ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් පෙබරවාරියේ



ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන පෙබරවාරි මාස අගදි ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානමක් පවතින බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

කෝවිඩ් 19 වින්දිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින මානව හිමිකම් පිළිබඳ ගැටළු  සම්බන්ධයෙන් මේවන විටත් බ්‍රිතාන්‍ය රජයේ දැඩි අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් , ලංකාවේ පවතින තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය රජය ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දෙනු ඇතැයි ඇය සිට ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටින්නීය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ 46 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසියට එවැනි යෝජනාවක් ඉදිරිපත් වීම ගැන අමාත්‍යාංශයට නිල තොරතුරු වාර්තා වී නොමැති බවය .

කෙසේ වෙතත් යම්හෙයකින්  එවැනි  යෝජනාවක් ඉදිරිපත් වූවහොත් , ඊට  සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් හෝ විරෝධය පළකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව මේ වන විටත් තීරණය කර ඇතැයි එම විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය 2020 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS