද සිව්වැනි ප්‍රදර්ශනය 17 වැනිදා උදෑස 10ට විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම ප්‍රදර්ශන සියල්ලම මහජනතාවට කිසිදු මුදල් ගෙවීමකින් තොරව නැරඹීමේ හැකියාව ඇතැයි ද සංවිධායක මණ්ඩලය කියයි.

චීනයේ ‘සොන්ග්ෂාන් ෂාඔලින් වීර ස්වාමීන් වහන්සේලාගේ විහාර’ පුහුණු කඳවුරේ සටන් ශිල්පීන් සහ ‘ෂෙන්ග්ෂූ සොන්ග් ඇන්ඞ් ඩාන්ස් තියටර්’ සටන් සංදර්ශන සහ නර්තනාංග ඉදිරිපත් කිරීමට නියමිතය. 

කොළඹ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ ලියු ඩොන්ග්, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ආනන්ද ගුණතිලක, ශ්‍රී ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර, ශ්‍රී ලංකා චීන සමාජයේ සභාපති අමරදාස ගුණවර්ධන සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නලින් අපොන්සු යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS