ශ්‍රී ලංකා රජයේ ස්වෛරී තීරණයක්



නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව ඒ සම්බන්ධයෙන් චෝදනා කරන ජාත්‍යන්තර පාර්ශව සැලකිල්ලට ගත යුතු යැයි ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අසීස් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත.

මේ දිනවල ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 42 වන සැසිවාරයේ පොදු විවාදයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

මේ වන විට අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති පසුබිමක රාජ්‍ය නායකයා සිය ස්වෛරී අභිමතය පරිදි නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් කරන චෝදනා පිළිගත නොහැකි බව  ඒ.එල්.ඒ අසීස් මහතා මානව හිමිකම් කවුන්සිලයට වැඩිදුරටත් දැනුම් දුන් බව ජිනීවා තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලීන් සඳහා විවිධ ජාත්‍යන්තර පාර්ශව බාහිර මුහුණුවරයන් මගින් යුද හමුදාපතිවරයා පත්කිරීම පිළිබඳ ප්‍රකාශ හා  විවිධ ස්ථාවරයන් නිකුත් කිරිම කණගාටුදායක බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ප්‍රකාශ කර ඇත.

එය ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවත් කරන චෝදනා පදනම් විරහිත බවත් එහිදී ඔහු පැවසීය.
වෛරී සිදුවිම් හා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට සිදුවන සියලු ආකාරයේ අපරාධවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජය කිසිදු අවස්ථාවක පසුබට නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ලබාදී ඇති පොරොන්දු වලට අනුකූලව මූලික අයිතිවාසිකම් සහතික කිරිමට ශ්‍රී ලංකා රජය තවදුරට බැදී සිටින බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජතවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS